සැමියා හොයන්න අසභ්‍ය චිත්‍රපටි එකතු කරපු බිරිඳක්
මම ලංකාවේ ප්‍රධාන විශ්ව විද්‍යාලයක උපාධිධාරිනියක්. සැමියා ඉංජිනේරුවරයෙක්. අපි දෙදෙනා දරුවන් දෙදෙනාත් සමග කලකට ඉහත අමෙරිකාවට ගියේ දරුවන්ට හොඳ අනාගතයක් ලබා දෙන්න. මුල් දවස්වල අපි ඉතා හොඳින් කාලය ගත කළා. දෙවැනි දරුවාට අවුරුදු පහක් වනවිට සැමියගේ වෙනස්වීම් මට දැනෙන්න පටන් ගත්තා. වෙනදාමෙන් නොමැතිව පමාවෙලා ගෙදර පැමිණීම. අනවශ්‍ය වෙලාවට දුරකථන ඇමතුම් ලැබීම, මේ ගැන විමසූ විට ඔහු පවසන්නේ රාජකාරී අවශ්‍යතාවලට එලෙස පමාවෙන බවයි. ඉන්පසු මම කුමක් හෝ සැමියා පිළිබඳ හෝඩුවාවක් සොයා ගැනීමට ඔහුගේ දුරකථනය බලන්න පුරුදු වුණා. වෙනත් කාන්තාවක් සමග කිසියම් සම්බන්ධයක් තිබෙනවාද කියා මා ප්‍රශ්න කළා. ඒ හැම වෙලාවකම ඔහු එක හෙළාම එය ප්‍රතික්ෂේප කරනවා. එහෙම වෙලාවට ඔහු මට පිස්සු කියන අවස්ථා තිබුණා. මම සැමියාගේ රැකියා ස්ථානයට පවා නොකියා ගියේ මේ ගැන ටිකක් හොයන්න.
ඔහු නිතර නිතර මා සමග රණ්ඩු වෙන්න පටන් ගත්තා. මේ තත්ත්වයෙන් මගේ දරුවන්ටත් යම් බලපෑමක් පවා එල්ල වුණා. අවසානයේ සැමියා තීරණය කළා අපත් රැගෙන ආපසු ලංකාවට එන්න. එලෙස නැවත ලංකාවට ආවේ නැවතත් ජීවිතය අලුතෙන් පටන් ගන්න හිතාගෙන. ලංකාවට පැමිණි පසුව සැමියා ගැන මා තුළ තිබෙන සැකය නැති වෙතැයි මට හිතුණා. එන්න එන්න මගේ හිතේ සැකය වැඩි වෙන්න පටන් ගත්තා. එයා කාර්යාලයට යන පසුපස මම ත්‍රීවිල් හයර් කරගන යනවා. ජංගම දුරකථනයට ලැබී තිබෙන ඇමතුම් මොනවද කියල චෙක් කරනවා. දවසක් සැමියගේ දුරකථනයේ තිබී මට අසභ්‍ය වීඩියෝවක් දකින්න ලැබුණා. එහි හිටියෙ ලංකාවෙ වගේ පිරිමි කෙනෙක්. මට එක්වරම වැටහුණා මේ නම් ඉන්නේ මගේ සැමියා කියලා. මුහුණ හරියට පෙනුණෙ නැහැ.
ඉන්පසු මම අසභ්‍ය වෙබ් අඩවිවල තිබෙන එවැනි අයගේ වීඩියෝ ඩවුන් ලෝඩ් කළා. දවස පුරාම මම කළේ ඒවයින් ගිහින් කළුපාට ශරීරයක් තිබෙන මහත්තයාට සමාන සිරුරක් තිබෙන අය ඩවුන් ලෝඩ් කරගැනීමට. මම එහෙම කළේ දවසක සාක්ෂි විදියට ඒව මට පාවිච්චි කරන්න පුළුවන් නිසා. ඊට පස්සේ ඇප් එකක් හෙවත් යෙදුමත් හොයා ගත්තා සැමියා යන යන තැන් චෙක් කරල බලන්න. එමගින් මම දිනපතාම ඔහු යන හැම තැනක්ම පරීක්ෂා කළා. දවසක් සැමියාගෙ දුරකථනයේ මට වැටහුණා අනුරාධපුරයේ ගොස් තිබෙන බව. එය රාජකාරී ගමනක් බව පැවසුවත් මට වැටහුණා සැමියාගෙ සම්බන්ධය තිබෙන කාන්තාව අනුරාධපුරයේ සිටින බව. මම දුරකථනය පමණක් නොව හැම දෙයක්ම පරීක්ෂා කළත් මට කිසිම හෝඩුවාවක් සොයා ගැනීමට නොහැකි වුණා. මම මගේ දරුවන් සමග ගත කරන කාලය ටිකෙන් ටික අඩුවුණා. මුළු දවස තිස්සෙ කරන්නෙ සැමිය කොහේද ඉන්නෙ මොනවද කරන්නෙ කියල සොයා බැලීමයි. සැමියාගේ මව ඒ කියන්නේ මගේ නැන්දම්මා ජීවත් වුණේ අපත් සමගමයි. පැවතුණු මේ තත්ත්වය මටත් මහත් ප්‍රහේලිකාවක්. මම දුරකථනයට ඕනෑවට වඩා කාලය ගත කරන බව පවසමින් නැන්දම්මාත් මට දොස් පවරනවා.
කෙසේ වුවත් මට අවශ්‍ය වුණේ සැමියාගේ මේ නරක ක්‍රියා පවුලේ ඒ අයටත් දැන ගැනීමට සලස්වන්න. සැමියාගේ පවතින චරිත ලක්ෂණ ඔප්පු කර පෙන්වීමයි මගේ එකම අරමුණ වුණේ. මට මුළු දවසම පිස්සු වගේ. දවසම අසභ්‍ය වීඩියෝ තිබෙන වෙබ් අඩවිවලින් ඇප් එකෙන් සැමියා පරීක්ෂා කරමින් සිටියා. ඔහු ගෙදර ආවිට මම ප්‍රශ්න කරනව දිනපතාම අඬදබර ඇති වන තත්ත්වයට පවුල් ජීවිතය අවුල්. මේ අඬදබරවලින් දරුවන්ටත් බලපෑම් ඇතිවුණා. දරුවන් නිතරම බියෙන් කාලය ගෙවන්න පටන් ගත්තා. බැරිම තැන දවසක් මා දන්න හඳුනන අක්ක කෙනෙක් ඇය දන්නා මනෝ වෛද්‍යවරයකු මුණ ගැසීමට යාමට මට කතා කළා. ඒ අනුව මම මනෝ වෛද්‍යවරයකු ළඟට ගියා. මේ වනවිට සැමියා සිටියේ දික්කසාද නඩුවක් පවා දැමීමට සූදානමින්.
අපට හමු වූ විශේෂඥ මනෝවෛද්‍යවරයා දීර්ඝ ලෙස මගෙන් ප්‍රශ්න කළා. මා ළඟ බාගත කරගෙන තිබූ වීඩියෝ පෙන්වමින් මා හැම දෙයක්ම ඔහුට විස්තර කළා. එහිදී මට අවශ්‍ය වුණෙත් ඒ වීඩියෝවල ඉන්නේ මගේ ස්වාමි පුරුෂයාම බව ඒත්තු ගැන්වීමටයි. එමෙන්ම බාගත කරගෙන තිබූ ඇප් හරහා ඒවායේ ඉන්නේ සැමියා බව කෙසේ හෝ ඔප්පු කිරීමට අවශ්‍ය වුණා. මා කියන හැම දෙයක්ම සාවදානව අසා සිටි වෛද්‍යවරයා මේ ගැටලුව විසඳා ගැනීමට යම් යම් ඖෂධ වර්ගත් භාවිත කිරීමට සිදුවන බව සඳහන් කළා. එමෙන්ම එය අත්‍යවශ්‍ය දෙයක් බවත් කී ඔහු මගේ තත්ත්වය පිළිබඳව නිවසේ අනෙක් සාමාජිකයන් සමග කතා බහ කිරීමට අවශ්‍ය බවත් පැවසුවා. ඒ අනුව ගෙදර අයටත් මට ඇතිවී තිබෙන තත්ත්වය පැහැදිලි කර දුන්නා.
මෙය හඳුන්වන්නේ ඩිලුෂනල් ඩිසෝඩර් (DELUSIONAL DISODER) යනුවෙන් ඒ හැරෙන්න රූප පෙනෙන, ශබ්ද ඇසෙන වෙනත් මනෝ විකාර මට තිබුණෙ නැහැ. මම හොඳට ගෙදර වැඩ කරගෙන හිටියා. ඩිලුෂනල් ඩිස්ඕඩර් කියන්නේ සියයට සියයක් නොබිඳෙන විශ්වාසයක් බවත් මනෝ වෛද්‍යතුමා එය අපට කෙතරම් පැහැදිලි කළත් අපි එය තේරුම් නොගන්නා බවයි කියන්නේ. අප තේරුම් ගන්නෙ ඇත්තක්ම විදියටයි. මෙම රෝගයේ වර්ග කීපයක් තිබෙන බවයි මනෝවෛද්‍ය මතය. මෙම රෝගය නොබිඳෙන විශ්වාසය මෙන්ම අසාමාන්‍ය ආදරයක්. තවත් දෙයක් තමයි තමන්ට සුව නොවන චර්ම රෝගයක් තිබෙන බවට පවතින සැකය. සාමාන්‍යයෙන් මේ සැකය වැඩියෙන් දක්නට ලැබෙන්නේ පිරිමින් තුළයි. විශේෂයෙන්ම මත්පැන් පානය කරන පිරිමින්ට වයස 35 දී පමණ මෙය පටන් ගන්නවා. එවැනි අයට තම බිරිඳ ගැන සැකයක් හට ගන්නා අවස්ථා තිබෙනවා. මෙය සැකයක් ලෙස පටන් ගන්නා නිසා බොහෝ දෙනෙක් එය මානසික රෝගයක් කියා හිතන්නෙ නැහැ. ඩිලුෂනල් ඩිසෝඩර් තත්ත්වයේ පසුවන මා වැනි කෙනකු අතින් එදිනෙදා කටයුතු සාමාන්‍ය පරිදි සිදුවන නිසා ඖෂධ ප්‍රතිකාර ගැනීමට උනන්දු නොවන බවයි වෛද්‍ය මතය. එහෙත් මෙය දරුණු ගණයේ මානසික ගැටලුවක් බව මනෝ වෛද්‍යවරයා පෙන්වා දුන්නා.
මෙවැනි මානසික ගැටලුවකට මැදි වූ බොහොමයක් අය මනෝ වෛද්‍යවරුන් හමුවට එනවිට සෑහෙන කලක් ගතව ඇති බැවින් ප්‍රතිකාර කිරීම අපහසු බවයි පවසන්නේ. ඖෂධ ප්‍රතිකාර කළ යුතු වන්නේ සුළුවෙන් පටන්ගෙන ටිකෙන් ටික වැඩි කිරීමෙන් නිසා පමාවී පටන් ගත් විට සුව කිරීමේදී බාධා පැමිණෙන බව වෛද්‍යවරයා පැවසුවා. මෙහි තිබෙන භයානක තත්ත්වය වන්නේ සුළුවෙන් පටන් ගන්නා සැකය ක්‍රමයෙන් විශාල තත්ත්වයට පත්වීමයි. එවිට තමන්ගෙ නම කැතවීම ජීවිතය අවුල් සහගත තත්ත්වයට පත්වීමත් දරුවන් ඉදිරිපිට රණ්ඩු දබර ඇතිවීමට පටන් ගන්නවා. මේ නිසා දරුවන්ගේ අධ්‍යාපනය පවා කඩා වැටෙනවා. ඔවුන් ජීවිතයේ වෙනත් වෙනත් දේවල්වලට යොමුවීමට පවා ඉඩ තිබෙනවා. මෙහි තිබෙන ලොකුම ගැටලුව නම් තුන්වැනි පාර්ශ්වයක් ගැනත් සැකයක් මතුවෙන්න ඇති හැකියාවයි. අසවල් කෙනා මගේ ස්වාමි පුරුෂයා සමග අනියම් සම්බන්ධකමක් තිබෙනවා කියා එවිට එම තුන්වැනි පාර්ශ්වයට මරණ තර්ජනය පවා ඇතිකර සමහර විට මිනී මැරුම් පවා සිදු කිරීමට පුළුවන්. සමහර විට මෙම රෝගය තිබෙන අය අතර සිටින වෙනත් කෙනකුට විෂාදය වැනි මානසික රෝග ඇතිවීමට පවා ඉඩ තිබෙනවා.
දිගටම මෙලෙස පවතින විට දරුවන්ට පවා මානසික අසහනය ඇතිවීමට ඉඩ තිබෙනවා. එයම ගෘහස්ථ ප්‍රචණ්ඩත්වයට හේතුවිය හැකියි. ඉතා උග්‍ර තත්ත්වයට පත් වුවහොත් එම රෝගියා නේවාසික මනෝ වෛද්‍ය සායනයක තබාගෙන ප්‍රතිකාර ලබාදීමට සිදුවෙනවා. අනෙකාට ශාරීරික හානියක් සිදු කිරීම දක්වා මෙම රෝගය දුර දිග යා හැකි තත්ත්වයක තිබේ නම් පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශයේ උදව් ද ලබාගත හැකියි. එවිට ඔවුන් හරහා මනෝ වෛද්‍යවරයකු වෙත යොමුවෙන්න පුළුවන්.
සැකය යන්න ඕනෑම අයකුට හටගත හැකි මානසික රෝගයක්බව සෑම කෙනකුම අවබෝධ කර ගැනීම වැදගත්.
උපුටා ගැනීම සිරිකත