Biz Log
Classifields
Biz Log
Classifields

ගුටි කනවද? ලෙඩේ හොඳකර ගන්නවද?

දිනක් මවුපිය දෙපළක් මනෝ වෛද්‍යවරයා හමුවීමට පැමිණියේ තම දහඅට වයසැති පුතාද සමග යි. එක්වරම මනෝ වෛද්‍යවරයාට අවබෝධ වූයේ දරුවා තම මවුපියන් සමග තරහකින් පසුවන බවකි. එම දරුවාගේ එක් අතක් වෙළා තිබුණු අතර මුහුණ හා අනෙකුත් ශරීරයේ අවයව මත ප්ලාස්ටර් අලවා තිබුණා.

වෛද්‍යවරයා තමා හමුවීමට පැමිණීමට හේතුව කුමක්දැයි මවුපියන්ගෙන් විමසා සිටියදී මවුපියන් කිසිවක් කීවේ නැහැ. මඳ වේලාවකට පසු පියා පුතාට කීවේ, “ඔයාගේ හපන්කම් දොස්තර මහත්තයට කියන්න” යැයි කියා ය. එම පුතා බිම බලාගෙන සිටියා මිස කිසිවක් කීවේ නැහැ. දරුවාගේ නිහඬ බව හේතුවෙන් ඉන්පසු වෛද්‍යවරයා හැරුනේ පියා දෙසටයි. එම පියා කීවේ තම පුතා ඔවුන් ජීවත් වන ප්‍රදේශයේ කාන්තාවන්ට කරදර කිරීම හේතුවෙන් එම ප්‍රදේශයේ පිරිසකගෙන් ප්‍රහාරයකට ලක්ව ඇති බවයි. ඔහු එම ප්‍රදේශයේ කාන්තාවන්ට තම ලිංගේන්ද්‍රිය පෙන්වීමට පුරුදු වී ඇති බවත් ඔහු එය පුරුද්දක් ලෙස සිදු කර ඇති බවත් මවුපියන්ට දැන ගන්නට ලැබී තිබුණා. දරුවාගේ පියා පැහැදිලි කළේ තම පුතා එය අසභ්‍ය ක්‍රියාවක් බව දැන දැනම එසේ කරන බවයි. සාමාන්‍යයෙන් ඔහු එවැනි ක්‍රියාවලට යොමුවන පුද්ගලයකු නොවන බවත් සාමාන්‍යයෙන් ලජ්ජාශීලි තැන්පත් ළමයෙකු බවත් පියා තවදුරටත් කියා සිටියා.

වෛද්‍යවරයා ඒ කතාවෙන් පමණක් සෑහිමකට පත්වුණේ නැහැ. ඔහු තව තවත් දරුවාගේ පසුබිම කුමක්දැයි සොයා බැලුවා. මේ දරුවා පහේ ශිෂ්‍යත්වය සමත්ව කොළඹ ප්‍රසිද්ධ පිරිමි පාසලකට ඇතුළත් වී  අධ්‍යාපනය ලබන දරුවෙක්. එම පාසලේ පිරිමි දරුවන් පමණක් සිටින නිසා ඔහුට ගැහැනු දරුවන් ඇසුරු කරන්න ලැබෙන්නෙ ඉතා අල්ප වශයෙන්. තම ලිංගේන්ද්‍රිය ප්‍රදර්ශනය කිරීමේ මෙම ආශාව ඔහුට සෑහෙන කාලයක සිට තිබුණත් ඔහු එයට එක්වරම පෙලඹී නැහැ. මීට වසර 2කට පමණ පෙර දවසක් බසයෙන් යන විට ඔහු මුලින්ම තම කලිසමේ සිපරය පතුලට දමා තම යට ඇඳුම කාන්තා පාර්ශ්වයට පෙනෙන ලෙස නිරාවරණය කර තිබෙනවා. එයින් ඔහුට දැඩි ලිංගික උත්තේජනයක් ලැබුණු නිසා එම ක්‍රියාව කාලයත් සමග තවදුරටත් වෙනත් අත්හදා බැලීම් දක්වා වර්ධනය කර ගැනීමට ඔහු කටයුතු කර තිබෙනවා. ඔහු දැඩි තදබදයක් සහිත බස් රථවලට නැග තම ලිංගේන්ද්‍රිය කාන්තාවන්ට ක්ෂණිකව පෙන්වා ඉක්මනින් බසයෙන් බැස යෑමට පුරුද්දක් බවට පත් කරගෙන තිබෙනවා. බොහෝවිට එම ක්‍රියාවට භාජනය වූ කාන්තාවන් දැඩි කම්පනයට පත් වුවත් ඔවුන් කෑ ගසා අනෙකුත් පුද්ගලයන්ට ඒ ගැන කීවේ නැති බවත් ඔහු සඳහන් කළා. තමා ලිංගේන්ද්‍රිය පෙන්වූ විට එම කාන්තාවන් දක්වන ප්‍රතිචාරය ඔවුන්ගේ ඉරියව්වල වෙනස් වීම් ඔහුට දැඩි ලිංගික උත්තේජනයක් ලබා දී තිබෙනවා. ඔහු එම මතකය නැවත නැවත ආවර්ජනය කරමින් ස්වයං වින්දනයේ යෙදීමටත් පුරුදු වී තිබෙනවා. ගතවූ මාස හයක පමණ කාලයේදී තමන්ගේ අනෙකුත් කටයුතු පසෙක දමා එම ක්‍රියාවල පමණක් නියැළිබව ද ඔහු වෛද්‍යවරයා සමග පැවසුවා.

ඔහු සවස් කාලයේ පාළු ස්ථානවල සැඟව සිට රාජකාරි නිමැවී නිවෙස් කරා යන කාන්තාවන්ට තම ලිංගේන්ද්‍රිය පෙන්වීමට පුරුදු වී තිබෙනවා.  ඔහු සාමානයෙන් මෙම ක්‍රියාව කළේ තම නිවසට යම් දුරක් ඇති ප්‍රදේශ වලයි. එකම ස්ථානය නිතර නිතර තෝරා නොගෙන සිටීමටත් ඔහු වග බලාගෙන තිබෙන අතර සමහර දිනවල නිවස අවට ප්‍රදේශ පවා තෝරාගෙන තිබෙනවා. ඔහු පවසන්නේ තමා මෙම ක්‍රියාවට පෙලඹී ඇත්තේ එය නීති විරෝධී අසංවර ක්‍රියාවක් බව දැනගෙන වුවද එය තමාට පාලනය කළ නොහැකි බවයි. ඔහු මෙම ක්‍රියාව කිරීමට පෙර මුළු දවසම වගේ කල්පනා කරන බවත් හසු නොවන සේ පෙර සූදානම්ව එම ක්‍රියාවට යොමු වන බවත් වෛද්‍යවරයා සමග පැවසුවා. මෙම ක්‍රියාවෙහි නිරත වූ එක් අවස්ථාවකදී අවට සිටි කිහිප දෙනෙකුට අසුවී ඔහුට දැඩි ප්‍රහාරයක් එල්ල කර තිබෙන අතර එයින් නොනැවතුණු එම පිරිස ඔහුගේ නිවසට ගෙන ගොස් මවුපියන්ට දැඩි ලෙස දෝෂාරෝපණය කර තිබෙනවා. ඔහු කැටුව ප්‍රදේශයෙන් ඉවත්ව නොගිය හොත් නිවෙසට ගිනි තබන බවත් කිසිවෙකුට පාරේ යන්නට නොදෙන බවටත් ඔවුන් තර්ජනය කර තිබෙනවා.

එහෙත් දරුවා සාමාන්‍ය ජිවිතයේ ඉතා නිරෝගීව ජීවත්වන දරුවෙකු බැවින් ඔහු මානසික රෝගියෙකු බවට පත් වේ යැයි බියට පත් වූ මවුපියන් මානසික වෛද්‍යවරයකු වෙත රැගෙන විත් තිබෙනවා. එය මවුපියන් විසින් කළ ඉතා නුවණැති ක්‍රියාවක්.

“මෙම දරුවාට තිබුණේ කරදරකාරී ලිංගික රටාවක් හෝ ලිංගික අවවර්තයකි. (Disordors of Sexual Preference Paraphilia) මෙම හැසිරීම් රටාව සමාජය පිළිනොගන්නා සහ අනෙක් පුද්ගලයන්ට හානි වන අන්දමේ හැසිරීමකි. ලිංගික ප්‍රදර්ශකත්වය(Exhibitionism) නමැති ලිංගික අවවර්තනය පෙන්වන පුද්ගලයා මේ හේතුවෙන් තමාට, තම පවුලට සහ අන් අයට හානි  පමුණුවයි. ඔහුගේ මෙම හැසිරීමේ රටාව හේතුවෙන් අන් අයගේ ප්‍රහාරයට ලක්වීම සිදුවිය හැකි අතර ඇතිවන ගැටලු හා සමග මානසික අවපාතයකට ලක්වීමට ඉඩ තිබෙනවා. මෙය නීති විරෝධී ක්‍රියාවක්. අත්අඩංගුවට පවා භාජනය විය හැකියි. තම සමාජ පිළිගැනීමට ඉතාමත් ප්‍රබල බලපෑමක් ඇති කරයි. එවැනි තත්ත්වයන් සමග ඇති විය හැකි අහිතකර ප්‍රතිඵල ප්‍රතිකාර මඟින් වළක්වා ගත හැකියි. මනෝ වෛද්‍යවරයකු විසින් සිදු කරනු ලබන රෝග විනිශ්චයකින් පසුව ඖෂධ හා නිවැරදි මනෝ චිකිත්සක ක්‍රම මගින් මෙම තත්ත්වය සම්පූර්ණයෙන් ම සුව කළ හැකියි.

උපුටා ගැනීම සිරිකත

Share This Article