Biz Log
Classifields
Biz Log
Classifields

පෝරු චාරිත්‍රයේ ඇත්ත කතාව

පෝරු චාරිත්‍රයේ ඇත්ත කතාවවිවාහ මංගල්‍ය උත්ත්සවයක අතිශයින්ම වැදගත් අවස්ථාව වන්නේ පෝරුවේ චාරිත්‍රය‍යි. මංගල පෝරුවක් මත නංවා යුවලක් විවාපත් කිරීමේ චාරිත්‍රය සිංහල බෞද්ධයාට විශේෂ දෙයකි. වෙනත් ජාතීන්ගේ ආගමිකයන්ගේ විවාහ චාරිත්‍රයන් වෙනස් ස්වරූපයන් ගනී. එක් චාරිත්‍රයක් හොඳ හෝ නරක කියා දෙයක් ඇත්තේ නැත. මිනිසා සිය ඉතිහාසය පුරා සිය පැවැත්ම වෙනුවෙන් මුහුණ දුන් අභියෝගයන්ට සාපෙක්ෂව මේ චාරිත්‍රයන් වෙන් වෙන් වශයෙන් විවිධ ස්වරූපයන්ගෙන් නිර්මාණය වී ඇත. මෙහිදී ශ්‍රී ලංකිකයන් වන අපිට වඩා සමීප අත් දැකීම වී ඇත්තේ සිංහල බෞද්ධයාගේ විවාහ චාරිත්‍රය. කෙසේ නමුත් අද වන විට මේ පැරණි චාරිත්‍රයන්ද සීග්‍රයෙන් වෙනස් වෙමින් පවතී.. ඒ අතරෙහි තවමත් මේ සාම්ප්‍රදායික සිරිත් විරිත් අනුගමනය කිරීමෙහි කැමැත්තෙන් පසුවන්නගේ අඩුවක් නැත. නමුත් සම්ප්‍රදායද විලසිතාවක් කර ගත් අයද මෙහි දී හමුවේ. අප මේ වෑයම් කරන්නේ මේ සම්ප්‍රදායික සිරිත් විරිත් හැල්ලුවට ලක් කරනවා වෙනුවට පැරැන්නන් ඉන් අපේක්ෂා කළ ගුණාත්මක දේ ඉදිරිපත් කිරීමටය.

හෙළ බෞද්ධ චාරිත්‍ර වලට අනුව යුවතිපතීන් පතිවත ආරක්ෂා කරමින් චිරාගත චාරිත්‍රාණුකූලව මංගල නැකැත් වලට අනුව විවාහ දිවියට ඇතුළත් වීමේ දී අනුගමනය කරන වැදගත්ම අංගය වන පෝරුවේ චාරිත්‍ර සඳහා ඉතා විචිත්‍ර වූ අනගිභවනීය අතීතයක් තිබේ. (අද දින මේ චාරිත්‍රයන් හෙළ බෞද්ධ චාරිත්‍ර ලෙස අනන්‍යතාවයක් පෙන්වූවද මේ මුළුමනින්ම පාහේ පදනම් වී ඇත්තේ හින්දු වෛදික දහම පදනම් කරගෙනය..) පෝරුවේ උපත කවදා කොතැනක දී සිදු වීද යන්නට පැහැදිලි සාක්ෂි නොමැති හෙයින් ඒ පිළිබඳ විවිධ මත පළ වී ඇත. මහ සම්මත රජ දවස සිට පෝරුව පැවත එන බවත් මහ සම්මත රජු සහා මැණික්පාල කුමරිය නොහොත් මුතුකෙලී කුමරියගේ විවාහ මංගල්‍යය සඳහා චන්දගිරි පර්වතයේ වෙසෙන විස්කම් දිව්‍යරාජෝත්තමයන් නරලොවට පැමිණ ප්‍රථම මංගල පෝරුව නිර්මාණය කළ බව සඳහන් වන අතර නෙළුම් පත්මයක ඕපපාතිකව උපන් පත්මාවති කුමරිය බරණැස් රජුට සරණ පාවා දුන් තැන් සිට පෝරුව පැවත එන බවත් පත පොතේ සඳහන් වේ. බෞද්ධ සාහිත්‍යයේ සඳහන් සිද්ධාර්ථ යශෝධරා යුවළට සාදන ලද පෝරුවේ විස්තරයක්ද තිබේ. එදා සිදුහත් කුමරු හට බිම්බා කුමාරිය සරණ පාවා උදාරව දෙනු ලැබු සුබ කරකාර මගුලෙදි මන පබෝවා මුදාහල ලෙස යුවලගේ පා මගුල් පෝරුව මතයි බෝවා මෙදා පින්බර මෙනව යුවලක් මගුල් පෝරුව මත නගීවා පෝරුව යුවතිපති දෙපළට සෙත් ශාන්තියක් උදා කරන තැනකි.

පොළවට මඳක් ඉහළින් සකස් කරන ලද පුවරුව පෝරුව යන්නෙන් හඳුන්වන අතර මල් ලියකම්වලින් එය අලංකාර කර ඇත. විශ්ව කර්ම දිව්‍ය පුත්‍රයා විසින් සාදන ලද පෝරුවහි දොරටු සතරක් තිබූ බවත් ඒවා සතරවරම් දෙවියන් විසින් රැකවල් කළ බවත් පැරණි පෝරුවේ කියමන්වල සඳහන් වේ. මේ ආකාරයට දැනුදු බෞද්ධයන්ගේ මංගල පෝරු සාදන විට සතර දිසාවේ පුන්කලස් සතරක් සාදා සම්ප්‍රදායට අනුව පහන් දල්වන්නේ ධෘතාරෂ්ඨ, විරූඪ, විරූපාක්ෂ, වෛශ්‍රවණ යන සතරවරම් දෙවියන් වෙනුවෙනි. පෝරුව අලංකාර කරන්නේ සිංහල කලා සම්ප්‍රදායන්ට අනුකූලවය. ඒ සඳහා අව් අතු මුර අතු, සේසත්, සඳකඩ පහණ, පලා පෙති, ලියවැල්, හංස, ගිරා, ඇත්, සිංහ රූප මෙන්ම ඉර, හඳ, පුන් කලස් ආදිය යොදා ගනු ලැබේ. පෝරු කවි අනුව පෝරුව රන් පැහැ ගත් එකක් විය යුතුය. සාම්ප්‍රදායික මංගල පෝරුවක් ලෙස ගොක් කොළ පෝරුව හැඳින්වූවද ගොක් කොළ පොරුව යනු හෙළ කලා කරුවා විසින් සම්ප්‍රදාය බිඳ දමා නිර්මාණය කළ පෝරුවකි. එය එකල පොදු ජනතාවගේ කලාව විය. පෝරුවේ ඉහළින් ම නවග්‍රහ මණ්ඩලය සංකේතවත් කරන චිත්‍ර නිර්මාණය කර සෞභාග්‍යයේ සංකේත වන සහල්, පොල් බුලත් සමග පඬුරු පෝරුව මත තබා ලදපස් මල් ඉස සුවඳ දුම් අල්වනු ලැබේ. හැම විටම පෝරුව අලුත් එකක් විය යුතු ය. කලින් භාවිතා කළ පරණ පෝරුවක් නව යුවලක් පෝරු මෂ්ඨකාරූඪ කිරීමට සුදුසු නොවේ. විශේෂයෙන් මෙහිදී යුවල සිට ගන්නා වේදිකාව මතු පිට ලෑල්ල රත්හදුන්, සුදු හදුන් හෝ කිරි ලීයකින් වූවක් යෝදා ගනී. බොහෝ විට මෙකල්හී ඒ සඳහා කොස් ලෑලි යෝදා ගනී. ඉන් අදහස් කරන්නේ සශ්‍රීකත්වයය. පැරණි සම්මතය අනුව පෝරුවේ දිග වඩු රියන් 16 කුත් පළල වඩු රියන් 15 කුත් විය යුතු අතර (වඩු රියනක් යනු දළ වශයෙන් අගල් 31කි.) දොරටු 4ක් හා මුලු 8ක් සෑදෙන පරිදි සැකසිය යුතුය.(දොරටු 3 මංගල පෝරු වර්තමානයේ බහුලව භාවිතා කරයි.) පහත සඳහන් පැරණි කවියෙන් පෝරු පිළිබඳව කියැවේ.

සතර දොරටුව තොරණ සතර ද සිව් වරම් දෙවිරුව තනා
නොහැර නවග්‍රහ මඩල මුදුනේ එරන්කොත තබමින් මනා
කෙස ගජලතා සියපත් දිළෙන සඳකඩ පහණිනා
පවර දෙව් විමනක සිටිය දී උඩු වියන් බැඳි විලසිනා

මංගල පෝරුව චාරිත්‍ර සඳහා අවශ්‍ය ද්‍රව්‍ය :

  • සුදු රෙදි යාර 2
  • සුදු හාල් කිලෝ 1
  • ලදපස් මල් පැකට් 1
  • පඬුරු 21
  • බුලත් අත් 7
  • පිරිත් නූල් කැබැල්ලක්
  • කෙන්ඩියක් හෝ සංඛයක්
  • පැන් වැඩිමට භාජනයක්
  • පොල් මල් 4
  • පොල් ගෙඩියක්
  • මැටි පහන් 4
  • පහන් තිර පැකට් 1
  • පොල් තෙල් බෝතල් 1/2
  • කැත්තක්

මනාලයා විසින් ගෙන ආ යුතු කළමනා :

  • හගල හුරැලු සඳහා බුලත්
  • කච්චි හේලය (මනාලියගෙ මෑණියන්ට පිදිමට)
  • මංගල මුදු
  • තැල්ල
  • පිළි (දෙවැනි ගමන සඳහා ) පුරාණයේ නම් කිරිබත්, කැවුම්, කෙසෙල්, තැඹිලි ආදිය පෝරුව මත තැන්පත් කරන ලද බව සඳහන් වන අතර වත්කමේ හැටියට රන්, රිදි, මුතු, මැණික්, පස්ලො කාසි ඒ මත ඇතිරූ බවට ද කියැවේ.

මංගල චාරිත්‍ර මෙහෙය වන මංගල්‍යෂ්ඨක කියන තැනැත්තා සැදැහැති බෞද්ධයෙක් වීම වැදගත්ය. ඔහු ගුණගරුක යුතු වීම පමණක් නොව චතුර භාවයෙන් යුතු කීමේ, බිනීමේ හැකියාව ද හිමිවිය යුතුය. පන්සිල් රකින සිල්වත් වැඩිහිටියකු විය යුතු ය. බීමත්කමින් චාරිත්‍ර වාරිත්‍ර සිදු කිරීම මස් මාංශ අනුභව කිරීමෙන් වැළකී මනා සිහි කල්පනාවෙන් පෝරුවේ චාරිත්‍ර කළ යුතු ය. පෝරුවේ චාරිත්‍ර සකස් වී ඇත්තේ ඒ හා බැඳුනු විශාල කතාන්තරයකින්ය. පුරාණ චාරිත්‍ර අනුව පෝරුමස්ථාරූඩ කරන්නේ කන්‍යාවියන් පමණි. ඒ අනුව මනාලියගේ පාරිශුද්දතාව ලොවට පෙන්වීම පෝරුවේ මූලික අරමුණකි. පෝරුව මත යුවළ සිටිය යුතු කාලය පැය භාගයකට පමණ ප්‍රමාණවත්ය. දීර්ඝ කාලයක් ගැනීම සුදුසු ඇති අතර යුවළ අපහසුතාවයට ලක් කරයි. නමුත් පැරැණි අෂ්ඨක කියවන්නන් ඒ සඳහාම විනාඩි 45කටත් වැඩි ලබා ගනී. ඇතැම් විට කලින් දින නිදිවරා හරි හැටි කෑමක් බීමක් නැතිව සිටිය හොත් ක්ලාන්ත වී බිම වැටෙන්නට වුව ඉඩ තිබේ. එසේ වූ අවස්ථා ඕනෑ තරම්ය. එවිට ඥාතීන්ගෙන් අසන්න්ට ලැඛෙනුයේ යුවතිපතින්ගේ චරිතයේ කැලල් බව ගැන කතාය. සමහරුන් කියන්නේ අෂ්ඨක කියන විට වැරදි කර ඇත්නම් වැටෙන බවය. එහි සත්‍යක් නැත. චාරිත්‍ර ආරම්භ කිරීමට පෙර නමස්කාරය කියා පන්සිල් ගැනීමද ඉන් පසුව දේවාරාධනා කර සෙත් පිරිත් කියන අතරතුර දෙපාර්ශවයේ පියවරුන් විසින් යුවළ පෝරුවට නැංවීමට උචිත වන්නේ ය. එහෙත් ඇතැම් පලාත් වල මාමාවරුන් විසින් යුවතිපති දෙපළ පෝරු මස්තාරූඩ කිරීම සිදුකරන අතර මෙය පලාත් අනුව වෙනස් වෙන සිරිතකි. මඟුල් ඛෙර වාදනය ද මේ මොහොතේ සිදු කෙරේ. පෝරුවේ දී නව යුවල සිටුවනු ලබන්නේ මනාලයාගේ වම්පසින් මනාලිය සිටින අන්දමිනි. ආරම්භයේ දී මෙවැනි නමස්කාර ගාථා කියනු ලැබේ.

භගවා භගවා යුත්තෝ භග්ග, කිලේස වාගතෝ භග්ග, සංසාර මුත්තාරෝ භගවා නාමතේ නමෝ දළු මුර පිදීම චාරිත්‍ර ඉටු කරන්නා විසින් ප්‍රථම බුලත් හුරුල්ල මත පඩුරක් තබා නව යුවලගේ අත ගස්වා තෙරුවන සදහා උස් ස්ථානයකින් තබයි. තවත් හුරුළු 6ක් යුවල අතර හුවමාරු කර පෝරුව මත හෙලයි. හගල හුරුළු පිදීම ඉහත අන්දමට හත්මුතු පරම්පරාවක් සිහිපත් කිරීම උදෙසා හගල බුලත් හුරුළු 6ක් පෝරුව මත පතිත කිරීම කරනු ලැබේ. හත්වෙනි බුලත් හුරුල්ල ආපසු දෙන්නේ නැත. මෙයින් අදහස් කරන්නේ සිඟාලෝවාද සූත්‍රයේ සඳහන් සදිසා නමස්කාරයයි. සිගාලෝවාද සුත්‍රයෙන් කියවෙන්නේ එදා හින්දු සමාජයේ තිබුණු ආගමික පිළිවෙත් කිහිපයකි. ඒ බුදු සමයේ විරෝධයට ලක්වූයේ නැත. ඒ අද බෞද්ධ පිළිවෙතක් බවට වෙනස් වී ඇත උපයන ධනය මව්පියන්, ගුරුවරුන්, හිත මිතුරන්, පවුලේ සේවකයන් හා ශාසනය වෙනුවෙන් කළ යුතු යුතුකම් ඉටු කිරීම සඳහා භාර්යාව විසින් ප්‍රවේශම් කර ආපසු දෙන බව මේ චාරිත්‍රය සංකේතවත් කරයි. එම සදිසාවට අමතරව වුවමනා විටෙක ආධාර උපකාර පරිත්‍යාග සඳහා බිරිඳට තිඛෙන අයිතිය හත්වන හුරුල්ල ආපසු නොදීමෙන් සංකේතවත් කෙරේ. කැවුම් කිරිබත් අනුභවයද පෝරුව මතදී සිදු කරන චාරිත්‍රයකි. ඊට පෙර වතුර බඳුනක් පිළිගන්වනු ලැබේ. පිරිසිදු ජලය අවර්ණය. අවර්ණ පිරිසිදු ජලය මෙන් දෙදෙනාගේ ආදරය ද පතිවෘතව රැක ගනිමින් පිරිසිදුව තබා ගැනීමද, දුක සැප සමසේ ඛෙදාගැනීම හෙවත් සහජීවනයද මෙමගින් සංකේතවත් කෙරේ.

මංගල මුදු පැළදවීම :
මෙය සිංහල සිරිතක් නොවුනද අද ඒ අනිවාර්‍ය අංගයක් වී තිබේ. මනාලියගේ වමතේ ද මනාලයාගේ දකුණතේ ද සිදු කරයි. නයිල් නදියේ වාසය කල ආදි මිනිසුන් ගැහැණියගේත් මිනිසාගේත් එක්වීමේ සලකුණක් වශයෙන් මුදු පැළැදීම පටන් ගත් බව කියවේ. විවාහ සිරිතක් ලෙස මුදු පැළදවීම මුලින්ම කරන ලද්දේ රෝමන් වරුන්ය. තැලි පිළි පැළඳවීම මෙම චාරිත්‍රයේ දී මනාලයා විසින් මනාලියට ඇඳුම් ආභරණ පැළඳවීම සිදු කරනු ලැබේ. ස්වකීය භාර්යාවට ඇඳුම් ආභරණ සපයාදීම සැමියෙකුගේ යුතුකමක් බව සිඟාලෝවාද සූත්‍රයේ සඳහන් වේ. චාරිත්‍ර මගින් මෙම යුතුකම සංකේතවත් කරයි.

අතපැන් වත් කිරීම :
වෙස්සන්තර රජු දරුවන් දන් දුන් පරිදි අත් ඇගිලි පිරිත් නූලකින් බැඳ(අත් කවුතුක බැඳීම) පිරිත් පැන් වලින් අතපැන් වත්කර සරණ පාවා දීම මනාලියගේ පියා විසින් කළ යුත්තේ ය. පියා නොමැති විට පමණක් මාමා කෙනෙකු විසින් කරනු ලැබේ. තමන්ට අයිති වස්තුවක් අන් අයෙකුට පවරා දීමේ දී මෙසේ පැන් වඩා භාර දුන් බව ඉතිහාසය සාක්ෂි දරයි. මෙය හින්දු වෛදික දහමෙන් ගත් සිරිතකි. වතුර සහ කැවුම් කිරිබත් පිළිගැන්වීම හා අනුභවය. ජලය පිරිසුදු ආදරය සංකේතවත් කරයි. පිරිසිදු ජලය මෙන් ජීවිතාන්තය දක්වා පතිවත රැක ගත යුතු බවයි. කැවුම්, කිරිබත් ආදී හෙළ ආහාර වර්ග මස් මාංශයෙන් තොරය.

වැඩිහිටියන්ට බුලත් දීම :
මවට මෙන්ම පියාටත් ගුණ සිහිකර බුලත් අතක් දී ආශිර්වාද ලබා ගනී. මේ අවස්ථාවේ දී කාල වේලාව අනුව තවත් ළගම ඥාතීන් හට ද බුලත් දීම සිදු කෙරේ.

කිරිකඩ හේලය පිදීම :
මේ කිරිකඩ හේලය හෙවත් කච්චි හේලය හෙවත් කච්චි කිරිකඩ මනාලියගෙ මෑණියන්ට පෝරුවේ දී පිදීම ඉතා ගෞරවනීය ලෙස ඉටු කළ චාරිත්‍රයකි. සිය මනාලියට මනාලියගෙ මෑණියන් පෙවූ කිරිවල පව් අරවා ගන්නට මනාලයා විසින් කිරිකඩ හේලය පිදු බව කියැවේ. මෙයට ඇතැම් පළාත්වල කිරිකඩ කච්චිය හෝ ගෙටදෙන සේළය යැයි ද කියති. ඇතැම් පළාතක කච්චි කිරිකඩක් සමග ගිරයක් හා හුණු කිල්ලෝටයක් ද වේ. මහා භද්‍ර කල්පයකට පෙර සිදු වූ සිදුවීමක් කිරිකඩ හේලය පිළිබඳ කවි පෙළින් කියැවේ. එක්තරා මවකගෙන් මනාලියට කොපමණ කිරි දුන්නේ දැයි මනාලයා විසින් ඇසූ විට කච්චියක් රෙදි තෙමෙන්නට කිරි දෙන්නට ඇතැයි ඇය උපමාවකින් කීවේලු. අද කිරි කල හත නෑවීමේ චාරිත්‍රයක්/ විලාසිතාවක් නිර්මාණය ඇත්තේ මේ පදනම් කරගෙනය. මව් ගුණය සිහි කෙරෙන මෙම කථාන්තරය සහිත කවි පෙළ අසන්නන්ගේ සිත් කම්පා කරවන අතර අසීමිත මවුගුණ ඉස්මතු කරන සුළුය. එම කවි පෙළේ කොටසක් මෙසේයි.

පුතනුවනි ඒ නිසා - කිරි දුන් ගණන නොලසා
උපමා කර යසා - කියමි මගෙ පුත අසනු සතොසා
දසකඩ මස සරී - උපන් දා සිට දුන් කිරී
කච්චියක් රෙදි සරී - තෙමෙන්නට ඇත දුවට දුන් කිරී
එවිට එම කුමරුන් - රෙදි කච්චියක් නොලසින්
සපයා ගෙන ගොසින් - මවට පිළිගන්වමින් සිතමින්
රන් සේප්පු ගන්නේ - ඊ පිට තබා ගන්නේ
මවට දුන් වැන්නේ - එදයි කිරිකඩ ලොව පැවැත්තේ

මවට කිරි හේලයක් පිළිගන්වා ගුණ ගායනා කර පියා අමතක කිරීම කිසි විටකත් නොකළ යුතු ය.

අශ්ඨක කියවීම :
මේ සියලු චාරිත්‍ර වලදි ගායනා කිරීමට සුදුසු, අෂ්ඨක තිබේ. දළඳා අෂ්ඨකය, ශ්‍රීවිෂ්ණු අෂ්ඨකය, අට විසි විවරණ අෂ්ඨකය, කන්ද කුමාර අෂ්ඨකය, මහා මංගල අෂ්ඨකය, නවග්‍රහ මංගල අෂ්ඨකය, ගණේෂ අෂ්ඨකය, දැඩිමුණ්ඩ අෂ්ඨකය, නාරායන අෂ්ඨකය, බෞද්ධ අෂ්ඨකය, අෂ්ඨදේව, මංගල අෂ්ඨකය, පත්මාවතී අෂ්ඨකය වැනි අෂ්ඨකයන් අතුරින් කීපයක් නැවත ගායනා කර චාරිත්‍රය ඔපවත් කරනුද දක්නට ලැබේ. නමස්කාර ගාථා සැහැලි ආදී බොහෝ කියමන් චාරිත්‍ර වාරිත්‍ර වල අරුත් පහදා දී ඇතත් ලොව පහළ වී ඇති සියලු ආදර කථාන්තර වලට වඩා ආකර්ෂණීය වූද අර්ථවත් වූද ආදර්ශමත් වූද කථාන්තරය වන්නේ සිදුහත් යශෝධරාවන් ආත්ම ගණනක් මුළුල්ලේ ගතකළ ජීවිත පිළිබඳ කියැවෙන බෝසත් කථාන්තරය. එබැවින් මංගල පෝරුවේ චාරිත්‍ර වලට වඩාත් සුදුසු වන්නේ බෞද්ධ මංගල්‍යෂ්ඨක සහ පිරිත් බව බෞද්ධයන්ගේ පිළි ගැනීමය .

ආරක්ෂා සෙත් පැතීම :
මෙහිදී නව යුවලට සෙත් පැතීම සඳහා ජය පිරිත සජ්ජායනා කොට තෙරුවන් ගුණ සිහි කරමින් සත්‍ය ක්‍රියා කිරීමක් සිදු කොට පෝරුවෙන් බැස්සවීමට සූදානම් කරයි. පෝරුවෙන් යුවළ බැස්සවීම මගුල් ඛෙර වයා අවසානයේ ජය මංගල ගාථා කීමද සිදු කෙරේ. මංගල පෝරුවෙන් යුවළ බැස්සවීම සඳහා දෙපාර්ශ්වයේම මාමාවරුන් දෙදෙනකු විසින් සිදු කරනු ලැබේ. පෝරුවෙන් බැසීමට පෙර වරම් ගැනීම සඳහා ආශිර්වාද කවි 08 ක් පමණ දැනට ලංකාවේ භාවිතා කෙරේ. පොරුවෙන් බැස්සවීම හා ඒ සමගම ශබ්ද පූජා පැවැත්වීම(මගුල් ඛෙර සක් පිඹීම )සිදු කෙරේ. එමෙන්ම ඇස්ස සහිත පොල් ගෙඩියක් තබා ඒ බුලත් කොළයක් තබා එම බුලත් කොළය උඩ කපුරු දල්වා මනාළ යුවළට අත ගස්වා සරස්වතී ගණ දෙවි දැහැනෙන් වස් දොස් හැර යුවළගේ හිස වටේ කරකවා සුභ පැතුම් කොට පෝරුවෙන් බහින විට දෙකට පැළිමට මනාලියගේ පාර්ශ්වයේ පිරිමි වැඩිහිටියෙකුට භාරදිය යුතුයි.

පෝරුවේ චාරිත්‍ර වල අවසාන අංගය :
පෝරුවෙන් බැස පහන දැල්වීමයි. දෙදෙනා පහන් තිර 3ක් දැල්විය යුතුය. පහන දැල්වෙන විට අඳුර පලා යයි. අඳුර පලා යන විට මග හොඳින් පෙනේ.මේ ආලෝකවත් වන්නේ නව යුවලගේ ජීවිතයයි. ජීවන මාර්ගයයි. පහන දල්වන විට මගුල් ඛෙර වාදනය කෙරේ. කෙසේ නමුත් මේ චාරිත්‍ර වාරිත්‍ර ප්‍රදේශයෙන් ප්‍රදේශයට හා චාර්ත්‍රවේදියා අනුව වෙනස් වන අතර පොදු ලක්ෂණද දකින්නට ලැබේ.

Share This Article