පෝරුවේ උත්සවේ
අරුණයි තිළිණියි අවුරුදු ගාණක් ආදරය කරල දෙන්නගෙම වැඩිහිටියන්ගෙ ආශීර්වාදය මැද්දෙ ඒ ආදරය මල්ඵල ගන්වන දවස එනකල් ඇඟිලි ගනිමිනුයි හිටියෙ. වැඩ ගොඩක් අස්සෙ වුණත් ඒ දෙන්නම තමන්ගෙ විවාහයේ සෑම සුබ දෙයක් ගැනම ගොඩක් ලොකු අවබෝධයකින් හිටියා. කතා බහත් කළා. ඒ විදියට එදා කතාවට ලක්වුණු මාතෘකාවක් වුණේ 'මංගල පෝරුව'. පෝරුවට විවාහ මංගල්‍යක හිමි වෙන්නෙ සුවිශේෂී තැනක්. ජීවිතේ එකම එකපාරක් විතරක් නඟින පෝරුව ගැන මේ දෙන්නට එතැන හිටපු වැඩිහිටියෙක් ලොකු පාඩමක් කියල දුන්නා. ඈත අතීතයේ මහා සම්මත රජ දවසටත් කලින් ඉඳලම පෝරුව චාරිත්‍ර පවත්වල තියෙනවා කියල ඉතිහාසය සාක්‍ෂි දරනවා. දන්නවද, සිද්ධාර්ථ - යසෝදරා විවාහ මංගල්‍යයට විශ්වකර්ම දෙවියන් පෝරුවක් මවල දිව්‍ය මල්වලින් සරසල රන් පහන් දල්වල පෝරු මස්තකප්‍රාප්ත කළා කියලා ශාසන ඉතිහාසයේත් සඳහන් වෙලා තියෙනවා. මංගල පෝරුව එදා ඉඳන් මේ දක්වාම එකම විදියකට ජනප්‍රිය වෙනකොට ඒකෙ ආරම්භයත් සුවිශේෂී වෙන්න ඇතියි කියල හිතපු අරුණ ඒ ගැනත් අර වැඩිහිටියගෙන් අහන්න අමතක කළේ නැහැ. ඔහු ඒ ගැන කිව්වෙ මෙහෙම කතාවක්... මහා සම්මත රජතුමා තමන්ගෙ බිසව වුණු මැණික්පාල කුමරිය හෙවත් මුතු කෙලී කුමරිය සරණ පාවා ගත්තු වෙලාවෙ චන්දන ගිරි පර්වතයේ වැඩහිඳපු විශ්වකර්ම දිව්‍ය පුත්‍රයා රත් හඳුන් ලීයෙන් තමයි පළමුවැනි මංගල පෝරුව හදල තියෙන්නෙ. එදා මහා සම්මත රජතුමාගෙන් පටන් ගත්තු පෝරුව චාරිත්‍ර සිදු කිරීම අද වෙනකල් දුප්පත් පොහොසත් භේදයක් නැතිව සිදුවෙනවා. ඒ විතරක් නෙවෙයි, නැකැත් හැදීමේදී වුණත් අනෙක් සියලුම දේවලට වඩා මුල් තැනක් හිමිවෙන්නෙ පෝරුවෙ චාරිත්‍රවලට. මේ කතා සේරම අහගෙන පෝරුව චාරිත්‍ර කරන්න ඇවිත් හිටපු අෂ්ටක කියන කෙනා තමන් නොදන්න කරුණු ගොඩක් විස්තර කරල දුන්නා. හැමෝම කරන්නන්වාලෙ පෝරුව චාරිත්‍ර කරන්නෙ නැතිව ඒකට හේතුවන කරුණු ගැනත් ඔය දරුවො දැනගෙන හිටියොත් හොඳයි... ඒ ගැන කියනකොට විශේෂ වන කරුණු කිහිපයක්ම තියෙනවා. පළමුවැනිම දේ තමයි සිංහල බෞද්ධ අපි පුරාණයේ ඉඳන්ම පැවැත එන චාරිත්‍රයක් අගය කිරීම.
දෙවැනි එක දෙදෙනාගේ කේන්දරවලට බලපාන ග්‍රහ අපල තියෙනවා නම් ඒවා සමනය කිරීම. තුන්වැනි එක දෙදෙනාට සෙත් පතා ආශීර්වාද කිරීම. අනෙක දෙදෙනා අතර සමඟිය, අනේයාන්‍ය සම්බන්ධය සහ බැඳීම ඇතිකිරීම, වගේම අනෙක් විශේෂම දේ මනාලියගේ පවිත්‍රතාව ඥාතීන්ට පෙන්වීම. මේ පෝරුව චාරිත්‍ර පළාත් අනුවත් වෙනස් වෙනවා. විශේෂයෙන්ම ගාල්ල, මාතර පැත්තෙ කරනවට වඩා හාත්පස වෙනස් විදියකින් තමයි කොළඹ, නුවර සහ තවත් සමහර ප්‍රදේශවල පෝරුවෙ චාරිත්‍ර සිද්ධ කරන්නෙ. පෝරුව හදන කොටත් ඒ ගැන විශේෂයෙන් හිතන්න කරුණු කිහිපයක් තියෙනවා කියල එතැන හිටපු පෝරු හදන කෙනෙක් මේ අයට පැහැදිලි කරල දුන්නා. පෝරුව හදන්න කලින් අපි නැකැතක් එහෙම බලනවා. සුබ අවස්ථාවක පටන් ගත්ත මේ පෝරුවට ගන්න ලෑලි අනිවාර්යයෙන්ම කිරි ගහකින්ම තමයි ගන්නෙ. ඒ වගේම තමයි කවුරුත් හිතුවෙ නැති වුණාට එක යුවළක් නැඟපු පෝරුවක තවත් යුවළක් නැංවීම කරන්නෙ නැහැ. අඩුම ගාණෙ ඒ පෝරුවට අලුතෙන් කිරි ලෑල්ලක් හරි ගහනවා. ඒත් අද මේ චාරිත්‍රයත් ව්‍යාපාරයක් කර ගෙනනෙ තියෙන්නෙ. මොනව වුණත් තමන්ගෙ ජීවිතේ එකම එක වතාවක් නඟින මේ පෝරුව ලෙහෙසියි කියල බද්දට ගන්න මනාල යුවළක් තමන්ගෙ යහපත ගැන හිතල කිරි ලෑල්ලක් හරි ඒ මත තියනව නම් ඒ ආශීර්වාදය පිරිසුදුව ලබාගන්න පුළුවන් වෙනවා. නැත්නම් සිය ගණන් නඟින පෝරුවකින් කොහොමද පිරිසුදු ආශීර්වාදයක් ගන්නෙ?පෝරුවේ අලුත් පැදුරක් එළන එක ගැනත් මෙතැනදී ප්‍රශ්නයක් මතුවුණා. පැදුර විතරක් නෙවෙයි, පෝරුවේ ගොඩක් ජාති තියල තමයි යුවළ පෝරුවට නංවන්නෙ. පැදුරක් එළන්න නම් හේතුව පුරාණයේ මඟුල් පෝරුව හදන්න කලින් පැදුරක් උඩ හිඳුවලා චාරිත්‍ර කිරීම. පෝරුවට පැදුර දාලා සුදු රෙද්දක් එළනවා. මේ රෙද්දත් විශේෂයි. ඒක යාර දෙකක්, ඒ කියන්නෙ හතර රියන් රෙද්දක් නොවිය යුතුමයි. අඩුම ගාණෙ යාර දෙකයි කාලක්වත් වෙන්න ඕන. ඊළඟට ඒ උඩට බුලත්, සහල්, පඬුරු, පොරි, කපුරු, වී, කපු ඇට, එළ අබ, තල, මුං සහ මල් සුවඳ ක්‍රමවත් විදියට තියල සශ්‍රීක භුමියක් බවට පත් කරනවා. ඒ භූමියට ත්‍රිවිධ රත්නයට බුලත් අත් 03ක් වගේම මල්, පඬුරුත් තියනවා. බුලත් කොළ රවුමට තියල ඒ මත සහල් සේරු භාගයක්, පොල් ගෙඩියකුත් තියනවා. මීට අමතරෙන් බුලත් කොළ දෙකකුයි, පඬුරු 9 කුයි තියල ඒ මඟින් රවි, චන්ද්‍ර, කුජ, බුධ, ගුරු, ශුක්‍ර, සෙනසුරු, රාහු සහ කේතු කියන නවග්‍රහයන් සංකේතවත් කරනවා. එයින් අපේක්‍ෂා කරන්නෙ මේ භූමිය සශ්‍රීක වගේම ශුද්ධ භූමියක් බවට පත්කිරීම.
මේ සේරම දේවල් කරල පෝරුවට මනාල යුවළ කැඳවීමත් විශේෂයි. පෝරුවට නංවන්න විනාඩි 15 කට විතර කලින් මනාලයා තමන්ගෙ මවුපියන් එක්කත් මනාලිය තමන්ගෙ මවුපියන් එක්කත් හරිම ගෞරවයෙන් අතෙන් අල්ලගෙන පෝරුව ළඟට එක්කගෙන එනවා. පෝරුවට නංවන්නෙ දෙපාර්ශ්වයේ මාමාවරුන් දෙදෙනෙක් වීමත් විශේෂයි. එහිදී ඔහුටත් මවුපියන්ටත් තෑගි බෝග දෙන්නත් අමතක කරන්නෙ නැහැ. පෝරුවේ චාරිත්‍ර කරන කෙනා පිරිමි කෙනෙක් වගේම උගත්, අෂ්ටක ගැන අවබෝධයක් තියෙන කෙනෙක් වෙන්න ඕන. ඒ වගේම පෝරුව ගැනත් නැකැත් වේලාවන් ගැනත් ඔහු හොඳ අවබෝධයකිනුයි ඉන්න ඕන. මේ විදියට අවසන් කරන පෝරුවේ චාරිත්‍ර කාටත් ජීවිතේ අමතක කරන්න බැහැ. අවසානෙදි පෝරුවෙන් බහින්නෙත් මාමගෙ අතින් අල්ලාගෙන ජය මංගල ගාථා මැද, පොල් ගෙඩියකුත් බිඳින ගමනුයි... ඉතිං අරුණටයි තිළිණිටයි පෝරුව ගැන හොඳ පාඩමක් මේ හැමෝගෙන්ම ලැබුණා. ඔය පාඩම හෙට දවසෙ මංගල පෝරුවට නඟින්න ඉන්න ඔබටත් වැදගත් වෙනවා නොඅනුමානයි.
ජේයාතිර්වේදී පී.එම්. මුදලිගේ
උපුටා ගැනීම මව්බිම