හිත හැංගුවාම පවුලට වෙන විනාශය
යුරෝපීය රටක පදිංචි ලාංකීය යුවළක් මනෝ උපදේශනය සඳහා මා වෙත යොමුවෙනවා. එහිදී මුලින්ම මා සමග සැසිය සඳහා සම්බන්ධ වන්නේ බිරිඳයි. ඇය සහ ඇගේ ස්වාමිපුරුෂයා අතර ඇති වී තිබෙන ගැටලුකාරී තත්ත්වය ගැන දීර්ඝව පැහැදිලි කරමින් ඇය කතාව කරගෙන යනවා. ඇය තම ස්වාමිපුරුෂයා වෙත නගන චෝදනාව මූලික වශයෙන් තම ස්වාමිපුරුෂයා තමා සහ වයස අවුරුදු තුනක් වන තම දියණිය වෙත ස්වාමිපුරුෂයකු පියකු ලෙස දක්වන සැලකිල්ල අවධානය ඉතාම අඩුබව. එය මවක් සහ බිරිඳක් ලෙස තමන්ට දරාගන්න ඉතාම අපහසු බව. කතාබහ යන අතරතුර ඇය එක තැනක මෙහෙම කියනවා. "මීට වසරකට පමණ පෙරදී මම දවසක් මගේ සැමියාගෙන් ඇහුවා දවසක මම නැති වුණොත් අපේ දරුවා වෙනුවෙන් ඔයා කරන්නේ මොනවද කියලා". ඒකට එයා ලබා දුන්නේ මම කිසිසේත්ම බලාපොරොත්තු නොවුණු පිළිතුරක්. ඔහු පැවසුවා මෙහෙම. "ආ... ඔයා නැති දවසක මම කරන්නේ දරුවා මේ රටේ තියන ළමා ආරක්ෂාව පිළිබඳව කටයුතු කරන ආයතනයකට බාර දෙන එක." එයා කිසිම ගාණක් නැතිව එහෙම කියලා එයා කරගෙන හිටපු වැඩේ කරගෙන ගියා.
ඊට පස්සේ මම ඇයගේ ස්වාමිපුරුෂයා සමග ඊළඟ සැසිය අරඹමින් කතා බහ යන අතරතුරේ දී ඔහුගේ බිරිද විසින් ඉහත සඳහන් කළ සිදුවීම පිළිබඳව විමසා සිටියා. ඇත්තටම ඔහුට ඒ පිළිබඳව හොද මතකයක් පවා තිබුණේ නැහැ. අමාරුවෙන් ඒ අවස්ථාව මතක් කරගෙන ඔහු මට පවසා සිටියේ "ආ ඔව් දවසක් එයා මගෙන් එහෙම ප්‍රශ්නයක් ඇහුවා. මම අර විදියට පිළිතුර ලබා දුන්නා" ඊට පස්සේ මම කිව්ව ඔහුට, "ඔබ දන්නවාද ඇය ඒ පිළිතුර නිසා දැඩි හිතේ අමාරුවෙන් සිටින්නේ මේ මොහොත දක්වාම". අන්න ඒ අවස්ථාවේ ඔහු යම් විදියකින් කලබල වුණා. කනගාටුවට පත් වුණා. ඉන් පසු ඔහු මට කියනවා, ඇත්තටම මම ඒ කතාව කිව්වෙ ඇයව අපහසුතාවට පත් කරන්න හෝ කනගාටුවක් ඇති කරන්න හිතාගෙන නෙවෙයි. එහෙම දෙයක් වුණොත් මම කරන දේ මොකක්ද කියන එක ගැන ඇයට කියන්න විතරයි මට අවශ්‍ය වුණේ, නමුත් මම කවදාවත් මගේ දරුවා එහෙම තැනකට බාර දෙන එකක් නැහැ, කටට ආපු නිසා මම ඒ උත්තරය ඇයට ලබා දුන්නා, අනික ඒ දරුවන් බලාගන්න ආයතන කියන්නේ මේ රටවල්වල ඉතාම හොඳින් දරුවන් බලා ගන්න රැකවරණය සලසන ස්ථාන, ඉතින් මම හිතුවේ මගේ බිරිඳ සතුටට පත් වෙයි කියලා.
මේ කතාව තුළ අපි තේරුම් ගත යුතු කරුණක් තියනවා. ඒ තමයි ගැහැනු සහ පිරිමි අය සංනිවේදනය කර ගන්නා අයුරු සහ ඒ සඳහා භාවිතා කරන විධි ක්‍රම එකිනෙකට වෙනස්. සාමාන්‍යයෙන් අපි මනෝ විද්‍යාව තුළ ඉගෙන ගන්න දෙයක් තමයි ගැහැනුන්ගේ කතාව නිතරම ව්‍යංගාර්ථයට බරයි, නමුත් පිරිමින් සෘජු සහ කෙලින් කතා කරන ස්වභාවයක් තිබෙන බව.
ඉහත කාන්තාව ස්වාමිපුරුෂයා වෙතින් අර පැනය නගමින් පරීක්ෂා කිරීමට උත්සාහ ගනුයේ ඔහු කෙතරම් ඇයට ආදරය කරනවාද යන්නයි. ඇයගේ වියෝව ඔහුට දැනෙන ආකාරය කෙබඳුද යන්න විමසා බැලීමටයි.
ඇය බලාපොරොත්තු වන්නේ ඇය නැති කාලෙක ඔහුට ඒ අඩුව දැනෙන ආකාරය ඔහු විස්තර කරන අන්දම දැන ගැනීමටයි. නමුත් ඇය විමසන්නේ තමන් නැති කාලෙක දරුවා වෙනුවෙන් කරන්නේ කුමක්ද යන්නයි. ඇයගේ යටි සිත බලාපොරොත්තු වන්නේ මම නැති කාලෙක කියන ප්‍රකාශය සඳහා ඔහුගෙන් බොහෝ සංවේදී හැඟීම් බර ප්‍රතිචාරයක්.
නමුත් ස්වාමිපුරුෂයා පිළිතුර ලබා දෙන්නේ ඇය නැති කාලෙක දරුවා වෙනුවෙන් සිදු කරන දේ පිළිබඳවයි.
මම මෙහිදී අදහස් කරන්නේ නැහැ දරුවා වෙනුවෙන් ඔහු සිදු කරනවා යයි කියූ දෙයට ඇයට වේදනාවක් ඇති නොවූ බව. එයටත් ඇයට වේදනාවක් ඇතිෙවන්න ඇති. පිරිමි නිතරම ප්‍රායෝගික තත්ත්වය ගැන හිතලා කතා කරනවා, පිළිතුරු ලබා දෙනවා. ඇත්තටම ඉහත කතාවේ ස්වාමිපුරුෂයා මට පවසා සිටියේ දරුවාගේ මව නොමැති දවසක කරන්න තියන හොඳම දේ ගැන තමන් පැවසූ බවයි. නමුත් අපි බොහෝ වෙලාවට දැක ඇත්තේ කාන්තාවන් ප්‍රායෝගික පිළිතුරු අදහස්වලට වඩා යම් කැමැත්තක් කන පිනවන හිත පිනවන පිළිතුරු අදහස් සඳහා වැඩි කැමැත්තක් දක්වන බවයි.
ඉහත කතාවේ කාන්තාවට සහ ඇගේ ස්වාමිපුරුෂයාට ඒ පිළිබඳව අවබෝධ කර දීමෙන් පසු ඒ ගැන නිසි ලෙස වටහා ගත් බව මට තේරුණා. ඒ වනවිටත් ඇය වසරකට වැඩි කාලයක් එම සිද්ධිය හිතේ රඳවාගෙන පීඩාවෙන් සිට තිබෙනවා. එයත් අපි කාන්තාවන්ගෙන් දකින සාමාන්‍ය ස්වාභාවයක්. යම් ගැටලුවක් විවෘතව කත කර එය නිවැරදි කර ගන්න ඔවුන් උත්සාහ ගන්නෙ අඩුවෙන්. එය ඔවුන් තේරුම් ගන්නා ආකාරයෙන්ම හිතේ රඳවාගෙන දීර්ඝ කාලයක් වුවත් පීඩනයෙන් සිටිනවා. ඇත්තටම සමහරවිට එය අනවබෝධය සහ වැරදි වැටහීමක් නිසා ඇති කර ගන්නා පීඩනයක් විය හැකියි. මෙවැනි දේ නිසා විවාහ ජීවිතවල ඉතාම නරක තත්ත්ව ඇති වෙන අවස්ථා ඕනෑ තරම් තිබෙනවා.
ඉතින් ඔබත් සැමියා කළ ප්‍රකාශයක වැරදි පැත්තක් අල්ලාගෙන මානසික පීඩාවට පත් වී සිටිනවාද? නැවතත් හිතන්න, එසේ නැතිනම් ඔහු සමග ඒ ගැන විවෘතව කතා කරන්න.
උපුටා ගැනීම සිරිකත