වරදකරුවන් නොවී දික්කසාද වීමේ අලුත් නීතියක් මෙන්න
"නඩු යන්නෝ වැනසෙන්නෝ." මෙවැනි කියමන් සමාජගත වී තිබෙන්නේ ලංකාවේ අධිකරණයේ නඩු විභාග කර අවසාන කිරීමට ගතවන දීර්ඝ කාලයත් සමඟ අදාළ පාර්ශ්වකරුවන්ගේ කාලය, මුදල් සහ ශ්‍රමය ද දීර්ඝ වශයෙන් වැය වන නිසාය. ඊට ප්‍රධාන වශයෙන් බලපානු ලබන්නේ යල් පැන ගිය නීති සහ අධිකරණ පද්ධතියයි. මෙම නීති සංශෝධනය කර වර්තමානයට ගැළපෙන පරිදි නීති පද්ධතිය යාවත්කාලීන කිරීමේ වැඩපිළිවෙළක් ඇරඹීමට අධිකරණ අමාත්‍ය, ජනාධිපති නීතිඥ අලි සබ්රි විසින් තීරණය කර තිබෙන්නේ එබැවිනි. මේ සඳහා ආරම්භක පියවර වශයෙන් උප කමිටු 5ක් පත් කර ඇත. ඒවා මතු දැක්වේ.
- අධිකරණ ක්ෂේත්‍රයේ යටිතල පහසුකම් සකස් කිරීමේ කමිටුව
- ඩිජිටල් පහසුකම් මඟින් අධිකරණ පද්ධතිය නවීකරණය කිරීමේ කමිටුව
- වාණිජ නීතිය ප්‍රතිසංස්කරණ කමිටුව
- අපරාධ නීතිය ප්‍රතිසංස්කරණ කමිටුව
- සිවිල් නීතිය ප්‍රතිසංස්කරණ කමිටුව
“ලංකාවේ අධිකරණ පද්ධතිය ගැන සලකා බැලුවාම අපි ඉන්නේ සතුටු විය හැකි තැනක නොවෙයි. ලෝක දර්ශකය ගත්තාම අපි ඉන්නේ 169, 170 වැනි ස්ථානවල. එයින්ම පැහැදිලි වෙනවානේ අපේ රටේ අධිකරණ පද්ධතියේ පසුගාමි ස්වභාවය. දිසා අධිකරණයක් ගත්තාම දහස් ගණනින් නඩු ගොඩ ගැහිලා. ලංකාවේම මිලියන ගණනක් නඩු තියෙනවා. ඒනිසා තමයි ජනාධිපති නීතිඥ අලි සබ්රි අමාත්‍යවරයා නීති සහ අධිකරණ පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමට පියවර ගෙන තිබෙන්නේ. මේ කමිටුවලට අදාළ විෂය පථ තියෙනවානේ. ඒ ඒ විෂයන් මූලික කරගෙන අපි තවත් උපදේශක කමිටු ගණනාවක් පත් කරලා තිබෙනවා. උදාහරණයක් හැටියට සිවිල් නීතිය යටතේ ඉඩම්, දික්කසාද, කුලී නිවාස ආදි වශයෙන් ක්ෂේත්‍ර ගණනාවක් තිබෙනවා. අපි ඒ ඒ අංශවලට විශේෂිත වූ විෂය ප්‍රාමාණික නීතිඥවරුන්ගෙන් තමයි මෙම උපදේශක කමිටු පත් කර තිබෙන්නේ. ඒ අය ඒ ක්ෂේත්‍ර අධ්‍යයනය කරලා නීති පද්ධතියේ වෙනස්කම් සිද්ධ විය යුත්තේ කොහොමද කියලා අපිට වාර්තාවක් දෙන්න ඕනෑ.“ යනුවෙන් පැහැදිලි කළේ අධිකරණ අමාත්‍යවරයාගේ සම්බන්ධීකරණ ලේකම්, නීතිඥ ෂමීර් ෂවාහීර් ය.
මේ අනුව දැනට පවතින විවාහ දික්කසාද සහ බාල වයස්කාර දරුවන්ට අදාළ නීති සංශෝධනය කිරීම සඳහා පත්කළ උපදේශක කමිටුවේ වාර්තාව එම කමිටුවේ සභාපති, ජනාධිපති නීතිඥ කුෂාන් ද අල්විස් විසින් අධිකරණ අමාත්‍යවරයාට පිරිනමනු ලැබීය. මෙම කමිටුවට සාමාජිකයන් 12 දෙනකු අයත් වේ. මෙම කමිටුව විසින් නිදහසින් පසු කිසිදු සංශෝධනයකට ලක් නොවූ සාමාන්‍ය විවාහ, දික්කසාද නීතිය යාවත්කාලීන කිරීම සඳහා යෝජනා ඉදිරිපත් කර තිබේ. නුදුරු දිනයකදීම කැබිනට් අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීමට නියමිත ය.
“අද දෙදෙනකුට දික්කසාද වෙන්න අවශ්‍ය නම් කරුණු 3කින් 1ක් සාක්ෂි සහිතව ඔප්පු කිරීමට සිදු වී තිබෙනවා. ඒ කරුණු තුන තමයි විත්තිකාර පාර්ශ්වයේ අනිසි සම්බන්ධතාවක් තිබීම, වෛවාහික නිවස ද්වේෂ සහගත ලෙස අත්හැර යෑම සහ ලිංගික බෙලහීනතාව. මේ කරුණු තුනෙන් එකක් ඔප්පු කළොත් විතරයි දෙදෙනකුට දික්කසාදය ලැබෙන්නේ. මෙතනදි එක් පාර්ශ්වයක් නීතිය ඉදිරියේ වැරදිකරු බවට පත්වෙනවා. අපි හිතමු දෙදෙනාටම දික්කසාද වීමට අවශ්‍යයි කියලා. ඒත් මම කලින් කියූ කරුණු තුනෙන් 1ක් අනිවාර්යයෙන් ඔප්පු කිරීමට සිදු වෙනවා. මෙවැනි අවස්ථාවල දික්කසාද වීමට අවශ්‍ය නිසා එක් පාර්ශ්වයක් වැරැද්ද පිළිඅරන් නීතිය ඉදිරියේ වැරදිකරු බවට පත් වෙනවා. වැරදිකරු නොවී දෙදෙනාගේ කැමැත්තෙන් දික්කසාද වීමට අපේ නීතියේ ඉඩක් නැහැ. දික්කසාද වීමට අවශ්‍ය වුණොත් බලහත්කාරයෙන් වැරදි හොය හොයා අනෙකාට වැරදි පටවන නීතියක් තමයි දැනට අපේ රටේ ක්‍රියාත්මක වෙන්නේ. මේ නීතිය සංශෝධනය විය යුතුයි. දැන් අපි ඉදිරිපත් කර තිබෙන්නේ විවාහ ජීවිතය නැවත ගොඩනැඟිය නොහැකි තත්ත්වයට පත්වීම නිසා දික්කසාදයට නීතියෙන් අවසර හිමි වීම කියන කාරණාව. හැබැයි එය සාධාරණව ඔප්පු කළ යුතුයි. මෙහිදී විත්ති පාර්ශ්වයට පුළුවන් දික්කසාදයට කැමතියි කියලා නීතිඥවරයකු මඟින් ප්‍රකාශ කරන්න. නමුත් එය පැමිණිලි පාර්ශ්වය බලහත්කාරයෙන් ලබා ගත් ලියැවිල්ලක් වෙන්න බැහැ. නැවත ගොඩනැඟිය නොහැකි තත්ත්වයට පත් වීම නිසා එක් පාර්ශ්වයක්වත් වැරදිකරු වෙන්නේ නැහැ.“ යනුවෙන් පවුල් නීති සංශෝධනය සඳහා පත් කළ උපදේශක කමිටුවේ කැඳවුම්කරු, නීතිඥ මෝක්ෂිණි ජයමාන්න විස්තර කළාය.
මෙරටට විවාහ, දික්කසාද නීතිය උරුම වූයේ බ්‍රිතාන්‍ය ජාතිකයන්ගෙනි. ඒ 1906දීය. 1906දී ස්ථාපිත කළ නීතිය කිසිදු ප්‍රතිසංස්කරණයකින් තොරව සියවසකටත් වඩා වැඩි කාලයක් මුළුල්ලේ අප විසින් කරපින්නා ගෙන ඒමෙන්ම මෙහි ඇති යල්පැන ගිය ස්වාභාවය මනාව පසක් වනු ඇත. මෙහි ඇති අනෙක් විහිළුව වන්නේ බ්‍රිතාන්‍ය පාලකයන් අපට දුන් ආඥා පනත් අප ඒ ආකාරයටම පිළිගනිද්දී 1969 වර්ෂයේදී බ්‍රිතාන්‍ය ජාතිකයන් විසින් ඔවුන්ගේ නීති සහ අධිකරණ පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමයි. 1956දී කනකරත්න කොමිෂන් වාර්තාවෙන් ද 2007 වර්ෂයේ නීති කොමිසමෙන් ද 2010දී මහාචාර්ය සාවිත්‍රි ගුණසේකරගේ ප්‍රධානත්වයෙන් පැවැති නීති කොමිසමෙන් ද මෙරට නීති පද්ධතිය වෙනස් විය යුතු බවට නිර්දේශ කර තිබුණ ද එය ක්‍රියාත්මක වූයේ නැත. “1995 දී ඉන්දියාව පවා ඔවුන්ගේ නීතිය වෙනස් කර තිබෙනවා. දකුණු අප්‍රිකාවත් ඔවුන්ගේ නීති සංශෝධනය කර තිබෙනවා. අපිට 1906දී පනවපු නීති ඇතුළේ හැමදාම ඉන්න බැහැ. යාවත්කාලීන විය යුතු වෙනවා. බ්‍රිතාන්‍ය ජාතිකයන් එදා ඒ නීති පැනෙව්වේ කතෝලික ආගම මුල් කරගෙන. ඔවුන් විවාහ ගිවිසා ගන්නේ දෙවියන් ඉදිරියේ පොරොන්දු වෙමින්. වික්ටෝරියානු නීතිය මඟින් කාන්තාව කොටු වෙලා. ඒත් අපේ රටේ තිබුණු උඩරට නීතියට අනුව එවැනි තත්ත්වක් ඇති වෙන්නේ නැහැ. එකිනෙකාට වරද පටවන්නේ නැතිව විවාහයක් අවසන් කළ හැකි වීම ශිෂ්ට සම්පන්නයි. දික්කසාද නීතියේදී අපි හුඟක් සලකා බැලුවේ දරුවන් ගැන. දරුවන් නැතිනම් දෙන්නාට දෙන්නා වැරදි පටවා ගෙන වෙන්වෙලා හිත් රිදවාගෙන ඉන්න පුළුවනි. ඒත් දරුවන් සිටින විට මවුපියන්ගේ හිත් රිදවා ගැනීම්, ඒ දෙදෙනාගේ චෝදනා කර ගැනීම් දරුවන්ට තදින් බලපානවා. සමහරවිට එය දරුවන්ට මානසික ආතතිය, මානසික අවපීඩන තත්ත්ව දක්වා වර්ධනය වෙන්න පුළුවනි. ඒත් අපි ඉදිරිපත් කර තිබෙන විදිහට එකිනෙකාට චෝදනා කරගෙන, වෛරක්කාරයන් මෙන් වෙන්වීමට අවශ්‍ය නැහැ. එය දරුවන්ට යහපතක්. අනික මේ විදියට වෙන් වුණාම දරුවන්ගේ වැඩකටයුතුවලදී මවුපියන් වෙන් වුණත් සුහදත්වයෙන් කටයුතු කරන්න පුළුවන්.“ යනුවෙන් පැවසුවේ පවුල් නීති සංශෝධනය සඳහා පත් කළ උපදේශක කමිටුවේ සභාපති, ජනාධිපති නීතිඥ කුෂාන් ද අල්විස් ය.
මෙම නීති කෙටුම්පත්, නීතිපති දෙපාර්තමේන්තුවේ අනුමැතිය හිමි වූ පසුව නීතියක් බවට පත් වනු ඇත. මෙහි නව ප්‍රතිසංස්කරණයත් සමඟ දික්කසාද වීම ඉතා සරල දෙයක් ලෙස කෙනෙකුට සිතෙන්නට පුළුවන. “අපි කිසි සේත් දික්කසාදය සරල කරලා නැහැ. විවාහය නැවත ගොඩනැඟිය නොහැකි තත්ත්වයට පත් වීම නිසා කෙනකු දික්කසාදය ඉල්ලුවා කියමුකෝ. අනිත් පාර්ශ්වයට පුළුවනි ඒක බොරුවක්, විවාහ ජීවිතයේ අඩදබර ඇති වෙන්නේ පැමිණිලි පාර්ශ්වයේ අනියම් සම්බන්ධතාවක් හෝ වෙනත් හේතුවක් නිසා කියලා ඔප්පු කරන්න. අනික මේ නව නීති යෝජනා මඟින් ආර්ථික වශයෙන් දුර්වල පාර්ශ්වයේ ආර්ථිකය සුරක්ෂිත කිරීමට වන්දි මුදල් සහ දේපළ ලබා දිය යුතුයි. එය පෙර නීතියට වඩා දැඩි කරලා තිබෙනවා. ඒ වගේම දරුවන්ගේ භාරකාරත්වය, දරුවන්ගේ නඩත්තුව, දරුවන්ගේ අයිතිවාසිකම්, දරුවන්ගේ අධ්‍යාපනය වගේ හැමදෙයක් ගැනම සැලකිල්ලට ගෙන තිබෙනවා. මෙහිදී ලෝකයේ පිළිගත් රටවල්වල නීති, එක්සත් ජාතීන්ගේ ළමා ප්‍රඥප්ති, ළමා මනෝ විද්‍යාව වැනි අංශ ගණනාවක් අධ්‍යයනය කරලා තමයි අපේ නීති සකස් කර තිබෙන්නේ.“ යනුවෙන් උපදේශක කමිටුවේ සභාපති, ජනාධිපති නීතිඥ කුෂාන් ද අල්විස් තවදුරටත් විස්තර කළේය.
මෙම නීති කෙටුම්පතට අනුව ළමුන් ගැන තීරණ ගැනීමේදී අධිකරණය සැලකිලිමත් විය යුතු කරුණු උපලේඛනයක් මඟින් දක්වා ඇත. දැනට පවතින දික්කසාද නීතිය අනුව යම් පාර්ශ්වයක් වරදකරු වන අතර නීතිය ඉදිරියේ වරදකාර පාර්ශ්වය වන නිසා නඩත්තු ලබා ගැනීම සහ වන්දි ලබා ගැනීමේදී දුෂ්කරතා මතු වේ. එහෙත් නව නීතියට අනුව දික්කසාදයකදී වැරදිකාර පාර්ශ්වයක් නොසිටින බැවින් එවැනි ගැටලු මතු නොවේ. මීට අමතරව අදාළ යෝජනාවලින් ඉදිරිපත් කර ඇති තවත් වැදගත් කරුණක් වන්නේ විදේශයන් හීදි ශ්‍රී ලාංකිකයන් විසින් ලබා ගන්නා නඩු තීන්දු මෙරට ලියාපදිංචි කිරීමේ යෝජිත පනත් කෙටුම්පතයි. මේ වන විට විදේශගතව සිටින ශ්‍රී ලාංකිකයන් විසින් ඒ රටවල්වල ලබා ගත් දික්කසාද නඩු තීන්දු ශ්‍රී ලංකාව තුළ ලියාපදිංචි කිරීමට නොහැකි වීමෙන් මෙරට ඇති දේපළ නිරවුල් කර ගැනීමේ ගැටලු මතු වී තිබේ. එහෙත් මෙම නව නීති කෙටුම්පත මඟින් ඊට විසඳුම් ලැබෙනු ඇත. “වික්ටෝරියානු නීතිය නොතිබුණා නම් අපේ රටේ බොහෝ මිනීමැරුම් සිද්ධ නොවෙන්න ඉඩ තිබුණා. පද්මිණී කුලරත්න ඝාතන නඩුව, සතාසිවම් නඩුව, මැතිව් පීරිස් නඩුව වගේ නඩු වාර්තා නොවෙන්න තිබුණා. විවාහ දික්කසාද විතරක් නොවෙයි ඉඩම් නීතිය, කුලී නිවාස නීති, නොතාරිස් - ඇටර්නි බලපත්‍ර අන්තිම කැමැති පත්‍රය - ලේඛන ලියාපදිංචි කිරීමේ ආඥා පනත්, තෑගි ඔප්පු අවලංගු කිරීමේ පනත වගේ පනත් 25ක් 30ක් විතර ප්‍රතිසංස්කරණය කිරීම සඳහා අපි හඳුනාගෙන තිබෙනවා. ඒවායේ ප්‍රතිසංස්කරණ සිද්ධ විය යුත්තේ මොන ආකාරයටද කියලා ඉදිරිපත් කිරීමට උපදේශන කමිටු පත් කර තිබෙනවා. ඉදිරියේදී ඒවායේ වාර්තා ලැබුණාම ඒවත් කැබිනට් අනුමැතියට ඉදිරිපත් කරලා නීතිපති දෙපාර්තමේන්තුවට යොමු කරනවා.“ යනුවෙන් විස්තර කළේ සිවිල් නීතිය ප්‍රතිසංස්කරණ කමිටුවේ සාමාජික, නීතිඥ ලසිත කණුවනආරච්චි ය. පැලැස්තර ඇලවීම වෙනුවට යල්පැන ගිය නීතිය ප්‍රතිසංස්කරණය කිරීම යහපත් ය. එහෙත් එය ලංකාවේ නඩු ඇසීම මෙන් කාලය ගෙවා දමමින් සිදු කරනවාට වඩා කඩිනමින් කාර්යක්ෂමව සිදු වන්නේ නම් වඩාත් යහපත් ය.
උපුටා ගැනීම - සිළුමිණ පුවත්පත