මමත්වය ආදරේට හොඳ නෑ !
ආදරේ හා විරහව එකිනෙක බැඳිලා තියෙනවයි කියන්න පුළුවන් තරමටම සම්බන්ධයක් තියෙන වචන දෙකක්. අපි ආදරය කරන්න පටන් ගන්නවා. අපි හිතන්නේ නෑ ඒ ආදරයත් එක්ක පටන් ගන්න සම්බන්ධතාව කවදා හරි බිඳිලා යයි කියලා. ඒත් අපිටත් නොදැනීම අපිම සමහර සම්බන්ධකම් අත්හරින තත්ත්වයට පත් වෙනවා. නැත්නම් අපිව හැරයන තත්ත්වයට අපි ප්‍රේම කරන කෙනා පත් වෙනවා.
මේකට ගොඩක් වෙලාවට හේතු වෙන්නේ අසීමාන්තික කැප කිරීම්. එහෙමත් නැත්නම් තමන් සහ තමන් තවකෙක්ට දක්වන ආදරය මැද්දට ආව ‘මමත්වය’ කියන දේ. වෙන් වෙන්න හේතු වෙන දේත් මේ වගේ විවිධ වන අතරම වෙන්ව යන විධිත් විවිධ වෙනවා. කෙනෙක් තරහෙන් වෙන්වෙලා යද්දි තව කෙනෙක් හිස් හැඟීමක් ඇස්වල තියන් වෙන් වෙලා යනවා. ඒ වෛරයක්, ප්‍රේමයක් නොපෙනෙන හිස් හිතක බැල්මක්. මේ මොන විධියට වෙන්වෙලා ගියත් ඒ යන විධිය තුළ වගේම ගියාට පස්සෙ ඉන්න විධිය තුළත් තියෙනවා පණිවුඩයක්, කියවන්න දෙයක්. ඒ කෙනා ආදරය කරපු මුළු කාලේටම වඩා මේ හැර යන විධියෙන් එයා කරපු ආදරේ ගැන ලොකු අදහසක් අපිට ගන්න පුළුවන් වෙනවා.
එහෙම නවත්තපු සම්බන්ධතාවකින් පස්සෙත් ආදරයක් පවතින්න පුළුවන්ද? සම්බන්ධතාවක් කෙළවර වීම ආදරයක් කෙළවර වීමක්මද? ඇත්තෙන්ම නෑ. විරහවත් එක්කත් පවතිනවා ආදරයක්. ආදරයක් නැති තැනක විරහවක් නෑ. සමහරු ආදරේ කරන්න පටන් ගන්නෙම වෙන්ව ගිය මොහොතේ ඉඳන්. මේ ආදරයේ බාහිර ස්වරූපයන් විවිධයි. සමහරක් විට මේක පසුතැවීමක ස්වරූපයක් ගන්නවා. තවත් විටෙක කල්පවතින දුකක්. යමක් මඟහැරී ගිය හිස්බවක හැඟීමක්.
මේ කුමන හෝ ආකාරයකින් විරහව ඇති වෙන්නේ මේ වෙන්වීමෙන් පසු උපන් ආදරයේ අනෙකුත් ප්‍රතිරූප නිසායි.
එහි ප්‍රධානම ස්වරූපය පසුතැවීම. “ඉන්න කාලෙදි මට මෙහෙම කරන්න බැරි වුණානෙ. මට මේ දේවල් පෙනුණේ වෙන් වුණාට පස්සෙනේ” වගේ සිතිවිලි එක්ක අපි පසුතැවෙන්න පටන් ගන්නේ මේ නිසයි. සමහර විට කාලයක් යද්දි වෙන් වෙන්න මුල් වුණු හේතුව පවා අමතක වෙලා යන්න මේ සිතුවිලි මුල් වෙනවා. ඉද්දි අපි කරපු කැප කිරීම්, ඒ කැප කිරීම්වලින් හෙම්බත් වීම වැනි දේවල් විතරක් දැනුණත් දුරස් වෙලා දුරින් ඉඳන් බලද්දි ඊට අමතරව තිබෙන බොහොමයක් දේ අපි දකින්න ගන්නවා.
ඒ ඇරුණම මේකට හේතුවන අනෙක් කරුණ තමයි සම්බන්ධකමක් තියෙන කොට සමහරක් දේවල්වලට එකිනෙකාට දක්වන ප්‍රතික්‍රියා අපි නොපෙන්වා ඉන්න එක. ඒ නොපෙන්වා ඉන්න හැඟීම් සමුදාය එකතු වුණාම හැදෙන එයාගේ චරිතය, ආත්මය අපි දකින්නේ හැර යෑමත් එක්ක. ඒත් සම්බන්ධකම ඇතුළේදි තියෙන මොනයම්ම හෝ සන්නිවේදනයේ දුර්වලතාවක් හින්දා ඒ චරිතය යටපත් වෙනවා. ඒ චරිතය සමහර විට සම්බන්ධකමක් පටන් ගන්න පෙර අපි දැක්ක සම්බන්ධකම පටන් ගන්න හේතු වුණු චරිතය වෙන්න පුළුවන්. ඒත් ඒ නොපෙන්වීම සිදු කරන්නෙත් ආදරය නිසාමයි.
සම්බන්ධකමක් වෙන්වීමෙන් නෙවෙයි විවාහයකින් කෙළවර වෙන අවස්ථාවලදීත් මේ තත්ත්වයමයි. පෙම්වතිය බිරියගේ තත්ත්වයට පරිවර්තනය වීම, පෙම්වතා ස්වාමියාගේ චරිතයට පරිවර්තනය වීම තුළ මෙම අහිමිවීමේ දුක ඇති වෙන්න පටන් ගන්නවා. ආදරය කරපු කාලයට වඩා විවාහයෙන් පසු අර නැති වුණු පෙම්වත් චරිතවල අගය දැනෙන්න ගන්නවා. මෙම චරිත හා කල්ගත කිරීමට නොහැකි වීමේ ශෝකයත් විරහවට හේතුවක් වෙනවා.
මේ හඳුනා ගැනීම තුළින් ඒ පුද්ගලයා කෙරෙහි පසුව ඇති වෙන්නේ කිසිවිටක අපේක්ෂා නොකරන ප්‍රේමයක්. මේක කොන්දේසි විරහිත ප්‍රේමයක් වෙන්නත් පුළුවන්. හුරු විය යුත්තේ විරහවෙන් පලායෑමට නෙවෙයි. විරහවත් සමඟ උපදින මේ ප්‍රේමයට දලුලා වැඩෙන්නට දීමයි. අපට සැබෑ ප්‍රේමය අත්විඳිය හැක්කේ එවිටයි.
සම්බන්ධයක් නැවතුණු තැන සිට කලින් ප්‍රේම කළ කෙනාට ද්වේෂ කරනවා හෝ සියදිවිනසා ගැනීමට පවා මුල් වෙන හැරයෑම ගැන තමන්ටම ද්වේෂ කරනවාට වඩා ප්‍රේමයෙන් පූර්ණ වෙලා විරහව විඳින්න පුළුවන් තැනකට මනස ගෙන යෑමයි අප කළ යුතු වන්නේ.
ඒ වගේම විරහව උත්තේජනයක් විධියට පාවිච්චි කරන්න පුළුවන් අවස්ථාත් නැතිවම නෙවෙයි. එයාව නැති වුණොත් මට මෙහෙම පසුතැවෙන්න වෙයි හිතලා ආදරේ අලුත් කරගන්න අපිට පුළුවන්.
ඩිලීෂා විතානගේ (එමී)උපුටා ගැනීම මවුබිම