Biz Log
Classifields
Biz Log
Classifields

සොඳුරු සුවඳ

ඉතිරි වූ ආදරණීය මතකයන් සුවඳ දිදී මගේ දිවියේ පෙරළි කරනව. හුදෙකලාවේ ගෙවුණු ජීවිතය ජීවත් කරවූයේ ඒ මතකය විතරමයි... දිව්‍යාගෙ මතකය හිතට දැනෙන්නේ නොකිළිටි සුන්දරත්වයක්. ඒක හරිම වින්දනීය මතකයක්. ඒත් නිම්මි, අපේ ජිවිත එහෙම නෑ.. අපි ආදරය කළා. ජීවිතේ හැම දෙයක්ම ඛෙදා හදා ගත්තා. අපි ආදරය කළා. විවාහ වුණා. ඒ සොඳුරු නවාතැන සුන්දර කර ගන්න හීන පොදියක් මැව්වා. ඒත් ඒ බැඳීම සංසාරගත බැඳීමක් නෙවෙයි. සසර පුරුද්දට වුණ තවත් හමුවීමක් විතරක් වුණා. නැත්නම් මොන දේ වුණත් මෙහෙම වෙන් වෙන්න පුළුවන් ද? දිව්‍යා එක්ක තිබුණෙ සංසාරගත බැඳීමක්. ඒ මතකය මගේ හිතට වද දෙනවා. කවදා හරි ආයෙත් හමුවේවි කියන පැතුම මගේ හිතේ තියෙන්නේ ඒ හින්දමයි. ඔය අතරෙදි තමයි මට සෙව්වන්දි හමුවුණෙ. හරියට වැහිදාට පායන දේදුන්නක් වගේ පායලා නැතිවෙලා ගියා. නිම්මි එක්ක සැන්දෑ හිරු බසින වෙලාවට සේපාලිකා මල් සුවඳ විඳගෙන ගහයට ලෑලි බංකුවේ වාඩිවෙලා මැව් සිහින මාලිගා හරිම සුන්දරයි. අපේ නිවහන ගොඩ නගාගන්න අපි ගොඩක් ආසාවෙන් ගොඩක් දේවල් කලා. ඒ හැම හීනයක්ම මහා ලොකුවට නැතත් සැබෑ කරගන්න පුළුවන් වුනේ නිම්මිගෙ හීනවලට නැවුම් බවක් එක්කමින්. සොඳුරු නවාතැන ගොඩනගාගෙන ඉවර වෙන්න යන වෙලාවට නිම්මි ඒ දිහා බලාගෙන කියනව "අපි ඊළගට ගන්න ඕන වාහනයක්." "මම ආසයි අජන්ත අයියගෙ කාර් එක වගේ පොඩි කාර් එකක් ගන්න." "ඔයා" "මම කවදා හරි ගන්නේ පැජරෝ එකක්" නිම්මිට හිනාව දෝරෙ ගලනව. හිනාවෙන ගමන් කියනවා "කතාව නම් දෝලාවෙන්, යන්නෙ තාම කකුල් දෙකෙන්....." "එහෙම තමයි" "ලොකු ලොකු හීනවලට අඩුම තරමෙ පුංචි හීන ටිකක් හරි ඇත්ත වෙනවනෙ......" මම කිව්වා. ඒ මවපු හීන පොඩි ටිකෙන් ටික ඇත්තක් වෙද්දි හිතට දැනුනෙ කියා ගන්න බැරි තරම් සතුටක්. හැබෑ වෙන්නේ නිම්මි දැකපු හීන. මම දැක්කෙ ඊට වඩා ගොඩක් ලොකු හීන පොකුරු. ඒත් අද, නිම්මි මගේ ළග නෑ. හිටිය නම් නිල් ඇස් පුංචි කරලා හුරතලේට ළගට වෙලා "අපි ඊළගට මෙහෙම කරමු නේද....? කියල තව ලස්සන හීනයක් මවලා දේවි. නිම්මිට තිබුණෙ ඉක්මන් ගමනක්. ඒක අපේ වෙන්වීමට මග වුණා. ආපසු හැරිලා බලන්න නිම්මිට ඉඩ දුන්නේ අයෙ වතාවක් එයා හැරිලා බලයි කියලා. ඒත්.... එයා ආපහු හැරුණෙ නෑ... මම හ`ඩන්නේ නෑ කවදාවත් මේ හැම හිනයක් එක්කම මගේ හිතට නුහුරු සොඳුරු සුවඳක් දැනෙනවා. මගේ ළ`ගම දැවටෙනව. ඒ සොඳුරු සුවඳත් එක්ක මම ඉන්නවා හැමදාම....

Share This Article