මිලානව යයි කැකුළි...
සිත් මඩල කිති කැවුනෙ සීතලට පිණි සමග, පළමු නෙත් පහස දුන් ඉඳු රජුන් නිසාවෙන්.. පෙම් හසුන් රැගෙනවිත් බඹරිදුන් පාන්දර, පෙම් පුවත පුරා ගත් බඹරිදුන් සමග ඇය.. සුළං රැල් කිව් පාර සොයාවිත් බඹරිදුන්, ගුමු ගුමුව ඇසෙන සර ලග ලගම පෙති අතර.. බිඟු ඇවිත් රොන් ගන්න කිරිකෝඩු මල් මතින්, කුළුදුලේ පෙම් පෙතුම් රඟ දෙවයි ඔවුනොවුන්.. රැය පුරා පිණි බින්දු කල නිසා ඇරයුමක්, සුපිපුනේ වෙන්න ඇය ඉඳු නෙතේ රැජිනක්ය.. දුටු සිහින අතර ඇය එකම මල් කැකුළ විය.. එහෙත් ඇය බඹරිදුට තවත් එක් මලක් විය.. බිඟු ඇවිත් සරා ගී මත් කළා මොහොතකට.. බාඳුරා නොවුනේ මල් කැකුළිගේ අහිංසකකමට, හැඟුම් නැති බඹරිදු රොන් උරා ගිය අවසන.. මිලාන වනු යෙහෙකි දැන් යා නොහැක ඉඳු සිතට... උරන වී කෑ ගසා කාට තව කියන්නද, ඔහු ගියත් වෙනතකට හැර දමා මල් කැකුළ.. හිරු අවර ගිල බැස්සෙ මිලාන කුසුමත් සමග, හෙටත් මේ විදියමයි වෘතාන්තය දිග හැරෙන... පිණි ඇරයුම් කරාවි තවත් මල් කැකුළු පිපේවි, හිරුට පෙම් බඳීවි බඹරිදුන් පැමිණේවි...රොන් රැගෙන උන් යාවි කැකුළු මල් තනිවේවි , ආයේ හිරු බස යන විට මිලානව යයි කැකුළි...
නෙත්මි.