ජීවිතය කියන්නේ ආදරය නෙවෙයි ආදරය කියන්නෙත් ජීවිතය නෙවෙයි
අපි හැමෝටම මේ වෙනකොට ජීවිතයක් ලැබිලා තියෙනවා. ඒ වුණත් සියලුම දෙනාට ලැබෙන හැම දෙයක්ම එක හා සමාන වෙන්නේ නෑ. ඒක දුක, සැප, යස, අයස කියන හැම දේටම පොදු ධර්මතාවක්. කෙනෙක්ට මිල මුදල්, යාන වාහන හැම දෙයක්ම ලැබිලා තියෙනකොට කිසිම දෙයක් නොලැබුණු බහුතරයක් දෙනා අපි අතරේ ඉන්නවා. ඒ සෑම දේකදිම අපේ හිත්වලට එන්නෙ අපිට තියෙන අඩුපාඩු විතරයි. හුස්ම කියන දේ අපි අතරෙ ජීවත් වෙන ප්‍රාණීන්ට මූලිකවම දැනෙන පොදු දේ වෙනකොට අපි අතරෙ ඉන්න සියල්ලන්ටම අතට අල්ලන්නත් බැරි ප්‍රමාණයක්, පරිමාවක් නැති දෙයක් තියෙනවා. ඒක තමයි අපේ මතකය. කෙනෙක්ට තවත් කෙනෙක් තමන් ළඟ ඉන්නවාය කියලා දැනෙන්නේ මිහිරි හෝ අමිහිරි මතකයත් සමඟයි. එය විටෙක සැනසිලිදායක මිහිරි මතකයක් වෙන්නත් පුළුවන්. එහෙමත් නැත්නම් ඉතා කටුක, වේදනාබර මතකයක් වෙන්නත් පුළුවන්. සමහර අය තමන්ගෙ ළඟ තියෙන මතක අමතක කරන්න උත්සාහ කරනකොට තවත් අය හැකිතාක් ඒ මතක දිගේ ඇවිදගෙන යන්න සූදානම් වෙනවා. කොහොම වුණත් කෙනෙක් වුවමනාවෙන්ම කරන දේ නිසාවෙන් සහ තවත් කෙනකුගේ දක්ෂතාවන් නිසා කවරෙක් හෝ ඕනෑම කෙනෙක්ගේ සිත් තුළ සදාකාලිකව මතක හිටින චරිතයක් පවා වෙනවා. කාලෙන් කාලෙට කතා මවන සහ මිනිසුන්ගේ සිත් තුළ ජීවත් වෙන අය තමයි නළු නිළියන් කියන්නේ. ඒ අතරිනුත් නිළියො තමයි බොහොමයක් විපර්යාස කරන්නේ. ඒ හැම දෙයක් තුළින්ම වෙන්නෙ බොහොමයක් දෙනෙක්ගේ මතකය අලුත් වීම. එහෙමත් නැත්නම් ඒ අය කාලයක් යනකං ඔවුන්ගේ සිත් තුළ ජීවත් වීමයි.
ඇන්ජලිනා ජොලි මතකයි නේද මීට කාලයකට ඉස්සර වෙලා ඇගේ ශරීරය ගැන ලෝකෙ පුරාම කතා වුණා. මේ නිසා ඇය ගැන මතකය නැවත නැවතත් හැමෝටම අලුත් වුණා. ඒ විතරක් නෙවෙයි ඇයව අමතක කරන්න බැරි තරමටම මතකය ලෝකයේ දහසක් දෙනා අතරේ ලැගුම් ගත්තා. අන්න ඒ විදියට කෙනෙක්ගේ බාහිර දේවල් නිසාම කෙනෙක් වුවමනාවෙන් කරන දේවල් නිසාම හැමදාමත් ඔවුන් මතකයේ හිඳින්න පුළුවන්. ඒ වගේම තමයි ලෝකයේ ඉන්න බොහෝ ක්‍රීඩක ක්‍රීඩිකාවන් තමන් ළඟ පැවැති දක්ෂතාවන් නිසාම බහුතරයක් දෙනාගේ ගෞරවාදරයට පාත්‍ර වෙන ගමන් අමතක නොවෙන මතක රාශියක් ඔවුන්ට භාර කරනවා. ඒක අපි හැමෝටම වගේම හැම කාලයකටම පොදු දෙයක්. පොදු මතකයක්. ඒත් මේ දවස්වල හැමෝටම මතකෙට එන්නෙ පක්ෂ විපක්ෂ භේදයකින් තොරව තමන්ගෙ ඡන්ද අපේක්ෂකයාව. ඒත් මේක වෙනස් වෙන්නෙ මැතිවරණයෙන් පස්සෙ. මොකද ජයග්‍රහණය කරපු අයට තමන් දුන්න පොරොන්දු අමතක වෙනකොට අමතක කරනකොට පරාජය වුණු පැත්තෙ අයට අනිත් පැත්තෙ අය දුන්න මැතිවරණ පොරොන්දු එක සීරුවට මතක් වෙන්න පටන් ගන්නවා. ඒ හින්දා හැම දේම අමතක කරලා අපි හැමෝම මෙන්න මේ කියන ඒවා නම් හොඳින් මතක තියාගන්න ඕන.
ඒත් මතකය කියන දේ අපි හැමෝගෙම හිතට වැඩිපුර ළං වෙන්නෙ ආදරයත් එක්ක. කවුරු හරි කියනවා නම් ඒක එහෙම නෙවෙයි කියලා එක්කෝ එයාට හරියට ආදරේ දැනිලා නෑ. එහෙමත් නැත්නම් ආදරේ කරලා නෑ. ජීවිතය කියන්නේ ආදරය නෙවෙයි. ආදරය කියන්නෙත් ජීවිතය නෙවෙයි. ඒත් මේ දෙකම එකතු වුණාම අපිට ආදරණීය ජීවිතයක් ගෙවන්න පුළුවන් වාර ගණන වැඩි වෙනවා. මොකද ඒ දෙදෙනාම විතරයි දෙදෙනාගෙ හදවතේ ස්වරය හඳුනන්නේ. දෙදෙනාම විතරයි කෙනෙක් අනෙකාගේ හදවතේ සක්මන් කළ වාර ගණන දන්නේ. දෙදෙනාම පමණයි අනෙකාට තමන්ගෙ හදවතේ කොයි තරම් ඉඩ ප්‍රමාණයක් තියෙනවාද කියලා දන්නේ. ඒ නිසා දෙදෙනාම පමණයි දන්නේ ආදරයේ පැවැත්මට මතකය කොයි තරම් වටිනවද කියලා...... මතක ඉම රළ පෙළට එන්න නුඹ කියාපන්..... ආදරේ සුසුම් පොද එහි තියෙද හොයාපන්...... ස්නේහ පද නොමැති නම් පද හෙමින් ගොතාපන්....... අමතකම වෙලානම් තව වරක් හිතාපන්........
උපුටා ගැනීම මව්බිම