Biz Log
Classifields
Biz Log
Classifields

හිතින් තනිවුණු මිනිස්සු.

ඉකි ගසා හඬන... උදේ 5.30යි. මේ දවස් වල හැම කටකම තියෙන, තැනක් නොතැනක් නැතිව දවසට තුන් සැරයක්වත් අඩු තරමේ ඇහෙන, මමත් ගොඩක්ම කැමති සින්දුවක්. ඇත්තටම ඒ මගේ එලාම් එක. ඊයේ රෑ පටන් ගත්ත වරුසාව තවමත් වහිනවා. අහසට එපා වෙන්නේ නැතිද මන්දා. එලාම් එක off කළා. නැගිට්ටේ නැතිව, ඇස් දෙක අරින්නෙම නැතිව වතුර වැටෙන සද්දෙට ඇහුම්කන් දුන්නා. තාලය එකම වුනත්, පද ඇහෙන්නේ නැති වුනත්, ඒ සින්දුව හරිම ලස්සනයි. නැගිටින්න කම්මැලි අප්පා. තව විනාඩි 10ක් නිදා ගන්න, එහෙම තමා හිතෙන්නේ, එත් ඒ විනාඩි 10 පැයක විතර පරක්කුවක් වෙන හැටි මතක් වෙනකොටම ඉබේම නැගිට්ටුනා. තේකක් එහෙම හදාගන්න තවම ඒ හැටි පහසුකම් නැහැ. සීතලම සිතල ඇල්වතුර වීදුරුවක් උගුරේ ඉදන් ආමාංශේට යනකම් කූල් වෙලා යන්න එක හුස්මට බිව්වා. බාත්රූම් එකේ වතුර මල යට මේ වරුසාවේ කොයිතරම් ආස්වාදජනකද කියලා ඇගේ හිරිගඩු මතක් කලත්, කොච්චර සීතල වුනත් වතුර ටිකක් ටිකක් නාලා ඔෆිස් යන එක නම් මාරම නැවුම්. නොකියා ටියුන් එකේ හැටියට නම් ඒ අම්මාම තමා. උදේ පාන්දර මාව අමතන්නේ නැතිව අම්මාට දවස පටන්ගන්නෙම නැහැ. ගෙදර ඉන්නකොට තේක අරන් කාමරේට ඇවිත් පුතේ කියලා දවස පටන් ගනිද්දී ඉස්සර ඒක මට වදයක් වගේ උනාට, මෙහේ තනියම බෝඩින් කාමරේ ඉන්දෙද්දී, හහ්. මොනා වුනත් අම්මගේ පණ මම. ප්‍රශ්න වැලයි. උදේට තේ බිව්වද, උදේට කන්නේ කොහොමද, දවල්ට කන්නේ කොහොමද, පරිස්සමෙන් පාර පනින්න, එකම ටේප් එක එකම අන්සර් ටික. වෙලාව හතයි. දැන්ම එළියට බැස්සේ නැතිනම් ට්‍රැෆික් වලට කලියෙන් ඔෆිස් යනවා බොරු. කලින් දවසේ සිකියුරිටි එකෙන් ඉල්ල ගත්ත කුඩේ. තාමත් හයියෙන් වැස්සේ නැතත් චුරු චුරුව නැවතුනේ නැහැ. කුඩේ ඉහලන් බස් හෝල්ට් එකට ආවා. දැන් සති දෙක තුනක් තිස්සේ හැමදාම දකින එකම මුහුණු ටික. සොම්බි කතාවල වගේ. මතක් වෙන්නේ සුදුමැලි මුහුණු. හීනියට හීන් හිනාවක්වත් නැහැ. ගමේ හිටියා නම්, එක පාරයි දකින්න ඕනි. ඊලග දවසේ දැක්කම කට පුරා හා හා කියලා හිනාව. එත් මේක ගෙන්දගම් පොළව. අනේ මට ගමේ යන්න ඇත්නම්. පුංචි හිල්ලිල්ලක් එක්ක හිතට බරක් දැනුනා. ගමේ උදේට කොච්චර ලස්සනද, පොඩ්ඩක් දැක්කත් හිනාවෙන මුහුණු. ගස් කොළන් පිරිලා. කුරුල්ලෝ කෑ ගහපු ගමන්. ගස් අස්සෙන් බේරෙන ඉර එළිය. පින්නේ තෙතමනේ අස්සෙන් ඉර එළිය වැටෙන කොට කිතිකැවෙන උණුහුමක්. දන්නෙම නැතිව හිත ගමට යනවා. උදේ පාන්දර හොලමනක් දිහා බලනවා වගේ මගේ දිහා වටේ හිටපු අය බලනකොට තමයි මතක් වුනේ මම මාත් එක්කම හිනා වෙන විත්තිය. කට පුරෝලා බස් එකක්, සෙනඟ කොච්චර හිටියත් කොහොම හරි එල්ලෙන්න ඕනි, නැතිනම් ඊලග බස් එක මීට අන්තයි. පලවෙනි දවසෙදීම ඇඳුම පොඩිකරගන්න බැහැ කියල හිතලා සෙනඟ අඩු බස් එකක් එනකන් ඉදලා කාපු පරිප්පුව හොදටම ඇති. වටේ හිටපු සොම්බි මූණුත් මගෙත් එක්කම බස් එකට නැග්ග. තොරතෝංචියක් නැතිව යන්න බැරි පස්සකට පස්සට යන්න පස්සට යන්න කියන කොන්දොස්තරගේ මූණ දැක්කම මතක් වෙන්නේ උඩහ ගෙදර කිරිබණ්ඩා මාමා. උදෑනැක්කේම මුණ කට නොසේදුවත් බුලත් විටක් හප හපා කට දෙපැත්තෙන් ලාවට බුලත් කෙල පෙරන් ඉන්න උන්දැගේ මූණ මේ මූනට පොඩ්ඩයි වෙනස්. මෙච්චර සෙනඟ අස්සෙත් ෆෝන් එක කනේ ගහගෙන මෙලෝ සිහියක් නැතිව කතා කරන මිනිස්සු, ඇඟේ හැපෙන එක වදයක් වුනු ගැහැණු මිනිස්සු, හිටගෙන නිදි කිරන මිනිස්සු, ක්ලාස් එකට නිදාගෙන ඉන්න හෙඩ් ෆෝන් කනේ ගහන් ඉන්න මිනිස්සු, දඩාස් ... ඩ්‍රයිවර් අයියා ගහපු බ්‍රේක් පාරට ඉස්සරහින් හිටපු ගෑනු කෙනාගේ ඇඟ උඩ. හැරිලා රවලා බලපු පාරට මගේ ඇඟ හීතල වුනා. අබ දැම්මත් පිපිරෙන සයිස්. හරියට බ්‍රේක් එක පෑගුවේ මම වගේ. මං පුංචි අහිංසක හිනාවක් දාල සොරි කිව්වා. හ්ම්. කියල ගස්සල අහක බලාගත්තා. හැමෝම බනිනවා බ්‍රේක් පාරට, හරක් ටිකක් පාර පනිනවා. ඩ්‍රයිවර් අයියත් හිටු කියල හෝන් ගහනවා. උන්ට ඒවගේ ගානක් නැහැ, ලතාවට පාර පනිනවා. අයෙත් ඉතින් ගමනේ. වටේ පිටේ බල බල මතක් කලේ මොනවද කියලත් මතක නැහැ. ඉස්සරහ බහින අය ඉස්සරහින් බහින්න. බුලත් කෙල විසි කර කර කොන්දාස්තර උන්දැ කෑ ගහනවා. ඉස්සරහට යන්න බූතයෙක් වෙන්න උනත් පෙරලගෙන තල්ලු කරගෙන ඉස්සරහ දොරෙන්ම බැස්සා. අනිත් බස් එක එනකන් මේ බස් හෝල්ට් එකේ ඉන්න නම් මම ගොඩක් ආසයි. වැවක් අයිනේ. ශික් අද වරුසාවනේ. දැන් පායයි, දැන් පායයි කියල හිතුවට නවතින මගුලකුත් නෙමෙයි. වැව් කණ්ඩියේ තියෙන බංකුවේ වාඩිවෙන්නත් බැහැ. හැබැයි වැව් වතුරට වැහි වතුර වැටෙන කොට මාර ලස්සනයි. ගොඩක් ඒවා හිතට එනවා. ඇඟට ඉහෙන මඩ ගැන හිතෙන්නෙත් නැහැ. වටේට ඉන්න සුදු මැලි සොම්බි මුහුණු මතක් වෙන්නෙත් නැහැ. ටිකක් වෙනස් වගේ හිතෙනවා ඇති වටේ ඉන්න අයට. ඒ මුහුණු දැක්කම ඊයේ රෑ නිදා ගත්තේ කවුද, නැත්තේ කවුද කියන්න පුළුවන්. රණ්ඩු අල්ලලා තියෙන්නේ කවුද කියන්න පුළුවන්.අදහස් අදහස් පැටලෙනවා හෝ හෝ ගාලා. ඉස්සෙල්ල ඉහෙන මඩ ගැන වගක් නැති උනාට දැන් පොඩි නොරිස්සුමක් හිතට එනවා. මේ අමනාපෙ වැස්ස එක්කද, ඉහෙන මඩ එක්කද, නැතිනම් මාත් එක්කමද. අනේ මන්දා. වෙලාවට මේ බස් එකේ සෙනඟ නැහැ. නැත්තන් තෙමිච්ච මිනිස්සු එක්ක එකට ඇලිලා යන්න වෙනවා. පහන ඔබය ඔබමය මා පැතු මල... මට බකස් ගාලා හිනා ගියා. අද උදේ නාන ගමන් මිමිනිච්ච සින්දුව. වැඩි වෙලාවක් නැහැ ඔෆිස් එක ලඟ. අද නම් අලුතෙන් කුඩයක් ගන්න ඕනි. සෙකියුරිටි එකට කුඩේ දීලා ඇතුලට ගියාට, අදත් හවස වැස්සොත් ඒ කුඩේම පිහිට තමයි. ඔෆිස් එක පළමු සතියේ හරිම ලස්සන තැනක් වගේ පෙනුනට මේසේ ලග වාඩි වුනාම දැන් දැන් කළු ගල් එල්ලගත්තා වගේ හිතට මහා බරක් දැනෙන්නේ. හිනා වෙනවා, ගුඩ් මෝනින් කියනව, ඒත් ඒක දැනෙන්නෙම නැහැ. තව පැයකින් විතර උදේට කන්න කියලා යනවා, අයෙත් දහයට විතර තේ බොන්න යනවා, 12.30 පනිනකොට පනුවෝ උද්ගෝෂණය පටන්ගන්න නිසා ලන්ච් කියල යනවා, හවස තේ ටයිම් එක කියල 3.30ට අයෙත් යනවා. 4.15 වෙනකොට ඔක්කොම වැඩ ඉවරයි ගෙදර දුවන්න ලෑස්ති වෙනවා. ඒ හැම දෙයක් අස්සෙම අරයගෙ කතා මෙයාගේ කතා. දුව විභාගේ පාස් වුන එක, අරයගෙ සාරි එක, මෙයාගේ සෙරෙප්පු දෙක, රෑට හදන කෑම වට්ටෝරුව, ඒවා මේවා ඔක්කොම දිගැරෙනවා. අද හවස නම් හොදයි. වහිනවා වගේ පාටට අහස තිබුනට පොද නැහැ. ඔෆිස් එකෙන් එළියට බැස්සම අයෙත් අශ්ව කොච්චි වගේ හැල්මේ දුවන එල්ලන් හැලෙන සොම්බි මූණු. තාම මම මේ ගෙන්දගම් පොලවට කිරි කෝඩු. ඒක හින්දා මටම තනියම හිනා යනවා. තොරතෝංචියක් නැතිව හිත කියවනවා. ඒත් තව ටික කාලයයි. මමත් මේ එල්ලන් හැලෙන සොම්බි මුහුණක හිමිකාරයෙක් වේවි. ගමේ ඉදන් මෙහේ එන කෙනෙක්ට මමත් ඒ ගොඩේම වෙනසක් නැතිව දකින්න පුළුවන් වේවි. හිතින් තනිවුනු මිනිහෙක් වේවි. වැඩි වෙන එකක් නැහැ තවත් එක් මුහුණක්, හිතින් තනිවුනු මිනිස්සු අතරට. නෙත්මි.

Share This Article