Biz Log
Classifields
Biz Log
Classifields

අවසන් වරට ලියමි

අවසන් වරට ලියමි ඔබ හට නැවත ලියන්නට නොහැක මා හට අහස බර වුනාවේ... මහා වැසි ඇද වැටුනාවේ... තනිවෙමි මා මුලාවේ... ජීවිතය මේ සා අතරමං වීම් ගොන්නකට මැදිවන්නට සිදුවේයැයි මම සිහිනෙනුදු නොසිතුවෙමි. අහස මෙච්චරට ගැබ්බර වෙලා දෝරේ ගලන්න හදනකොට, ගස් වැල් අඹරවාගෙන හුළං හමන්නේ වලාකුළු ඒ මේ අත විසුරුවන්නද, දැන් දැන් මිරිකිලා සියලු බර නිදහස් කරන්න ඉඟි කරනවා දැයි මට නොවැටහේ. මගේ හිතත් මේ අහස වගේ.. නිකමට නෙමෙයි, අහස දිහා බලන් ඉන්න මට හිතෙනවා එහෙම. ලස්සනට අකුරු කරන්න, අමතක කරපු ආදරණිය ජිවිතයට මාව නැවතත් එක්කරගෙන ගිහින් හුස්ම ගන්න හදනකොටම දියේ ගිල්ලලා මරන්න හදන මේ ජීවිතය ඇත්තටම මගේද කියලා මටම සැකයි. රැවටෙන්න වගේම රවටන්න හිතක් නැති... හංගන්න වගේම පෙන්වන්න කිසිත් නැති... නුඹ දන්න තරම් මගේ හිත, වෙන දන්න කෙනෙකු ලොව හමු වෙලා නැති... කරුණාරත්න දිවුල්ගනේ හින්ට් එකට වගේ ඒ මටද කියන්නේ... හි හි හි. මේ තරමට මේ ආත්මයේ මගේ ඉරණම මට ඔච්චම් කරන්නේ මේ ආත්මේ කළ පව් වලටද, නැත්තන් පෙර ආත්මවල කරපු පව්වලටද කියලා තවමත් මං හොයනවා. දැන් මං මගේ ඉරණමට දොස් කියලා හිත රවට්ට ගන්න ගොඩක් දක්ෂ වෙලා. මගේ හිත තොරතෝංචියක් නැතිව කෑ ගහලා, කෑ ගහලා කියවනකොට මගේ කන්දෙක අත දෙකෙන් මං තද කරලා වහ ගන්නවා. ඇති කෑ ගැහුවා, දැන් ඇති. අහන්න කෙනෙකුත් නෑ. මට අහන්න ඕනිත් නෑ. කී සැරයක් මං මටම මුමුණ ගත්තද.. එත්, තවමත් මට මගේ හිත කෑ ගහන එක නවත්ත ගන්න බැරි උනා. උරහිසට හේත්තුවෙලා, අතේ තුරුළු වෙලා හිටියේ.. ඒ දැනුණු උණුහුමත් එක්ක මගේ හිත නොදන්නා ඉමකට නිදහසේ පාවෙලා ගිය නිසා. ඒ එක්ක හිතට දැනුණු සැහැල්ලුව මොහොතකට හරි මා දැහැන් ගත කරන්න ඒ උණුහුමට පුළුවන් කම තිබුණා. එහෙම කිට්ටුවෙන් ලඟින් ඉන්නකොට මගේ හිත ඔබව වැළඳගෙන හිටියේ පුදුම සැනසීමකින්. පුදුමෙකට අදටත් ඒ උණුහුම් දැනීම මතක් කරන කොට කෑ ගහන හිත නිශ්ශබ්ද වෙන්නේ පපුවට දැනුණු උණුහුම වචනත් එක්කලා සිතල වේවි කියලා බයට වෙන්න ඇති. වචනයෙන් විස්තර කරන්න මං දන්නේ නැති ඒ හැඟීම් සරලව සැහැල්ලුවට හිත විඳගත්තට මුවින් පිට කරන්න මං අදටත් දන්නේ නැහැ. ජීවිතය මේ තරම් සරල සුගුම ආශ්වාද ජනක වින්දනයක් යැයි කියා දුන් ක්ෂණයෙන්, හිතට වැරෙන් අතුල් පහරක් ගැසුවේ මන්දැයි කිසිවිටෙකත් මං ඔබෙන් නොවිසමි. ඒ මං ලබා උපන් හැටි. හිතට එබෙන්න අවසර දුන්නා. හිත පුරා බලි කුරුටු අදින්න ඉඩ දුන්නා. ඒ ඇසිල්ලෙන් ඔබේ හිතට මං පිළිලයක් වුණා. මට මතකයි දවසක් ඔයා මාත් එක්ක කිව්වා, පිළිල ගහ පුරා වැඩෙන්න දෙන්න නාකයි. එහෙම උනොත් ගහ ඉක්මනට මැරෙන්න පුළුවන්. කරන්න පුළුවන් හොඳම දේ පිළිලය විනාශ කරලා දාන එක. හරි එහෙම කරන්න ඕනි. ඒත්, වරදක් දකින්න බැහැ මං ඔබේ හිතට පිළිලයක් වෙලා නම් මා ඉවත් කරන එක ගැන. කොච්චර අහස මිරිකෙන්න හැදුවත් අද නැහැ වහින්නේ.. අහසට නිදහස් වෙන්න ඕනි වුනත් බැහැ එක කරන්න. අහස දිහා බලාන ඉන්න මගේ ඇස් පිල්ලම් මෙච්චරටම මට දැන් බරක් වෙලා. ජීවිතය රඟ මඩලකි. අපි එහි නළුවෝ වෙමු. ශේක්ස්පියර් කිව්වේ එහෙමලු. ඔය කිව්වා වගේ මාත් නිලියක්. රඟපාන්නේ ඔය ඉස්සරහ විතරක් නෙමෙයි. මේ හැමෝම ඉස්සරහා. ඒ මට ඕනි චරිතය මට ඕනි විදියට නෙමෙයි, මට ලැබෙන චරිතය ජිවිතයට ඉරණමට ඕනි විදිහට. ඇත්තටම මං රූකඩයක් වෙලාද. ඔව්, මට ඕනි කරන දේවල් සිද්ධ නොවෙන අරුම පුදුම රැවටීම් ගොන්නකට හිර වෙලා ඉන්න මං හැමෝටම විහිළුවක් වුනු රූකඩයක්. මේ හැමදේකින්ම වහන් වෙලා නොදන්නා කතරක නොදන්නා මිනිස්සු එක්ක ආගන්තුක වීම මේ තරම් දරුණු හැඟීමක් නොවෙනවා ඇති. එහෙම තැනක මගේ හිතට නිදහසේ කෑ මොර දෙන්න පුළුවන්. එත් මෙහෙම ඉන්න කොට මටවත් මගේ හිතට ඇහුම්කන් දෙන්න හිතෙන්නේ නැහැ. දොස්කියන්න දෙයක් නැහැ මට, මේ හිතට මෙතරම් වේදනාව තියෙන්නේ මං බිඳුණු එක ගැන නෙමෙයි. මගේ කාලකන්නිකම ගැන. තරහක් තියේ නම් ඒ මට මං ගැන මිසක් ඔබ ගැන හෝ වෙන යම් කිසිවෙකු සමඟ නොවේ. දොස් නැඟිය යුත්තේ මට සහ කෑ මොර දෙන මගේ අශිලාචාර මගේ හිතට. අවසන් වරට කියමි. හිතට දැනුණු ආදරය කටින් ඔබට කියන්න තරම් මං බය වුනේ, තවත් දුරකට මා ඇද දමාවි කියලා හිත බය වුනු නිසා. හිත අසංවර වුණා ඔයා මේ ජිවිතයට දුන් වටිනාකම ඉවසා ගත නුහුණු නිසා. ලොභකම් කළා ඒ ලද සෙනෙහසට සහ උණුසුමට. ලෝභයාගේ දේවල් කුඹි කනවලු. තවමත් මං කල්පනා කරනවා ඒ කුඹියා කවුද කියලා.. සමහර විට ඒ මංම වෙන්න ඇති. සෙනෙහස අහිමි වුනත් මට ලඟින් හිටි කාලය ඇති මට බරවුනත් හැමදාම මේ හිත දෙන්නේ කොහොමද, තවත් කෙනෙකුට.. නෙත්මි

Share This Article