Biz Log
Classifields
Biz Log
Classifields

මං තාමත් ඒ වෙරළේ

මං තාමත් ඒ වෙරළේ

සීමා මායිම් කොහොම මනින්නද වෙරළේ හැපෙනා මේ රැල්ලේ කවදා ආයේ වෙරළ සිඹිත්දැයි කොහොම කියන්නද ඒ රැල්ලේ

මං තාමත් ඒ වෙරළේ, ඒ රැල්ල නැවත දැක ගන්න. ඒයි! රැල්ලේ.. දැක්කද එදා මං මෙතන ඉන්න කොට වෙරළේ හැපුණු රැල්ල... ඒක කොහේ අතුරුදන් වුණාද මන්දා. මට හොයාගන්න බැහැ. මට ඒ රැල්ල ආපහු දකින්න ඕනි. කියාපන් ඒ රැල්ල මුණ ගැහුණොත් මං තාමත් වෙරළේ බලාන ඉන්නවා කියලා... රැල්ල ආපහු එනකන්, ආයේ යන්න නොදී නවත්ත ගන්න. පණිවිඩ කීයක් නම් මං එක එක රැළි අතේ යැව්වද? තාමත් නැහැ ඔබ. හැමදාමත් එනවා මං මෙතනට, ආයෙත් එක සැරයක් හරි මේ වෙරළ සිඹියි කියලා මං මඟ බලාන ඉන්නවා. ඹව්, මට ඒ රැල්ල හොඳට අඳුන ගන්න පුළුවන්. එදා මගේ කකුල් දෙකේ දැවටෙන ගමන් සුදු පෙණ කැටි අහුරක් එක්ක වෙරළේ ගැටුණු අපූරුව, මට තාමත් මතකයි එදා වගේම. ආදරණීය විදිහට දඟ දාලා කකුල් දෙකේ දැවටිලා මාවත් ඇදගෙන දියඹට යන්න හැදුවේ... ඒත්, එදා මාව වෙරළේ තනි කරලා දියඹට යන්නේ ආයෙ නොයෙන්න කියලා දන්නවා නම්, මාත් එනවා ඒ රැල්ලත් එක්ක දියඹට යන්න. ආගන්තුක වුණු ඒ රැල්ල මෙච්චරට හිතට ලෙන්ගතු වුණේ... දියඹට නොපෙනී යනකොට. අනේ.. ඔහොම ඉන්න, වෙරළේ නවතින්න. මගේ හිත කෑ ගැහුවා. රැල්ලට ඇහුණෙ නැහැ. ඈතට ඈතට ඇදිලා ගියා. සුදු පෙණ කැටි වෙරළේ ඉතිරි වෙලා. තව රැල්ලක් මගේ දෙපා තෙමුවා. මට බය හිතුණා. හනිකට ගොඩ වුණා. බැහැ, ආයෙ මට රැළි පාගන්න. මට බයයි, ඔය රැල්ල මාව තෙමුව විදිහට තව රැල්ලක් මාව තෙමයි කියලා. එහෙම මට ඕනි නැහැ. අදටත් මං මේ වෙරළට එනවා. රැළි ගැවෙන නොගැටෙන මානයේ ඉඳන් හොයනවා, එදා මාව තෙමපු ඒ ආදරණීය හිතට ලෙන්ගතු වුණු රැල්ල... බැහැ තවත් රැල්ලකට මාව තෙමන්න දෙන්න. මඟ බලාන ඉන්නම් එනකම් කවදක හරි ආයෙත්. ආපහු ආවොත් නම්, මට බැරි නම් වෙරළේ රඳවා ගන්න, මාත් එනවා රැල්ලේ.. නුඹත් එක්ක දියඹට යන්න. නුඹත් එක්ක රැඳෙන්න පුළුවන් නම් දියඹ හොඳයි මට මේ වෙරළට වඩා.

ආදරණීය ඒ රැල්ල සොයන මං, නෙත්මි.

Share This Article