අම්මයි තාත්තයි කසාද බැඳපු දා කද අරං ගිය හැටි
මොරගොඩ මාහේනේ හිටිය තෙලේනිස් ගොයියා බොරු කියන්න උපන් මිනිහෙක්. බොරු කියන්නෙ එසේ මෙසේ බොරු නොවෙයි. හරියට මේ දැන් වුණා වගේ අල්‍ලේ මුල් අදින බොරු තමයි මිනිහ කියන්නේ. බොරු පැක්ටේරියක් කිව්වොත් වැරදි නෑ. කටුහේනේ උදේ ඉඳලා හැන්දෑවෙනකම් වැඩ කරලා දර කොටේකුත් කරේ තියාගෙන. විජේරිය ගඟෙන් නාලා කාරිය ගෙදර එන උන්දෑ රෑ මායියා මොනව හරි උයන පිහනකම් ළඟපාත ගෙදරක දෙකක ඇවිදින එක තමයි වැඩේ. ඔය ළඟ ගෙදරක ගිහින් තේ කහට කෝප්පයක් එහෙම බිල බුලත් විටකින් සප්පායම් වෙලා උන්දැගෙ වැඩේ අර වගේ මහා බරපතළ ඒවයෙන් බොරුවක් ඇද බාන එක. එදා මොරගහමඩේ පිරිතක් තිබුණා. ගෙදරින් හවස හයට පිටත් වෙලා උන්දැත් ඔය එක එක වැඩවල්වලට උදව්වෙවී හිටියා.
‘අනේ තෙලේනිස් මාමේ මේං මේ පුවක් ටික කපාපන්කො’ කියලා පිරිත් ගෙදර අයිතිකාරයගෙ පවුල කියාපි. පුවක් ගෙඩි පනහක් විතර කපන්න උන්දෑට භාර වුණා. ලී පටියක පිහිය හෙම ගාල හරියට බ්‍ලේඩ් තලයක් වගේ මුවහත තියාගත්තු තෙලේනිස් ගොයියා පුවක් කපන්න පටන් ගත්තා. ළඟපාත හිටිය කොලු ගැටව් ටික උන්දෑ වට කර ගත්තා.
‘තෙලේනිස් මාමේ අනේ අර පරණ කතාවක් කියන්නකො. අපි කෝපි කෝප්පයකුත් අරං එන්නං’ කොල්ලො ටික එහෙම කියාපි.
‘හ්ම් එහෙනං ගෙනාපියව්. කඩෙන් කළු සුරුට්ටුවකුත් ඇන්න වරෙව් හෙනං’ උන්දැ කියාපි.
‘ඒ කාලෙ මොරගොඩ ගමේ මං තරම් බර උස්සන්න පුළුවන් ඉලංදාරියෙක් හිටියේ නෑ. ඉස්සර මං වංගෙඩි හදලා වංගෙඩි එක පැත්තට පහ ගානෙ දෙපැත්තටම දාල වංගෙඩි පොළේ අරං ගිහිං විකුණනවා. දැන් හිතා ගන්න පුළුවන්නේ. ඒ කාලේ මඟුලක් කනකොට මනමාලිගෙ ගෙදර ඉඳන් මනමාලයගෙ ගෙදරට කදක් ගෙන යනවා. ඒක කැවුම්, කොකිස්, කිරිබත්, ඇඳුම්, පැලඳුම්, බුලත් හුනු දුම්කොළ නැති දෙයක්. නෑ ඔය මඟුල් ගෙදර ඔය කද බර වැඩියි කියලා උස්සන්න එකකුටවත් බැරිවුණා. අන්තිමේදී මං තමයි ඒ කද ගෙනිච්චෙ. උන්දැ කිපායි.
‘ඒ කාගෙ මගුලටද මාමෙ’ කොල්ලො අහපි.
‘අපේ අප්පපොච්චියි අම්මයි කසාද බැඳපු මගුලට මිසක් වෙන මොන මඟුලටද?’ උන්දැ කියාපි. කොල්ලො හිනාවෙන්න ගත්තා නවත්තන්න බැරි වුණා. ඒ හිනාවට තෙලේනිස් ගොයියටත් හිනා ගියා.
ජිනදාස ගුරුසිංහ - බුත්තල උපුටා ගැනීම රිවිර පුවත්පත