“අනේ අපෙ හාමුදුරුවනේ එව්වා පිරිත් නෙවෙයි සින්දු නෙවැ”
ඈ... බණ්ඩප්පුවේ අපේ හාමුදුරුවෝ ඔය පෙරහැරේ වඩම්මන්නේ නැතැයි...?”
“න්.. නෑ කිරි අත්තේ..”
“ඇයි, පිරිත් පින්කොමට ඇති පදං හාමුදුරුවරු පන්සලට තවම වැඩලා නැද්ද?”
“ඉන්ඳා ආයේ මොකටෑ හාමුදුරුවරු.”
“මො.. මො.. න. වා. එතකොට රෑ තිස්සෑයක් පිරිත් දෙසන්නේ කාවද බොල බණ්ඩප්පුවෝ? ඒ හින්දා ගොම්මං කාරේ (අන්ධකාරේ) පොලෝ වහකොරා ගන්ට කලියෙන් උන්නාන්සේලා මේ පිරිත් කොටුවට වැඩමවන්ට එපැයි...”
“මොකෑ මේ කිරිඅත්තා දොඩවන්නේ පේන් නැද්ද ඔය ඉදිකඩුල්ල ගාව ඉඳලා හේවිසි පෙරහැරෙන් වඩමවන්නේ උඩුවියන් පාවියන් පල්ලෙන්.”
“හ්.. හෑ.. ඒ පෙරහැරේ හාමුදුරු පුළුටක්වත් නෑනෙවැ. (හිමිවරුන්ගේ ස්වරූපයක්වත් නැහැනෙ.) වියන් පල්ලෙන් මොකක්දෝ ඉහේ තියං එන්නේ පාන්සලේ ඉන්න පීකර් බාස් නේද? (සබ්දවාහිනී යන්ත්‍රය ක්‍රියාකරන්නායි.)”
“හරි.. හරි.. උන්නැහැ තමයි “පිරිත් පෙට්ටිය” වැඩම වන්නේ කිරිඅත්තේ..”
“පිරිත් පෙට්ටිය’, මොකෑ බොල ඒ හරුෙප බණ්ඩප්පුවෝ?”
“කොහෙදෑ ඉතිං. මුන්දැට යමක් කමක් ඔලුවට වට්ටන්ට ගියාම නහිනවා නෙවැ.”
“ඒක නෙවෙයි, බණ්ඩප්පුවේ පිරිත් පෙට්ටිය කියන්නේ අහවල් කෙංගෙඩියකටදෑ කියලා දීපංකො දෙමූට්ටු කෙරුවා වාගේ උත්තරයක්.”
“මේක අහ කියා ගත්තනං කිරි අත්තේ.”
“ඔව්. කියාපං.. කියාපං... ඇඹරුං කන්නැතුව.”
“ඔය පීකර් බාස්සුන්නැහැ. ඉහේ පට්ටල්කොරගන වැඩම වන ඕං ඒ පෙට්ටියෙන් තමයි පිරිත් දේසනා කොරන්නෙ. දැන් ඒ ‘පිරිත් පෙට්ටි වහන්සේ’ පිරිත් කොටුවේ වඩා ඉඳුවලා හිටං චරුම චක්කරේ වාගේ රෝදයක් ඒ පෙට්ටියේ කටට රිංගවලා පීකර් බාසුන්නැහැ ඒකට මොකක්දෝ සූත්තරයක් කොරපුවාම ඔන්න ඉතිං පිරිත පටන් ගන්නවා.”
“හැ.. බෑ.. ට..., එතකොට හාමුදුරුවරු නෙවෙයිද ඒ සූත්තරෙන් පිරිත් දේසනා කොරන්නෙ...?”
“නැතුව.. නැතුව. උන්නාන්සේලාගේ කණ්ඩස්සරේ (කටහඬ) තමයි ඒ පෙට්ටියට රිංගුවලා තියෙන්නෙ. ඉතිං අපට තියෙන්නේ පිරිත් පැන් කළගෙඩියයි, පිරිත් නූල් පන්දුවයි, ඒ පෙට්ටිය ගාව තියලා පිරිත් කොටුව ගාව පැදුරු එලාගන පිරිත් අහන එක විතරයිලුනේ.”
“ඇත්තට බොල බණ්ඩප්පුවෝ බොට ඔය පිරිත් පෙට්ටියේ වංහුං කීවේ කව්දෑ ඈ...?”
“හ්ම් ආයේ කව්ද ඉතිං අපේ පන්සලේ අපේ හාමුදුරුවෝ මිසක්කා.”
“ඔහෙපලයං, එහෙනං මේක අපේ හාමුදුරුවන් ගේ “සූත්තර - පෙට්ටියක් වෙන්ටෑ?”
“කිරි අත්තට කියන්නට දැහැත් තටුවක් හදා කොරාගන පන්සලට ගොහිං හිටං අපෙ හාමුදුරුවනට දැහැත් තටුව පිළිගන්නලා මං අපේ ගෙදර පිරිතට හත් නමක් වැඩම වන්ට ඕනෑ කියලා කියන කොටම අපෙ හාමුදුරුවන්ගේ මූනත්තහඩ්ඩ ඇඹුල්උනා ඕං.”
“ඉතිං.. ඉතිං?”
“ඉතිං මං තව සැරයක් වැඳවැටිලා හිටං අපෙ හාමුදුරුවන්ට මේ කාරිණේ කීවාම උන්නාන්සේ ගත් කටටම කීවේ මේ උපාසක රෑ තිස්සෑයක් නිදිමරලා පිරිත් දෙසන්ට දැන් අපේ උන්නාන්සේලා වැඩි මනාපයක් නෑ. මටත් දැන් ටික දොහක ඉඳලා නිදිමරන එක, පයින් ටික දුරක් හරි යන එක නාකයි කියලා තමයි දොස්තර මහත්තයා කීවේ.”
“එතකොට.. එතකොට. අපේ පිරිතට වඩින්ට අපාසුවෙයිද හාමුදුරුවනේ. කියලානේ බොට අහන්ට තිබ්බේ බණ්ඩප්පුවෝ..?”
“ඔව් කිරි අත්තේ එහෙම මං අහන කොට අපෙ හාමුදුරුවෝ කීවේ උපාස රෑ තිස්සෑයේ පිරිතට අපි වඩින්ට ඕනෑ නෑ. අපේ පන්සලේ පීකර් බාසුන්නැහේ මං එවන්නං ඕනෑ දේවලුත් එක්ක. උන්නැහැ ඒක හරියට කරයි. උපාසක උදවියට තියෙන්නේ පිරිත් අහගන ඉන්න එක විතරයිනෙ කියලයි.”
“ඉතිං ඉතිං..?”
“ඉතිං මං ඇහැව්වා එතකොට පිරිත දෙසන්නේ පීකර් බාසුන්නැහැද අපෙ හාමුදුරුවනේ කියලා.”
“හැබෑට ඒකට මොකෑ අපේ හාමුදුරුවෝ කීවේ බණ්ඩප්පුවෝ..?”
“හුඃ ඒකට අපේ හාමුදුරුවෝ කීවේ, මේ උපාසක දැන් පරණ හණමිටි කාලේ ඉවරයි. දැන් කොයිදේ උනත් පාසුවෙන් කොරන්ට තාක්සනේ තියනවා. පිරිත් පින්කම්, විතරක් නෙවෙයි හාමුදුරුනමක් අපවත් උනාම, ආදාහන පූජාව පවත්වනකං එදා රෑ දවල් නැතුව ඒ දේහය ළඟ සතිපට්ටාන සූත්තරේ හාමුදුරුවරු මාරුවෙන් මාරුවට වැඩම කරලා දේශනා කළා. හාමුදුරුවන්ගේ ඒ දුස්කරක්කිරියා කොරපු කාලේ හමාරයි. කියලා...”
“හැබෑට... එතකොට ආදාහන පූජා පින්කමේ දැන් ඔය අනිත්තේ මෙනෙහි කොරන පිරිත වෙනදා වාගේ හාමුදුරුවරු විසින් කියන්නැද්ද කියලයි බොට අපෙ හාමුදුරුවන්ගෙන් අහන්ට තිබ්බෙ බණ්ඩප්පුවෝ..?”
“ම්.. මං ඇහැව්වා කිරි අත්තේ, එතකොට උන්නාන්සෙ කීවේ හාමුදුරුවරු දේහය ගාව සතිපට්ටානේ දේසනා කොරන්ට වැඩම වන්නේ නෑලු. ඒ වෙනුවට අරවාගේ සූත්තර පෙට්ටියකින්ලු ඒ දේසනේත් කොරන්නේ කියලා...”
“ඔහෙ පලයං. එහෙනං අපේ හාමුදුරුවන්ට දානමානත් සූත්තර පෙට්ටියෙන්ම පිළිගන්නයි නේද බණ්ඩප්පුවෝ...?”
“න්.. නෑලු.. දානමාන කටයුතු දායකයින්ගේ යුතුකොමක්ලු. ඒක වරද්දන්න හොඳ නෑ කියලයි උන්නාන්සේ කීවේ.”
“දෙය්යෝ සාලේ.. මදැයි කොළා.”
“කිරි අත්තට කියන්ට අපේ හාමුදුරුවෝ කියනවා, උපාස දැන් ඔය වෑර්ලැස්වල රූපපෙට්ටිවල උදේට යන පිරිත් අහනවද බලන්ටකෝ ඒවායේ පිරිත් තාලෙට කියන කොට, ඉබේම ඇඟට ගතියක් දැනෙනවා නේද උපාසක කියලා.”
“ඉතිං ..... මොකෑ කීවේ... බණ්ඩප්පුවෝ...”
“මට කියන්ට හිතුනා කිරි අත්තේ, අනේ අපෙ හාමුදුරුවනේ එව්වා පිරිත් නෙවෙයිනෙවැ. සිංදුනෙ කියලා.”
“ඒක හරි.. ඒක හරි.. හාමුදුරුවන්ට ඒ තාලවලින් ඇඟට ගතියක් දැනුනට, පිරිතේ ගුණයක් කොයින්ද බොල ඔහොම දෙසන කොට...”
“හැබෑවයි කිරි අත්තේ, තව ටික දොහකින් අපෙ හාමුදුරුවරු සංගීත බාණ්ඩ සෙල්ලං කොර කොරාම පිරිත් දෙසයි ඕං”
කේ. බී. මානෑව උපුටා ගැනීම සිළුමිණ පුවත් පත