යකඩ කන මීයෝයි ළමයි ගෙන යන උකුස්සොයි.
එක්තරා වෙළෙන්දෙක් වෙලදාම් කලේ යකඩ, වානේ, තඹ වාගේ ලෝහ ද්‍රව්‍යය. ඔහුගේ ගබඩාවක මේවා පොළු, කුට්ටි හා කම්බි වශයෙන් තැම්පත් කර තිබුනා. මොහුට මාස කිහිපයකට ඈත පළාතකට යන්නට සිදු වුනා. ඔහු අසල්වැසි යාලුවෙකුට අර ලෝහ ගබඩාව හොදින් බලා ගන්න කියා ඒ සේවයට ගාස්තු හැටියට මුදලකුත් දුන්නා.
ලෝහ වෙළෙන්දා මාස කිහිපයකට පස්සේ ආපහු ආවාම යාලුවා කතා කලේ බොහෝම දුකෙන්. "කියන්නත් හරිම කනගාටුයි ගබඩාවේ තිබුණු ඔක්කොම ලෝහ ජාති මීයෝ කාලා." ඔහු මහත් දුක්බර ස්වරයකින් පැවසුවා. වෙළෙන්දා හිස් ගබඩාවට යාලුවා එක්කගෙන ගියා. "මේ ගැන ඔබේ කිසි වරදක් නෑ. වරද මීයන්ගේ. දැන් මේ හැම සතෙක් වගේ හරිම දරුණුයි." කියා වෙළෙන්දා තම නිවසට යන්න ගියා.
ඒ යන අතර මඟදී යාලුවාගේ පුංචි පුතා ඔහුට හමුවුනා. රසකැවිලි ටිකක් දී දරුවාව තම නිවසට එක්කගෙන ගිය වෙළෙන්දා ඔහු එහි ඇතුළු කාමරයකට දමා වසා හැන්දෑවේ යාලුවාගේ ගෙවල් පැත්තට ගියා. පුතා නැතිවීම ගැන මහත් දුකකින් පියා අඬන වැලපෙන හඬ ඔහුට ඇහුණා. යාලුවාගේ දුක් අදෝනා වලට කන්දුන් වෙළෙන්දා මෙහෙම කිව්වා.
"අද දවල් උකුස්සෙක් පුංචි ළමයෙක් ඩැහැගෙන පියාඹනවා මං දැක්කා. එයා ඔහේගේ පුතා වගේමයි."
"ඔහෙට ඔල්මාදද? උකුස්සෙකුට අවුරුදු අටක ළමයෙක් අරන් යන්න පුලුවන්ද?" යාලුවා ටිකක් තරහින් ඇහුවා.
"මොකද බැරි. යකඩ, වානේ, තඹ ටොන් ගණන් කාපු මීයන් ඉන්න රටේ ඕකත් අරුමයක්ද?" වෙළෙන්දා ඇසුවා.
තම වංචාව හෙළි වූ බව දැනගත් යාලුවා "අනේ උන්නැහේ මගේ පුතා මට ආපහු දෙන්න." කියා බැගෑපත් වුණා.
"හරි මං එක කරන්නම්. ඊට කලින් මට මගේ ලෝහ තොගය ආපහු දෙන්න" කියා වෙළෙන්දා කීවා.
"අන්න ඔහේගේ ලෝහ ටික මගේ පිළිකන්නේ තියෙන මඩුවේ."
"අන්න ඔහේගේ ළමයා අපේ ගෙදර ඇතුළු කාමරේ."
ගණුදෙනුව හරිහැටි කෙරුනාට පස්සේ වෙළෙන්දා යාළුවාට මෙහෙම කිව්වා. "හොරු ඔවුන්ගේ හොරකම් වලට අහුවූ අයටත් වඩා වැඩිය බරපතල කරදර වලට පත් වෙන්නට පුළුවන්"
ඊසොප්