Biz Log
Classifields
Biz Log
Classifields

වහ කුප්පිය

වහ කුප්පිය

මා එන මඟ බෝක්කුවක් මත හිඳ ගෙන සිටියේ හිරිමල් වියේ කොල්ලෙකි. ඔහු අත වස කුප්පියකි. මේ වයසේ කොල්ලෙකු නිකරුණේ බෝක්කුවක් මත කාලය කා දැමීම ගණන් ගත යුතු නොවූ දෙයක් නොවුණත් අත ඇති වස කුප්පිය දුටු මම ඉබේම ඔහු අසල නතර වූයෙමි. මා දන්නා තරමින් මේ වයසේ කොල්ලෙකු ගොවිතැනක් බතක් කරන්නට වුවද ඒ තරම් කැප වීමක් නොකරයි. එසේ කරන එකෙකු නම් මෙසේ බෝක්කුවක් මත කාලය නාස්ති කරන්නේ නැත. ඔහුගේ අතේ තිබියදීම වස කුප්පියේ ලේබලය දෙස මගේ දෙනෙත් ගියේ කුමන වස වර්ගයක් දැයි දැන ගැනීමටයි. තවම මා මේ කොල්ලා සමඟ එක වචනයක් වත් කතා කළේ නැත. එහෙත් අත ඇති වස කුප්පිය පැළ ගොයමේ වල් නැසීමට යොදා ගන්නා වල් නාශකයක් බව එහි ලේබලයෙන් මම දැන ගතිමි. 

“මොකද මල්ලී ඔතන.”

“නිකම් අයියේ ඔහේ ඉඳගෙන හිටියා.” 

“මොකටද ගොයම් තෙල් කුප්පියක්. බලන්න දෙන්න.” මා තරුණයාගේ පිටට අතක් තියා ඔහු ළඟින් ඔහුගේ සිරුරේ හොඳින් ස්පර්ශ වන ලෙස හිඳගන්නා ගමන් අනෙක් අතින් වස කුප්පිය ගත්තේ ඔහුට යමක් සිතා ගැනීමටවත් වේලාවක් නැති කරමිනි. දන්නා තරමින් කෙනෙක් ස්පර්ශ කරමින් හෝ ස්පර්ශ වන අයුරින් ළඟ රැ‍ඳෙමින් යමක් පවසන විට එය වඩා සිතට කා වදියි. එමෙන්ම තවත් කෙනෙක්ට හානියක් කරන්නට හෝ තමන්ටම හානියක් කර ගන්නට හෝ කෙනෙක් අවියක් හෝ වෙනත් දෙයක් අත තබා ගෙන සිටියදී මනසේ ඇති වන චණ්ඩ බවත් කෝප සහගත බවත් එය අතින් ගිලිහෙනවාත් සමඟ සියයට පනහකින් පමණ අඩු වෙයි. 

“මොකටද මල්ලි ගොයම් තෙල් කුප්පිය.” 

“වෙලට ගහන්න අයියේ.” 

තරුණයා කිසිත් නොසිතාම කටට ආ පළියට කීවේ අමූලික බොරුවක් බව මට වැටහිණි. කල්පනාකාරීව බොරුවක් කියන්නට බැරි තරමට ඔහුගේ සිත කලබල වී ඇති බවත් මට වැටහිණි. ඒ සමය මිනිසුන් කුඹුරකට බසිනවා තියා තවම ඒ ගැන හිතලාවත් නැති කාලයකි. 

“බොරු කියන්න එපා මල්ලී. ඔයා මේක ගත්තේ බොන්න නේද?” තරුණයා බිම බලා ගත්තේ ඔව් කියන්නාක් මෙනි. 

“අම්මගේ ඇගේ තිබුණ ලේ බිංදු දෙක වැඩි හින්දාවත් ඇ‍ඟේ තියෙද්දී ඇඟට අමාරු හින්දා වත් නෙවෙයිනේ කිරි කරලා උඹට පෙව්වේ. උඹව ඔය තරම් උස මහත පුතෙක් වෙලා ඉන්නවා දකින්න ආස හින්දා නේද. ඒ අම්මගේ ලේ ටික කිරි කරලා බීපු ඔය කටින්ම වහ බොන්න උඹ හිත හදාගත්තේ ඇයි කෙල්ලෙක් උඹට බෑ කිව්වා ද? හිත රිදෙව්ව ද?”  එවිට ද තරුණයා කළේ බිම බලා ගැනීමයි. ඒ ඔව් කියන්නට ඇති ලැජ්ජාවට බව මම දනිමි. “මාත් එක්ක කියපන් බලන්න කතාව. එතකොට ඔය හිතේ තියෙන බර අඩුවෙයි” 

“මං අවුරුදු දෙකක් විතර යාළුවෙලා හිටපු එයා මේ ළඟකදී ගාමන්ට් එකක වැඩට යන්න පටන් ගත්තා. දැන් මාව මඟ හරිනවා. මම අද මඟ රැක ඉඳලා හම්බ වුණා. හම්බ වෙලා ඇයි කියපුවම එයා කීවා අපේ සම්බන්ධෙ නවත්වමු කියලා. මට ඒක දරාගන්න බෑ.” 

“ඉතිං බලපන් මල්ලී උඹ ලොකු උගුලකින් කිසි කරදරයක් නැතිව ගැලවිලානේ. තව දුර ගියා නම් උඹ වහ කෑවට හපන්. වහ කෑවොත් ඒක පාරයි. ඒ වගේ ඒකියක් උඹේ ජීවිතේට එකතු වුණා නම් උඹට මුළු ජීවිතේම මැරි මැරී උපදින්න වෙනවා. දැන් ඒ කෙල්ලගේ අතේ සල්ලි කීයක් හරි ගැවසෙනවා ඇති. කෙල්ලන්ව රවට්ටන හැටි ගැන හොඳ පළපුරුද්දක් තියෙන කොල්ලොත් මුණගැහෙනවා ඇති. එහෙම කොල්ලෙකුට රැවටිලා කවදා හරි අතරමං වෙච්ච දවසක උඹ ගැන හිතලා ඒ කෙල්ල වහ බොයි. එදාට පුළුවන් නම් එයාට පිහිට වෙන්න බලපන්. උඹට ආත්ම ගාණක පිනක්. උඹ ලස්සනට ජීවත් වෙන්න ඕන. එතකොටයි ඒ කෙල්ලට උඹේ වටිනාකම තේරෙන්නෙ... අනෙක අවුරුදු දෙකට ඒ කෙල්ල උඹ වෙනුවෙන් මොනවද කළේ. උපන් දා ඉඳන් උඹේ අම්මා උඹට මොනව ද කළේ කියලා හිතපන්. උඹ මැරුණොත් පපුව පැළිලා මැරෙන්නේ ඒ කෙල්ල ද උඹේ අම්ම ද කියලා හිතපන්.” “මං මේ කුප්පිය හෙට උදේ ගෙදරට ගෙනත් දෙන්නම් උඹට හෙට උදේ වෙලට ගහපුවම ඇතිනේ.” මම එම වස කුප්පියත් අරං ගෙදර ගියෙමි. මතක ඇතිවම පසුවදා එම තරුණයාගේ ගෙදරට ගොස් වස කුප්පිය ඔහු අත තබා කිව්වේ, මේක ගහන්න තියෙන්නේ වපුරලා දින හතක් දහයත් අතර කියලයි ලේබලයේ තියෙන්නේ. ලේබලය කියවලා බලලා ඒ විදියට ගහපන්. 

“එපා අයියේ ඕක විසි කරන්න. මට දැන් හොඳට තේරෙනවා මං කරන්න ගියේ මෝඩ වැඩක් කියලා.” මම ඔහුට කීවේ වල් වැදිලා තිබුණ උඹේ හිත දැන් හොඳ මඟකට ගත්ත හින්දා වස ඕන වෙන්නේ නෑ කියා පමණි. 

යක්විල ජයන්ත ඒකනායක

Share This Article