අපි සිහින දකින්නේ ඇයි? විද්‍යාත්මක පැහැදිලි කිරීමක්
විද්‍යාත්මකව සිහින පිළිබඳ අධ්‍යයනය කිරීම ඔනියරොලොජි (Oneirology) ලෙස හැඳින්වෙනවා. සිහිනයක් වනාහි කිසිවකුගේ සිත තුළ එසේත් නැත් නම්, භෞතිකව සිතුවොත් මොළය තුළ හටගන්නා යමක් වන අතර, එය තවත් කෙනකුට විඳීමට හෝ දැකීමට හැකියාවක් නැත. සිහින පිළිබඳ නිසි ආකාර අවබෝධයක් ලබා ගැනීමටද මේ සිහින හඳුනාගැනීමට ඇති නොහැකියාව බලපෑවා. කෙනකු විසින් දකින ලද සිහිනයක් විස්තර කරන්නැයි කීවද ඉන් ලැබෙන ප්‍රතිඵලය 95%ක්ම විශ්වාස කළ නොහැකි මට්ටමේ පවතිනවා. මන්ද යත්: සිහිනයක් දැකීමෙන් විනාඩි 10ක් තරම් සුළු කාලයක් තුළ එහි සිත් ගත් හෝ වැඩි වශයෙන් සිතට බලපෑම් කළ කොටස් හැර අනෙකුත් සියලු දේ මතකයෙන් ගිලිහී යනවා. 1952දී ඇමරිකාවේ චිකාගෝ සරසවිය විසින් හිසට සවි කළ ඉලෙක්ට්‍රෝඩ භාවිතයෙන් කළ පර්යේෂණයකදී අපේ මොළය විසින් විශාල වශයෙන් නින්ද මධ්‍යයේදී විදුලි සංඥා නිකුත් කරනු ලබන බව තිරයෙහි සටහන් වනු අධ්‍යයනය කළා. ඒ පර්යේෂණයේදී එහි උච්ඡතම අවස්ථාවට පැමිණි විට පර්යේෂණයට යොදාගත් පුද්ගලයන්ගේ දෑස් වේගයෙන් එහා මෙහා යන ආකාරය දකින්නට ලැබුණු අතර, ඔවුන් වහා ඇහැරවනු ලැබුවා. එවිට ඔවුන් සිහිනයක් දකිමින් සිටි බවයි පවසා ඇත්තේ. මේ අවස්ථාව රැපිඩ් අයි මූව්මන්ට් ස්ලීප් (REM sleep) හෙවත් වේගවත් දෑස් චලන නින්ද ලෙස හඳුන්වනවා. REM නින්ද ලබන අවස්ථාවේදී හෘදය ස්පන්දනය ඉහළ යෑම, කය ඉතා මඳ වශයෙන් චලනය කිරීම්, ඇස් චලනය කිරීම් මෙන්ම වේගයෙන් හුස්ම ගැනීම්ද දකින්නට ලැබෙනවා. නිඳාගෙන සිටින කෙනකු දෙස බලාගෙන සිටිය හොත් ඔවුන්ගේ ඇසිපිය යටින් වේගයෙන් ඇස් චලනය වන ආකාරය ඔබට දැකගත හැකියි.
REM අවස්ථාවේදී මොළය ක්‍රියා කරන්නේ එය අවදි වී සිටින අවස්ථාවේ ක්‍රියාත්මක වන ආකාරයටමයි. එහෙත් වෙනස වන්නේ ඒ අවස්ථාවේදී රසායනික ද්‍රව්‍ය නිපැයීම නවතා ලීමයි. මෙසේ නවතින රසායන ද්‍රව්‍ය අතර නොරෙපිනෙෆ්රින්, සෙරටොනින්, හිස්ටමින් අඩංගු වන අතර, මේ නිසා කයේ පේශි සෙලවීම බොහෝ වශයෙන් නවතිනවා. සිහිනෙන් බිය වූ අවස්ථාවල කෑගැසුවාට හඬ පිට නොවන බව දැනීම, පහරදීමට අවශ්‍ය වූවත් එය කරගන්නට නොහැකි බව දැනෙන්නේත් මේ පේශි සිරවීම දැනෙන නිසයි. මෙසේ බිය වූ අවස්ථාවන්හිදී හැර අප සිහිනවලදී විවිධ චලන දක්වද්දී එතරම් ගැටලුවක් නොදැනීම සහ පිටත බලා සිටින්නකුට මේ අවස්ථා දෙකෙහිදීම පේශි චලනයක් දකින්නට නොලැබෙන තරම්ම වන්නේ මොළය ඊට අවශ්‍ය රසායන ද්‍රව්‍ය නවතා ලන නිසායි.
එහෙත් සමහරුන් නින්දෙන් ඇවිදින්නේ කොහොමද? ඒ මෙහිදීම ඇති වන තවත් ඩිස්ඕඩර් (disorder) හෙවත් ආබාධ තත්ත්වයක් නිසායි. නින්දෙන් ඇති වන බිය වීම් නිසා මෙහි මුල් අවස්ථාව තුළදී හිසට ඈඳාගත් ඉලෙක්ට්රෝඩද සමඟ පුද්ගලයන් ඇඳට පහරදීම්, නැගිට යෑමට උත්සාහ කිරීම් කරනු විවිධ පර්යේෂණවලදී කැමරාවට හසු වී තිබෙනවා. එහෙත් සාමාන්‍ය අවස්ථාවේදී බහුතරයක් අයගේ පේශි අක්‍රිය වීමෙන් චලනයන් නවතා ලනු ලබනවා.
නින්දෙහි ඇති එක් අවස්ථාවක් නම් අප ඇහැරුණු බව දැනුණත් කය සොලවන්නට නොහැකි බව දැනීමයි. මෙහිදී අපේ මොළය සහ කය නින්දෙහිම සිටින නමුත් සිත ඇහැරීම හෙවත් සිහිබුද්ධිය ඇති වීම සිදු වෙනවා. එනමුත් කයෙහි පාලනය නොලැබෙන නිසා ඇතැම් විට නැවතත් සිහිය ඇතිවම සිහිනය දැකීම සිදු වෙනවා. එය, සිහිනයකින් තවත් සිහිනයකට ඇහැරීමක් මෙන් දැනෙන්නත් පුළුවන්. ඇතැමුන් හොඳ සිහියෙන් නැඟිට ගොස් වැසිකිළියට මූත්‍ර කළත් ඇඳ තෙත් වී එක්වර ඇහැරෙන්නේත් මෙවන් සංසිද්ධියකට මුහුණපාන නිසායි. මූත්‍ර පහ කිරීමේ අවශ්‍යතාව දැනුණු වහා සිත ඇහැරෙනවා. කුඩා දරුවන්ගේ මෙය ඇතැම් විට නොදැනීම නිසා සිදු වනවා ඇති. එහෙත් නීරෝගි වැඩිහිටි අයකු මෙවන් අත්වැරැද්දක් කරගත හොත් බොහෝ විට ඒ සිත විසින් කය පාලනය කරගත නොහැකිව මොළය විසින් රවටා සිහිනයෙන් පෙන්වන ලද වැසිකිළියකටයි මූත්‍ර කරන්නේ! මෙය අසාමාන්‍ය අවස්ථාවක් ලෙස පෙනුණත් එය හඳුන්වන්නේ ලුසිඩ් ඩ්‍රීමින් (Lucid dreaming) ලෙසයි.
මූත්‍ර පහ කිරීමේ අවශ්‍යතාවක් හැරුණු කොට සිත පාලනය කිරීම හරහා සිහිනයක් දකිද්දී මේ දකින්නේ සිහිනයක් බව පසක් කරගන්නට කෙනකු සමත් වුව හොත් ඒ සිහිනය තුළ තමන්ට අවශ්‍ය ඕනෑම කෙනකුව හෝ ආහාරයක් වැනි දෙයක් මවාගන්න, ස්පර්ශ කරන්න, සුවඳ බලන්න, රස බලන්නද හැකියාව ලැබෙන අතර ඒ රස, සුවඳ සංවේදන පවා හොඳින් විඳගන්නට අවස්ථාව සැලසෙනවා. මෙය භාවනා කිරීම් මඟින් වර්ධනය කරගත හැකි අවස්ථාවක් මෙන්ම ඒ වෙනුවෙන් සකසන ලද හිස් පලඳනා උපකරණ පවා තිබෙනවා. ඒ උපකරණවලින් REM නින්ද හඳුනාගෙන දෑසට විදුලි බුබුළු ආලෝකයක් සහ කුඩා සංගීතයක් ලැබීමට සලස්වනවා. එවිට ටික දිනක් පුහුණු වූ විට මේ ආලෝකයෙන් සහ ශබ්දයෙන් පෙන්නුම් කරන්නේ මා සිහිනයක ඉන්නා බව යැයි පැලඳි කෙනාට දැනගන්නට පුළුවන්. එවිට තමන්ගේ නිර්මාණශීලිත්වය අවදි කරගෙන තමන් කැමැති ලොවක් මවාගත හැකියි!
නින්ද යනු ජීවිතයට අත්‍යවශ්‍ය දෙයකැයි සෞඛ්‍යය සම්බන්ධ උපදෙස්වලින් කියන යමක් විද්‍යාඥයන්ට තහවුරු කරන්න අවස්ථාව ලැබුණා. ඒ, මීයන් අඩිය වැසෙන්නට වතුර පිරවූ බඳුනක මැද උස් ස්ථානයක තබා නිඳාගන්න සැලැස්වීමයි. එවිට REM නින්දේදී පේශී ලිහිල් වී ජලයෙහි ගැටුණු විට ඔවුන් ඇහැරෙනවා. මෙලෙස කිහිප වාරයක් සිදු වුණු විට දකින්න ලැබුණේ ඔවුන්ගේ මතකය බෙහෙවින් නැති වී ඇති බවයි. මනුෂ්‍යයන්ටද පාඩම් කළ කිසිවක් මෙසේ REM නින්ද අවස්ථාවේදී නිතර ඇහැරවීමෙන් නැතිව යනවා. එනිසා මතක තබාගත් දෑ ස්ථාවර වීමට හොඳ නින්දක් අත්‍යවශ්‍යයි. එසේම තවත් පර්යේෂණවලදී දහවල් කාලයේදී ගැටලු විසඳීමක් වැනි යමක් පුද්ගලයන්ට ලබාදී ඔවුන්ගේ හිසෙන් නිකුත් වූ සංඥාවන් හිසට සබැඳි ඉලෙක්ට්‍රෝඩ මඟින් සටහන් කරගෙන, ඔවුන්ට රාත්‍රියේ නිඳාගන්න සලස්වා බැලූ විට දකින්නට ලැබී ඇත්තේ ඒ සමාන ඉලෙක්ට්‍රෝන සංඥාවන්ම රාත්‍රියේදීත් මොළයෙන් පිට කරන බවයි. ඉන් පෙනෙන්නේ උගත් දේ යළි සිහි කිරීමක් දැන හෝ නොදැන හෝ නින්දේදී සිදු වන බවයි. එහිදී දවස තුළ මොළයේ එක්රැස් වුණු අනවශ්‍ය දෑ අමතක කොට, මොළයේ මතක ප්‍රදේශවල ඉඩ සකසාගැනීමද සිදු වනවා. මෙලෙස මොළයේ අපේ පාලනයෙන් තොර කොටස් විසින් නින්ද අතර සිදු කරනු ලබන දෑ නිසා හටගන්නා සංඥා පාලනය කළ හැකි කොටස්වලට ලැබීමෙන් ඒවා ගැන ඇති වන වියවුල් බව නිසා විවිධ දේවල් මවාගන්නා බවත්, ඒවා සිහින බවත් දැන් විශ්වාස කරනවා.
තවත් විද්‍යාඥයන් පිරිසක් විශ්වාස කරන්නේ සිහින යනු අනාගත අවස්ථාවන්ට අපව හුරු කරවන්නක් බවයි. සිතෙහි ඇති බියසුලු බව, නොහැකියාවන් වෙනුවෙන් මවාපාන ලද පරිසරයක අප එයට මුහුණ දෙමින් පාසලක ඉගෙනගන්නවාක් මෙන් අපේ සිතේ ඇති බිය සහගත අවස්ථාවක් පෙරදැරි කරගෙන අභියෝගයක් මවාපා එයට මුහුණ දෙන්නේ කෙලෙසදැයි වෙනත් පරිසරයක පුහුණු වී අනතුරුව පසුදිනක එවන්නක් ඇති වුව හොත් එයට සූදානම් කරලීම මෙහිදී සිදු වනවා.
ඇතැම් සත්‍ය ලෝක අවස්ථාවන්හිදී 'අප මෙය මෙලෙසම අත්විඳ තිබෙනවා නොවේදැයි' හැඟෙන්නේත් මෙවන් දෑ නිසා වන්නත් පුළුවන්. එසේ හැඟීම 'ඩේජා-වූ' (Deja-Vu) ලෙස හඳුන්වනු ලබනවා. අතීත මානවයන්ට විවිධ පරිසර තත්ත්වයන් මුහුණ දීම සඳහා ලද පරිණාමීය ලක්ෂණයක් ලෙසයි ඒ අනුව සිහිනයන් අර්ථ දැක්වෙන්නේ. ඒ කෙසේ වුවත්, කුරිරු සත්යලොවට වඩා ඇතැම් සිහිනවලින් ලද දේවල් දෑස් හැර බැලූ විට 'අනේ එහි තවත් රැඳෙන්නට තිබුණා නම්!' යැයි ඔබට සිතී ඇතුවාට සැක නැත. එහෙත්, සත්‍ය ලෝකයේ හඹා යන්නට මිස, සිහින හෙවත් ඉලක්ක යනු නින්දෙන් ලැබිය යුතු මවාගත් දෙයක් නොවන බව සිහි කට යුතුයි.
උපුටා ගැනීම සිළුමිණ