Biz Log
Classifields
Biz Log
Classifields

පුතා ඉල්ලන ෆෝන් එකට මාස හතරක විතර පඩිය යනවා... රට ඉඳන් අපි විදින අපාදුක ලංකාවේ ගෙවල්වල අය දන්නේ නෑ...

පුතා ඉල්ලන ෆෝන් එකට මාස හතරක විතර පඩිය යනවා... රට ඉඳන් අපි විදින අපාදුක ලංකාවේ ගෙවල්වල අය දන්නේ නෑ...

ජීවිතය කියන්නේ මහා පුදුමාකාර දෙයක්. සමහරක් අයට ලැබෙන දේ සමහරක් අයට ලැබෙන්නේ නෑ. ඒ තරම්ම ජීවිතය කියන රෝදය නැවතීමක් හොයන තුරු කැරකෙනවා. ඒත් දුප්පත්කම මිනිසුන්ගේ ඉහට ගහද්දී ඒවා නවතගන්න විවිධ දේවල් කරනවා. ජීවිත රෝදය වේගයෙන් කැරකෙන්න ගන්නවා. මේ තත්ත්වයට බරපතළ විදිහට මුහුණ දෙන්න වෙන්නේ කාන්තාවන්ට. එහෙම දැනිච්ච සමහර කාන්තාවන්ට ඔවුන්ගේ පවුල ජීවිතය තම දරුවන්ගේ ජීවිතය රකින්න තමන්ගේ රට අත් හැරලා දුරු රටකට යන්න වෙනවා. කාන්ති අක්කා කියන්නේ ඒ වගේ කාන්තාවක්. මේ කියන්න හදන්නේ එයාගේ කතාව.

කාන්ති අක්කා..... මං හිතන්නේ ඇයට වයස 45ක් වගේ ඇති. දුක සැප අහන්න වයස වැදගත් නැති නිසාම මම ඒ ගැන කාන්ති අක්කාගෙන් ඇහුවේ නැහැ. ඇය සමග කතා කළ ටිකට හිතුනා ඇය නියම මවක් කියලා. දුක් විඳින්නිම උපන් අයගේ ගොඬේ කෙනෙක් කියලා. කාන්ති අක්කා අනුරාධපුරයේ. දැනට කුවේට් ඇවිත් අවුරුදු 3ක් වෙනවා. ඇය ඉන්න ගෙදර ළමයින් 4ක් සහ මාමා බාබා පමණයි. ඒත් ඒ ගෙදර දී කාන්ති අක්කට නිදා ගන්න ලැබෙන්නේ රැ 12ත් පහුවෙලා. එහෙම තියෙද්දිත් අවදිවෙන්නේ උදේ 5.30ටලූ. කුවේට්වල සමහර ගෙවල් තියෙනවා අපි හිතන තරම් ලස්සන සුන්දර ගෙවල් නෙමේ. සැප පහසුවට ඉන්න පුළුවන් තැන නෙමෙයි. කාන්ති අක්කට හම්බවෙන හැම සතයක්ම යවන්නේ එයාගේ දුවටයි පුතාටයි.

කාන්ති අක්කාගේ දුව බාහිර උපාධිය කරන කෙනෙක් බව එයා කියන්නේ අම්මා කෙනෙක් හැටියට ආඩම්බරයෙන්. ඒත් පුතානම් ඕලේවල් අසමත් කෙනෙක්. යාළුවොත් එක්ක රවුමේ යන එක පොෂ් එකට හැසිරෙන එක ඔහුගේ ස්ටයිල් එකක් වෙලා. පුරුද්දක් වෙලා. හැම මාසෙම මොනවා හෝ දෙයක් ඉල්ලනවාලූ. නැවත ඕලෙවල් කරන්න කිව්වාම ඇයට බැන වදිනවාලූ. කාන්ති අක්කගේ සැමියා නැති වෙලා අවුරුදු 5ක් වෙනවා. ඇය දරුවන් දෙන්නා බලාගන්න ඔවුන්ට ලස්සන ජීවිතයක් දෙන්න ඕනේ නිසායි රට ඇවිත් තියෙන්නේ. තමන්ගේ සැමියාගේ අසනීප වලට ගත්ත ණය බේරගන්න ක‍්‍රමයක් නැති නිසා ඇය මැදපෙරදිග රට සේවයට ඇවිත්. ඒත් තම දරුවන් වෙනුවෙන් නැහෙන මේ අම්මාට කිසිම සැනසීමක් නෑ.

පැත්තකට වෙලා ඉඳගෙන ඉන්න කාන්ති අක්කත් එක්ක මම මොහොතක් කතා කර කර හිටියා.

‘‘මොකෝ අක්කේ අවුලෙන්.”

‘‘අපේ දරුවන් වුණත් බං නංගි බලන්නේ අපෙන් සූරංකන්නමයි”

”ඇයි අක්කේ එහෙම කියන්නේ”

”දුව බාහිර උපාධියක් කරනවා. පුතා නම් ඕලේවල් ෆේල්. ආපහු ඕලෙවල් කරන්න කිව්වට අහන්නේ නෑ. අර ඇපල් පෝන් එකේ 11 ද මොකක්ද කියලා එකක් තියෙනවා කියලා ඒක ගන්න සල්ලි ඉල්ලනවා.... ඒක මෙහෙන් බැලූවා ලක්ෂ 2කටත් වඩා බර ගානක්. ෆෝන් එහෙකට එච්චර මොකටද වියදම් කරන්නේ කියලා ඇහුවාම පුතා බැනගෙන බැනගෙන යනවා. දැන් කතා කරන්නේ නෑමලූ ෆෝන් එක අරං නොදුන්නොත්. මං දන්නේ නෑ නංගී අපි මෙහෙ විඳින දුක උඩ ඉන්න දෙවියෝ දන්නවා. ඒත් ඒ දුක අපේ ළමයින් දන්නේ නෑ. මොකද අපි නොකෑවත් කෑවා කියලයි කියන්නේ. අසනීපෙන් හිටියත් අපි කියන්නේ සනීපෙන් ඉන්නවා කියලා. ඒත් ඇත්තටම අපි හොඳින් නෙමේ බං නංගී. ඒවා අපි දරුවන්ට නොකියා ඒ අය ඉල්ලන ඉල්ලන දේ අරං දෙන නිසයි මේ විපත.”

ඔව් සමහර දරුවන් දන්නේ නෑ. තමන්ගේ දෙමව්පියන් මෙහෙ කොච්චර දුක් විඳිනවද කියලා. ඒ වගේ ඒ දෙමව්පියන් ඔවුන්ට කිසි දුකක් කියන්නේ නෑ. මොකද අම්මා තාත්තා කෙනෙක් මෙහේ දුක් විඳින්න එන්නේ තමන්ගේ දරුවන් නිසා. ඒත් අද ගොඩක් අයට ඒක අමතක වෙලා. ගොඩක් අය හිතන්නේ මැදපෙරදිග සේවයට එන හැමෝම සැප විඳින බව. ඒත් ඔබ නොදන්න මේ කාන්තාරේ ලොකු වේදනා රැුසක් හැංගිලා තියෙනවා. ඒක දරුවන් වුණත් දැන ගන්න ඕනේ. තමන්ගේ අම්මා තාත්තා දුක් මහන්සියෙන් එවන සල්ලි පරිස්සම් කරගෙන වියදම් කරන්න. මේ සල්ලි, අවුරුදු ගානක් තිස්සේ නිදිවරාගෙන ශරීරයට හරි හමන් ශක්තිය ගෙනදෙන ආහාරයක් නැතිව දුක් විඳලා එවන ඒවා බව ඒ කාටවත් තේරෙන්නේ නැහැ.

ඇත්තටම, මැදපෙරදිග එන බොහෝ දෙනකුට පීඩා විඳින්න සිද්ධවෙලා තියෙන්නේ ඒ රටවල උදවියගේන්ම වගේම තමන්ගේම පවුලේ උදවියගෙන්ම කියන එක මට හොඳට තේරුණ කාරණයක්. සමහර අයට මෙනිසා සිද්ධ වෙනවා මැදපෙරදිග අවුරුදු හත අටක් දුක් විඳලා හම්බ කරලා ලංකාවට ඇවිත් ජීවිත කාලයම දුක් විඳින්න. ශ‍්‍රී ලංකාවේ තිබෙන වගකිව යුතු ආයතන, සමාජ සේවා ආයතන, රාජ්‍ය නොවෙන සංවිධාන වලට ඔන්න මම කරන්න පුළුවන් වැඩක් ගැන ඉඟියක් දුන්නා. මේ අයගේ පවුල්වල හරි හමන් පවුල් සංවර්ධනයක් සිද්ධ වෙනවද, සමාජ සංවර්ධනයක් සිද්ධ වෙනවද කියන එක හොයන්න පුළුවනි. ඒකට විධිමත් වැඩපිළිවෙළක් යොදන්න පුළුවනි. රටක් සංවර්ධනය වෙන්නේ එහෙම පිළිවෙළක් හැදුනම. දුප්පත්කම තුරන් කරන්න වෙන දෙයක් කරන්න ඕනේ නැහැ. කාන්ති අක්කගේ කතාවත් එක්කම මගේ හිත සෑහෙන දුර ගියා.

මැඩම් අඬගහපු නිසා මට කාන්ති අක්කව එතැන තනිකර යන්න වුණා. ඒත් කාන්ති අක්කා කිව්ව කතාව හිතට බරක් කරගෙනයි මා ගියේ. ඒ තරම් ඒ අම්මා දුකක් හිතේ තදකරන් ජීවත් වෙන නිසා. මට මගේ අම්මත් සිහිවුණා.

උපුටා ගැනීම දිවයින

Share This Article