Biz Log
Classifields
Biz Log
Classifields

කිතුල් මලක කඳුළ ගන්න පාරම්පරික ක‍්‍රම

කිතුල් මලක කඳුළ ගන්න පාරම්පරික ක‍්‍රම

කඳුකරයේ මනාලිය වශයෙන් හඳුන්වන කිතුල් ගස සිංහල ජනතාව සතු මහඟු සම්පතකි. ලංකාවේ කඳුකරය ආශ‍්‍රිතව බහුල වශයෙන් ඉබේ හටගන්නා බැවින් කඳු ආශ‍්‍රිතව ජීවත් වන ජනතාව සතු ප‍්‍රධාන ආර්ථික භෝගයක් බවටද පත් වී තිබේ. කුඩා තේ වතු වගාව ව්‍යාප්ත වීමට ප‍්‍රථම ඔවුහු තමන්ගේ සියලූ ජීවන ක‍්‍රියාකාරකම් සඳහා මුදල් උපයා සපයා ගෙන ඇත්තේ මෙයිනි. කිතුල් ගහකින් දෑවැදි තුනක් දිය හැකි බව කට වහරට කියන්නේ එහෙයිනි. කිතුල් මල් කපා කඳුළ වෑස්සෙන විට ඒවා එකතු කර ගැනීම මෙහි පිළිවෙළයි. මල කැපීමට නියමිත ශාස්ත‍්‍රයක් පවතින අතර නම්බුකාර ගහක් ලෙසට සැලකුම් ලබන කිතුලෙන් කඳුළු නොහොත් තෙලිදිය ලබා ගැනීමට නම් ඒ ශාස්ත‍්‍රයෙන් නිසි පරිදි වැඩ ගැන්මත් ගහට කීකරුව ගෞරවයෙන් කටයුතු කළ යුතු ආකාරයත් මේ පාරම්පරික ශිල්පීන් දැන සිටින්නට ඇත.

කිතුල් ගහේ ප‍්‍රභේද කීපයක් ඇති බව කියැවෙයි. ගෑනු පිරිමි ප‍්‍රභේදය ඉන් එකකි. ඒ අනුව තෙලිදිය ලබා ගැනීමට සමත් වඩාත් හොඳ ප‍්‍රභේදය ලෙසට සැලකෙන්නේ පිරිමි ප‍්‍රභේදයයි. අගින් හීන් කඳ මැදින් නොහොත් බණ්ඩියෙන් මහත් වූ ගෑනු ප‍්‍රභේදය ලෙහෙසියෙන් හඳුනාගත හැකිය. පිරිමි කිතුල මුලින් මැදින් අගෙන් එක පමණය. සීරුවෙන් උස යයි. කිතුල් වැවෙන කඳුකරයේ වනය අස්සෙන් මතුවී එන පිරිමි ගස් අපට දැකගත හැකිය. ඒවා වඩාත් සුදුසු වන්නේ වනයේ සාරවත් ව වැඞී සූර්යා ලෝකය සොයා ඉහළට ගිය බැවිනි. කහට කිතුල නම් තෙලිදිය ගැන්මට අසීරු කහට රසයක් ගන්නා තෙලිදිය වෑස්සෙන කිතුලයි. ඒවා මදින්නේ මලට බෙහෙත් නොතබා පුළුස්සා ගනිමිනි. එවිට වැඩි කාලයක් අස්වැන්න ලබාගත නොහැකිය. පැණි ප‍්‍රමාණයද ලැබෙන්නේ අඩුවෙනි. කටු කිතුල් සහ කුරු කිතුල් නම් වූ තවත් ප‍්‍රභේද දෙකක් පවතී. ඒවායින් තෙලිදිය ලබාගැනීම දැනට නොකරති. එසේම ලංකාවේ කිතුල් වගා කිරීමක් දක්නට නැතිය. නමුත් අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් කිතුල් පැළ ප‍්‍රචාරණය කිරීමේ වැඩසටහනක් අරඹා තිබේ. ඉදිරි අනාගතයේ ආර්ථික වගාවක් ලෙසට එය ඉහළට ඔසවා තැබීමට නම් එවැනි ප‍්‍රචාරණයක් අත්‍යවශ්‍ය වේ.

තෙලිදිය ලබා ගැනීමට යොදා ගන්නේ කිතුල් මලයි. මල කැපීම පිණිස ගහ දිගේ ඉහළට නැග ගත යුතුයි. මේ මාර්ගය පහසු කර ගැනීම පිණිස මල් මදින්නන් විසින් කිතුල් ගස හැර ගසා ගනී. කිතුල් ගස හැර ගසා ගැනීමට භාවිතා කරන ප‍්‍රධාන රිටි වර්ගය වනයෙන් සොයා ගන්නා හැඩවක ලීයයි. ඊට අමතරව ගොඩපර, වන මී, වන ඉදල වල් ලියන් ලියන් සහ තෙලන් වැනි ලී වර්ග භාවිතා කෙරේ. මුදුන් මලේ සිට බතලේ මල දක්වා (එකිනෙකට පසු එන මල් තුනක්) මාස තුනක කාලයක් ගතවන බැවින් ශක්තිමත්ව දිරාපත් නොවී තබා ගැන්මට නම් මේ ලී වර්ග භාවිතා කළ යුතුය. උණ ගස් බහුලව යොදා නොගන්නේ දීර්ඝ කාලයකට ඒවා ඔරොත්තු නොදෙන බැවිනි. මේ ගසේ හැර වෙලීම සිදු කරන්නේ පට්ටික්කා වැල්, කොරස වැල්, මාබණ්ඩා වැල්, කිරිඳි වැල්, කළු බඹර, සුදු බඹර, වෙනිවැල් සහ කලවැල් වලිනි. වෙළෙඳ පොළේ මිළදී ගන්නට තිබෙන කොහු ලණු වලට වඩා ඒවා විශ්වාස කළ හැකි බව මදින්නන්ගේ මතයයි. කිතුල් ගස් හැර දැමීමේ දී චන්ද්‍ර මාස ක‍්‍රමය අනුව ගැනෙන පුර ජලවක දිනය යොදා ගන්නා බව ඉතා අහම්බෙන් දැන ගන්නට ලැබුණේ රක්වානේ මදින්නෙකුගෙනි.

කිතුල් මල කැපීමේදී ආරම්භයේ දී මල් කිනිත්ත විවර කර කොළ පැහැ වන්නට අරිති. ඉන්පසු ගසට ළංව පවතින පුරුක ඇර ඉතිරි පුරුක් ඉති ගැටේ දක්වා ගලවා සුඹුල ගා දමා ගලකින් තලා පදම් කරති. මලේ කිරි පුරුක නොහොත් පැණි පුරුකට බෙහෙත් තබන්නේ අනතුරුවය. මෙයින් පසු මලට ඔලොම්බුව නමින් ආධාරකයක් සවි කර ගනිති. මල දෘඪව තබා ගැනීමට එය උපකාරී වේ. දින තුනක් තිස්සේ මල පදම් කර ගනිති. ඉන් පසු මල කැපීම ආරම්භ කරනුයේ යහපත් හෝරාවකිනි. එසේම වඩදිය වේලාවටය. මේ කාලය උදේ අට පමණ වනවිට උදාවන බව ඔවුන් ගේ මතයයි. මල කපන පිහිය කලින් සූදානම් කර තබා ගැනීමද කළ යුතුය. මල් කපන පිහි පණ පොවන්නේ මඩ වතුරෙන් නොවේ. පොල් තෙල් වලිනි. කම්මල් කරුවා ළඟට යන විට පොල්තෙල් කොලපුවක් රැගෙන යෑම සිරිතයි. පණ පෙවූ පිහිය සෑම කැපීමකදීම මුවහත්ව තබා ගත යුතුය. ඒ සඳහා වල්ලා හෝ මිල්ල ලීයක් භාවිත කරන අතර තිරිවානා කුඩු යොදමින් මුවහත් තැබීම කරගනිති. මුදුන් මල කපන අවස්ථාවකදී කහ ලූණු සහ පොල්තෙල් ගෙන පුරුකේ සුඹුල හැර මුළු මලේම ගෑම කරති. මුදුන් මල ළපටි බැවින් එය ප‍්‍රවේශමින් කළ යුතුය.

කිතුල් මදින්නන් බෙහෙත් වට්ටෝරු කීපයක් භාවිත කරති. ප‍්‍රදේශවල විවිධත්වය අනුව රා හෝ මීරා අවශ්‍යතාව මත මෙන්ම කිතුල් ගසේ මලේ ස්වභාවය අනුවත් එසේ කරති. ඉන් කීපයක් මෙසේ සඳහන් කළ හැකිය.

1. කොල්ලන් කොළ අළු සහ විටට කන හුණු පදමක්

2. කොල්ලන් කොළ, වියන් දුඹුළු, ලූණු දියර, අළු සහ ඇඹුල් ඉස්ම

3. කොච්චි, ගම්මිරිස්, රතු ලූණු හීන් දුරු සහ ලූණු ටිකක්.

4. කෙටල අල සුද්ද කොට පෙති කපා පොල් කිරෙන් තම්බා අඹරා තැබීම.

මෙලෙස භාවිතා වන වට්ටෝරු රැසක් පවතින අතර ඒ ඒ පළාත්වල සම්පත් අනුව ඒවා තීරණය වේ. බෙහෙත් තැවරීමෙන් පසු කිතුල් කොළයක් තබා බාඳුරා වලින් බැඳීම කරති. බෙහෙත් යෙදීමෙන් කෙරෙන්නේ මලේ අභ්‍යන්තරයේ තිබෙන සිදුරු පාදා ගැනීමයි. දින තුනක් පමණ කල්ගත වූ පසු තෙලිදිය කඳුළ වෑස්සීමට පටන් ගන්නේ මෙලෙස මල හොඳින් පදම් වූ පසුවය. ඇතැම් අය බැටරි කුඩු ආදිය මල් බෙහෙත් ලෙස භාවිතා කළද ගසේ පැවැත්මට එය හානිකරය. බැටරි කුඩුවල රසායනික ද්‍රව්‍ය නිසා මලට රත් කුරුමිණියන් (මානෙලා) ආකර්ෂණය වන අතර ඌ විසින් දමන බිත්තරවලින් පණුවන් හටගනී. එයින් මල විනාශයට පත්වීමට තිබෙන ඉඩකඩ බෙහෝය. ඇතැම් කඳුකර පළාත්වල මල කැපීම පිණිස ආරම්භයේ දීම ඔලොම්බුව දමා සම්පූර්ණ පුරුකේම කොපු ඉවත් කර ගනිති. ඉන්පසු උදයට, දහවලට කපා හවසට සම්පූර්ණ කොපුවම වැල්වලින් වෙලා දමති. ඉන්පසු උදේට නැවතත් කපා හවසට වෙලා දමති. මේ ක‍්‍රමයට මල පදම් කරගත්තද වැසි කාලයට මෙවැනි පදම් කරගැනීම්වලින් මල ඇරීමට තිබෙන ඉඩකඩ වැඩිවන බව අසන්නට හැකිය. දෙසැම්බරයේ සිට අප‍්‍රියෙල් මස පහළොව දක්වා කාලය (බක් මසේ අවසානය දක්වා) කිතුල් මල් කැපීමට හොඳම කාලයයි. තෙල් ගෑමේ අවුරුද්දෙන් පසු එළඹෙන කාලය අධික වර්ෂාවට බර බැවින් මල පදම් කර ගැනීම ලේසි නැත. ඒ නිසා තෙලි දිය ගැනීමට ඇතැම් විට ඉඩ නොලැබේ. මහ රා දමන්නට පෙළඹෙන්නේ එවැනි අවස්ථාවලදීය. සාමාන්‍යයෙන් කිතුල් ගසක මල් පහළොවක් පමණ හට ගනිති. මුදුන්මල සහ දෙවැනි මල වන ඉපියාව කැපීමෙන් අත් හරින්නේ ඒවායේ ඇට මගින් කිතුල් පරාම්පරාව ප‍්‍රචාරණය වන බැවිනි. තෙවැනි මලේ නොහොත් බතලේ සිට කැපීම ආරම්භ කරන්නට පැරණි මල් මදින්නන් උත්සාහ දරන අනෙක් කාරණය ලෙස සළකන්නේ මුදුන් මලේ වඩුකම හරියට නොකෙරුණහොත්  ගසෙන් වැඩක් ගත නොහැති තත්ත්වයට පත් වන බැවිනි. කිතුල් ගස පීදෙන්නට වසර පහළොවක් පමණ කල්ගත වන අතර වසර පහක් පමණ මල් මැදීම සඳහා ප‍්‍රයෝජනයට ගත හැකිය. කිතුල් මලේ වඩුකම අවුල් කරන්නා වන්නේ රිළවාය. ඌ මදින්නන් පස්සේ රහසේ වැටී මදින්නා ඉවත් වූ පසු ගස් මුට්ටියත් කොලපුත් ඇද දමා යකා නටති. ඇතැම් රිලවුන් රා බී දවස තිස්සේ අනෙක් රිලවුන් සමග කෑ කොස්සන් ගසමින් රණ්ඩුවන හැටි දකින්නට හැකිය. මල් මදින්නන්ට නීතියෙන් කිසිම පිළිසරණක් නැත. රා බෝතල් දෙකක් ළඟ තබා ගැනීමටත් ගස් තුනක් කපා ගැනීමටත් අවසරය හිමිව තිබුණද සුරාබදු අංශ සහ පොලිසිය තමන්ට වාරිකව අවශ්‍ය නඩු සඳහා මල් මදින්නන් කොටු කර ගනිති. ඇතැම් විට නූගත්කම නිසා රවට්ටා කොළවලට අත්සන් ලබාගෙන නඩු දමති. තරුණ පරපුර මල් මදින්නට නොඑළඹෙන්නේ මේ දුෂ්කරතා ඔවුන් දන්නා බැවිනි. මේ නිසා අගනා කර්මාන්තයක් ඉදිරි කාලයේ දී අතුරුදන් වීමට තිබෙන ඉඩකඩ බොහෝ වේ.

මතුගම සෙනෙවිරුවන්

මෙම ලිපියට තොරතුරු සැපයූ හලවල් කැලේ ජයතිස්ස මහතාට ස්තූතිය පළ කරමි.

උපුටා ගැනීම දිවයින

Share This Article