Biz Log
Classifields
Biz Log
Classifields

ජීවිතයම රෝහලක ගත කරමින් සිහින ජය ගැනීමට වෙරදරන මිනිසෙකුගේ කතාව

ජීවිතයම රෝහලක ගත කරමින් සිහින ජය ගැනීමට වෙරදරන මිනිසෙකුගේ කතාව

ජීවිතය පුදුමාකාරය. කිසිදු ආබාධයකින් තොරව, නිරෝගී ජීවිතයකට උරුමකම් කියමින් මෙලොවට බිහිවන බොහෝ දෙනෙකු ජීවිතයේ අභියෝග හමුවේ සිතින් අඩපණව ඇදවැටෙද්දී, සිය සමස්ත ජීවිතයම අභියෝගයක් කර ගනිමින් ආබාධිත හෝ රෝගී තත්ත්වයන් සමග උපදින අයවළුන් සිය රෝගී තත්ත්වයන් හමුවේ ජීවිතය බරක් කර නොගනිමින් එඩිතරව නැගී සිටීමට වෙර දරන අයුරු ඇත්තෙන්ම විශ්මය උපදවන සුලුය. බ්‍රසීලයේ වෙසෙන හතළිස්පස් හැවිරිදි පාවුලෝ හෙන්රික් මචාඩෝද එබඳු විශ්මිත ආත්ම ශක්තියකින් යුතුව ජීවිතයට මුහුණ දෙන, පැමිණි දුක් පැණි රසයි කියමින් අභියෝග හමුවේ නොසැලී සිය ජීවිත සිහිනය ජයගැනීමට ‍පොරබදින සැබෑ ලොව වීර චරිතයකි. ඉපදුන දින සිට සිය සමස්ත ජීවිත කාලයම සාඕ ‍පෝලෝ නුවර පිහිටි රෝහලක් තුළ ගෙවා දමමින් සිටින මචාඩෝ මෙම ඛේදනීය ඉරණමට මුහුණපානා ලද්දේ ඔහු දෙදිනක් වයසැති බිලිඳෙකුව සිටින අවධියේදී ‍පෝලියෝ (පක්ෂාගාත) රෝගය වැළඳීමත් සමග හටගත් ළදරු අංශභාග රෝගී තත්ත්වය නිසාය. එතැන්පටන් අද දක්වාම ඔහු දිවි ගැටගසා ගනුයේ පැය විසිහතර පුරාම අඛණ්ඩව ඔහුව සම්බන්ධ කොට ඇති කෘත්‍රිම ශ්වසන යන්ත්‍රයක පිහිටෙන් වුවද, පරිගණක සජීවීකරණ ශිල්පියෙකු ලෙස කලඑළි බැසීම සඳහා මචාඩෝ එය බාධාවක් කර ගත්තේ නැත. අප්‍රතිහත ධෛර්යයෙන් යුතුව සියලු දූෂ්කරතා මඩිමින් පුහුණුවීම්වල නියැළුණු මචාඩෝ නුදුරු දිනකදීම සිය ජීවිතය අළලා තමා විසින්ම නිර්මාණය කෙරුනු රූපවාහිනී කතා මාලාවක් එළිදැක්වීමේ බලා‍පොරොත්තුවෙන් පසුවන්නේය. සිය ජීවිතයෙන් වසර හතළිස්පහක කාලයක්ම දිවිගෙවූ සාඹ් ‍පෝලෝ ක්ලිනිකාස් නමැති රෝහ‍ලේ වන සිය කුටියෙන් පළමු වරට පිටතට පැමිණ රෝද පුටුවක ආධාරයෙන් රෝහල ගවේෂණය කළ අයුරු මචාඩෝ මතක ගබඩාවේ තැන්පත්ව ඇති මුල්ම මිහිරි මතකයයි. දිගු කලකට පෙරදී මොවුන් සමග මෙම රෝහ‍ලේ නේවාසිකව සිටි සෙසු ළමුන් සිටි කාමරවලට යමින්, කාමර යා කරන පටු මංතීරු ඔස්සේ සිය රෝද පුටුවෙන් ඉහළ පහළ යමින් මචාඩෝ පළමුවරට තමා වෙසෙන ලෝකය පිළිබඳව අවබෝධයක් ලැබිමට උත්සාහ ගත්තේ රෝහලෙන් පිටත වූ වෙනත් ලෝකයක් පිළිබඳව ඔහු අසා හෝ දැක නොතිබූ නිසාය. සම වයසේ සෙසු ළමුන්ට මෙන් පාපන්දු වැනි කෙළි සෙල්ලම්වල නිතරවීම සඳහා කිසිවිටෙක වාසනාවක් හිමි නොවූ මචාඩෝගේ රෝහ‍ලේ කාමරයේ බිත්ති හතරට කොටු වූ ජීවිතය තුළ වින්දනයක් ලැබිමට තිබූ එකම අවස්ථාව වූයේ තමන්ගේම පරිකල්පන හැකියාවෙන් මවා ගත් මනඃකල්පිත ලෝකයක් තුළ සිතින් ජීවත් වෙමින් පමණි.

දුක් වේදනාවන් දෝතින්ම තුරුළුකොට ගනිමින් මෙලොවට බිහි වූ මචාඩෝ දෙදිනක් වයසැති කිරිකැටි බිලිඳෙකුව සිටියදී ඔහුට ඔහුගේ මව අහිමි වූ අතර එම වියෝවේ උණුසුම පහව යන්නටත් මත්තෙන් බිලිඳු මචාඩෝ එකල පැතිරෙමින් තිබූ ‍පෝලියෝ වසංගතයේ ගොදුරක් බවට පත් වූයේ ඔහු සදාකාලික ආබාධිත තත්ත්වයට පත්කරලමිනි. ඉපදී නොබෝ දිනකින්ම සිය මව පමණක් නොව සිය ජීවිතයේ වටිනාකමද අහිමි වීමට තරම් අවාසනාවන්ත වූ මචාඩෝට උරුම වූයේ අංශභාග තත්ත්වයට පත් වූ සිරුරක්ද සමග රෝහල් කාමරයක සදාකාලික සිරකරුවෙකු ලෙස දිවි ගෙවීමේ ඉරණමයි. මව නොමැති අඩුව පිරිමැසුණේ මචාඩෝ රෝගී තත්ත්වයට පත් වූ අවධියේදීම ඔහු සිටි රෝහ‍ලේ සේවය සඳහා පැමිණි "ලිගියා මාෂියා ෆිසෙටෝ" නමැති හෙද නිලධාරිනියගේ සෙනෙහසේ උණුසුමෙනි. මචාඩෝට පමණක් නොව 1970 වකවානුවේදී බ්‍රසීලයේ පැතිර ගිය ‍පෝලියෝ (පක්ෂඝාත) වසංගතයට ගොදුරුව අංශභාග තත්ත්වයට පාත්ව සාඕ ‍පෝ‍ලේ රෝහ‍ලේ ඇඳක් මතට කොටු වූ මචාඩෝ වැනිම දරු දැරියන් රාශියකටම මවකගේ සෙනෙහසේ උණුසුම බෙදාදෙන ලද්දේ මාෂියා ෆිසෙටෝ හෙදිය විසිනි. අවිනිශ්චිතභාවයේ කඩතුරාවෙන් වැසීගිය මෙබඳු දරුවන්ගේ අනාගතය පිළිබඳව එකල වෛද්‍යවරුන් තුළ වූයේද පසුතැවිල්ලෙන් පිරී ගිය අඳුරු ආකල්පයක් පමණි. ජීවිතයේ යෞවන අවධියට පා තබනු ඇති බවට කිසිවිටෙක බලා‍පොරොත්තු නොවූ මෙබඳු දරුවන්ගේ ආයු කාලය ලෙස එකල වෛද්‍යානුකූල වාර්තාවන්ගෙන් තහවුරු වී තිබුණේ වසර දහයක් වැනි ඉතාම කෙටි කාලයක් පමණි.

සිය සිරුරේ චලනයන් බොහෝ දුරට සීමාසහිත වී එක්තැන් වූ මචාඩෝගේ මුළු ලෝකයම ගොඩනැගුණේ රෝහ‍ලේදී ඔහු හඳුනාගත් ඔහු වැනිම ඉරණමකට ගොදුරුව සිටි මිතුරු මිතුරියන් වටාය. එලියානා, පෙඩ්රින්නෝ, ක්ලෝඩියා, ලුසියානා හා ටානියාද එම මිතුරු කැලට අයත් වූවන්ය. එසේම මචාඩෝ සමග වසර දහයකට වැඩි කාලයක් එකට ජීවත්වීමට වාසනාව ලැබූවන්ය. ළමා වියේ අහිංසකත්වයත් බොළඳ භාවයත් හේතුවෙන් ජීවිතයේ අනියත බව වටහා ගැනීමට තරම් බුද්ධියෙන් මුහුකුරාගොස් නොසිටි කුඩා මචාඩෝට එතෙක් කලක් තමා සමග එකටම දිවිගෙවූ කුඩා මිතුරු මිතුරියන් එකිනෙකා බැගින් වියෝව යාම දරාගත නොහැකි තරම් විය. තම මිතුරන් කිසිදා තමන් වෙතින් ඈත්ව නොයනු ඇති බවට වන විශ්වාසයේ එල්බ සිටි මචාඩෝගේ ළපටි සිතට සිය මිතුරු කැලගේ වියෝවෙන් දැනුණු වේදනාව අදටද මුළුමනින්ම පහව ගොස් නොමැත. අද වන විට මචාඩෝ සමග සිටි මිතුරු මිතුරියන් අතරින් ජීවත්ව සිටිනුයේ "එලියානා" පමණි. සිය සමකාලීනයන් එකින් එකා මිය යත්දී වෛද්‍ය නිගමනයන්ට අභියෝගයක් වෙමින් මචාඩෝ හා එලියානා එතෙක් කලක්, එනම් හතළිස්පස් වසරක් ජීවත් වීමට තරම් වාසනාවන්ත වූයේ කෙසේද යන්න වෛද්‍යවරුන්ටද රහසකි. ඇතැම් විට ඒ මචාඩෝ හා එලියානා එකිනෙකා කෙරෙහි දැක්වූ දැඩි ළබැඳියාවත්, අනෙකා වෙනුවෙන් තමන් ජීවත් විය යුතු බවට දෙදෙනා තුළම හටගත් දැඩි අධිෂ්ඨානයත් නිසාද විය හැක. කවරක් වුවද අද මචාඩෝ සෑම උදෑසනකදීම අවදි වන්නේ තමාට මුහුණ ලා ඇති සයනයෙහි සිටින, හතළිස්පස් වසරක කාලයක් පුරාවට තමාගේ ළබැඳි අසල්වැසියාද, සොහොයුරියද, මිතුරියද වූ එලියානා සැගුයි කෙරෙහි වන විශ්වාසයෙනි. එලියානා ද තමා මෙන්ම සයනයට කොටු වූ ආබාධිත රෝගියෙකු වුවද තම ජීවිතය ජීවත් කරවන ශක්තිය ඇය බව මචාඩෝගේ විශ්වාසයයි. එලියානා සිතන්නේද එලෙසටමය. ඇතැමුන් ඔවුන් දෙදෙනා අතර ඇති ජීවිතය ජීවත් කරවන මෙම සබැඳියාව දකින්නේ සැමියෙකු හා බිරිඳක අතර වන සබඳතාවක් ලෙස වුවද මචාඩෝ කියා සිටින්නේ එය ඉන් ඔබ්බට ගිය සහෝදර සෙනෙහසක් බවය. ඒ සෙනෙහස නිසාම දිනපතාම ඔවුන් දෙදෙනා අතර වන වාදයන්ද කෙළවරක් නොමැත. නමුදු මේවා එකිනෙකාගේ සිත් රිදවීමේ හෝ කිසිදු පාර්ශ්වයක් හෝ මැඩලීමේ අරමුණින් සිදු කෙරෙන වාදයන් නොවන බව මචාඩෝගේ මෙන්ම එලියානාගේද අදහසයි.

ජීවිතයම රෝහලක ගත කරමින් සිහින ජය ගැනීමට වෙරදරන මිනිසෙකුගේ කතාව

ආබාධිත තත්ත්වය නිසාවෙන්ම පහසුවෙන් රෝග ආසාදනය වීමේ හැකියාව නිසාද මචාඩෝ හා එලියානාට රෝහලෙන් පිටව ජීවිතය ගෙවීම යනු සිහිනයක්ම පමණක් වුවත්, රෝහලෙන් පිටව බාහිර ලෝකයේ සුන්දරත්වය විඳ ගැනීමට ලද විරල අවස්ථාවන් ඔවුන් දෙදෙනාගේම ජීවිතවල කිසිදා අමතක නොවන සදාතනික සිහිවටනයන්ය. සිය මුළු ජීවිත කාලය තුළදීම එලෙස රෝහලින් පිටත ලෝකය දැක බලාගැනීමට මචාඩෝට අවස්ථා පනහක් පමණ ලැබි ඇති අතර, මෙබඳු සංචාරයන් බොහෝමයක් මෑත කාලීනව සිදු වූ ඒවාය. ඒ පරිණත වියට එළැඹීමත් සමග අභියෝගයන්ට මුහුණ දීමට ඔවුන් තුළ වන කායික සේම මානසික ශක්තියද ඉහළ යාම නිසාම පමණක් නොව කාලයාගේ ඇවෑමෙන් සිදුවූ වෛද්‍ය තාක්ෂණයේ පෙරළියත් සමග ඉතාම අඩු වෛද්‍යාධාර මෙවලම් හා අවම අධීක්ෂණයක් යටතේ රෝහලින් බාහිර වූ පරිසරය සමග මුහු වීමට මචාඩෝ හා එලියානා හට හැකියාව ලැබිම ද මීට තවත් හේතුවකි. එලෙස යාමට ලැබුණු සංචාර අතරින් මචාඩෝගේ හා එලියානාගේ මතක ගබඩාවේ සුවිශේෂීම මතකයක් සනිටුහන් කිරීමට හැකිවූයේ වයස අවුරුදු තිස්දෙකේදී මුහුදු වෙරළට ගිය ගමනයි. ජීවිතයේ පළමු වරට ඔවුන් දෙදෙනා හැබැහින් මුහුදු වෙරළක් දැකගත් ඒ දිනය ඔවුන්ගේ ජීවිතවල කිසිදා අමතක නොවන සන්ධිස්ථානයකි. එතෙක් කලක්, ‍පොත්පත්වලින් දැක කියවා, කතාන්දරවලින් පමණක් අසා තිබුණු මුහුදු වෙරළක සැබෑ චමත්කාරය විඳගනිමින් මුහුදු සුළඟ ආශ්වාස කරමින්, ශීතල මුහුදු ජලයේ සිසිල විඳ ගැනීමට ලද ඒ විරල අවස්ථාව ජීවිතයේ එබඳු වරප්‍රසාදයක් නොගිනිය හැකිතරම් සුළු කොට තකන අපට කෙසේ වතුදු රෝහල් කාමරයෙන් පිටත වූ ලෝකයකට කිසිදා පය නොතබා ඇති මචාඩෝ හා එලියානාට නම් මිල කළ නොහැකි, විඳ නිම කළ නොහැකි අත්දැකීමක් වූවාට සැක නැත. ඒ පිළිබඳව යළි යළිත් සිහිපත්කොට සිතින් වින්දනය කිරීමට ඔවුන් එතරම් ප්‍රිය කරන්නේ එනිසාය. රෝහ‍ලේ ගෙවන කාලය එලියානා මිඩංගු කරනුයේ ‍ලේඛනයට හා චිත්‍ර ඇඳීමටය. ප්‍රකාශයට පත් කරනු ලැබූ කෘති කීපයකම සාඩම්බර හිමිකාරිනියක වන එලියානා සිය මුවේ රඳවාගත් පින්සලක් ආධාරයෙන් චිත්‍ර ඇඳීමටද හපනියකි. රෝහල් කාමරයේ ඇය වෙසෙන කොටස මුළුමනින්ම සරසා ඇත්තේ ඇය විසින් ඇඳි චිත්‍ර හා ඇය ඉතා ප්‍රිය කරන බෝනික්කන් හා ‍පොත්වලිනි. දැඩි සිනමා ලෝලියෙකු වන මචාඩෝගේ සයනය වටා වන බිත්ති පුරා අලවන ලද චිත්‍රපටවල ‍පෝස්ටර්වලට අමතරව දක්ෂ පරිගණක සජීවීකරණ ශිල්පියෙකු වන ඔහු සතුව ප්‍රබල පරිගණක දෙකක් ද වේ. එලියානා විසින් රචිත කෘතියක් ඇසුරෙන් මචාඩෝ විසින් නිර්මාණය කරන ලද ත්‍රිමාණ සජීවීකරණ චිත්‍රපට මාලාවක් වන The Adventures of Leca & her Friends හි නිර්මාණ කටයුතු සඳහා අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන ලබා ගැනීමට අන්තර්ජාලය ඔස්සේ ඔහු විසින් අරඹන ලද ව්‍යාපෘතිය විසින් ඉලක්ක කළ ඇ. ඩොලර් හැටපන්දහසක මුදල පසුගිය මැයි මාසය වන විට සම්පූර්ණ කර ගැනීමට මචාඩෝට හැකි වී තිබේ. මේ නිසා චිත්‍රපට අධ්‍යක්ෂවරයෙකු වීමට මචාඩෝ දුටු සිහිනය ළඟදීම සැබෑ කර ගැනීමට ඔහුට වරම් ලැබෙනු ඇත. මචාඩෝගේ හෙද නිලධාරිනිය වන මාෂියා ෆිසෙටෝ උතුරා හැලෙන ප්‍රීතියෙන් යුතුව කියා සිටින ආකාරයට, ‍පෝලියෝ රෝගී බිලිඳෙකු ලෙස ජීවිතය ඇරඹූ මචාඩෝ මෙන්ම එලියානා ද අද වන විට පැමිණ ඇති දුර පිළිබඳව වරප්‍රසාද ලත් ජීවිත ලැබූ අප කවුරුත් පුදුම විය යුතු නොවන්නේද? රුක්ලන්ති පෙරේරා උපුටා ගැනීම ලක්බිම පුවත් පත

Share This Article