Biz Log
Classifields
Biz Log
Classifields

අම්මලාට වරදින තැන්...

අම්මලාට වරදින තැන්...

ලේවහනය නැවැත්වීමට අත් බෙහෙත් කිරීම නුසුදුසුයි. එවැනි දෙයක් ආලේප කළ විට මැහුම් දැමීම කළ නොහැකියි. එයින් සිදු වන්නේ තුවාලය සුව වීමට වැඩි කාලයක් ගත වීමයි. මවුපියන්ගේ ආදරය, රැකවරණය අසීමිතව ලැබුණත් අපේ රටේ දරුවන් මේ තරමට හදිසි අනතුරුවලට ලක්වන්නේ ඇයි? දිනපතා ආරෝග්‍යශාලා වෙත එන රෝගීන් දෙස බැලීමෙන් මාධ්‍යවලින් වාර්තා වන අනතුරු දෙස බැලීමේදීත් බොහෝ දෙ‍නකුගේ අවධානයට යොමු වන බරපතළ ප්‍රශ්නයකි ඒ. ඊට පිළිතුර අතපසුවීම්. ඇස් දෙක වගේ දරුවන් රැක බලා ගත්තත්, බොහෝ විට මවුපියන් ඒ අනතුරුවලට වගකිව යුතු වන්නේ ඔවුන් අතින් සිදුවෙන, සුළුවෙන් සිතා බැහැර කරන, එහෙත් භයානක විපත් ඇති කළ හැකි අතපසුවීම් නිසයි. 

අවධානයට ලක් නොවුණත් ඕනෑම නිවෙසක, ගෙවත්තක දරුවකු අනතුරට ලක් විය හැකි සාධක බොහෝ තිබිය හැකියි. අනාරක්ෂිත ළිඳක්, ජලය පිරුණු වළක්, උදාහරණ ලෙස දැක්විය හැකියි. මවුවරුන්ගේ සුළු අත්වැරදීමක් නිසා ළිඳකට වැටී මියගිය වයස අවුරුදු එකහමාරක දරුවකුගේ ශෝකජනක කතාව, පොරවනය ගෙලවටා එතී මියගිය මාස තුනක සිඟිත්තියකගේ කතාව මීට සති කිහිපයකට පෙර අප කම්පනයට පත් කළ සිදුවීම් දෙකක්. එවැනි අනතුරු නිසා රටට අහිමිවන, එසේත් නැතිනම් ජීවිත කාලයම ආබාධිත වන දරුවන් අපේ රටේ ඉතාම සුලබයි. අනතුරකින් වළකින්නට නම් පෙර සූදානම, එනම් ඒ සඳහා අවම වශයෙන් බාධක ‍තුනක් හෝ යෙදීම අත්‍යවශ්‍ය බව මෙතෙක් කරන ලද අධ්‍යයනවලින් පැහැදිලි වී තිබෙනවා. අනාරක්ෂිත ළිඳක් වටා වැටක් ගැසීමෙන් දරුවා ඊට වැටීමෙන් වළක්වා ගත හැකි බව බොහෝ දෙනකුගේ විශ්වාසයයි. වැට නිසා දරුවා ආරක්ෂිත බව තහවුරු කර ගන්නා සමහර වැඩිහිටියෝ එතැනින් ඔබ්බට සිදුවිය හැකි අනතුර ගැන නොසිතති. දරුවා මේ වැටෙන් පනියිද? රිංගා යයි ද? වැට ඉනි ගලවාගෙන ළිඳට සමීපවේද? කුඩා දරුවාට ඒ තරමින් හපන්කමක් කළ නොහැකි යැයි සිතුවත් එසේ කිරීමේ හැකියාව සියයට 90කටත් වඩා වැඩියි. සරලව කියනවා නම් ළිඳක් වටා වැටක් ගැසූ පමණින් දරුවා ළිඳට වැටීමෙන් විය හැකි අනතුරෙන් මිදුණා සේ සැලකිය නොහැකියි. එවැනි අනතුරකින් දරුවා ආරක්ෂා කර ගත හැකි පහසුම මඟ කුමක්ද? දරුවා සමීපයේ ම රැඳී සිටීම දහසකුත් එකක් වැඩ හමුවේ මවකට කිසිසේත් කළ නොහැකි දෙයක්. ඇය දරුවාගේ ආරක්ෂාව තහවුරු කරන්නට නම් කළ යුතු වන්නේ දරුවා වෙසෙන පරිසරය ගැන මනා අවබෝධයකින් යුතු වීමයි. අනාරක්ෂිත ළි‍ඳෙන් ආරක්ෂා කරගැනීමේ පළමු පියවර එයයි. මුලින්ම දරුවා සිටින කාමරය ගැන ඇය හොඳ අධ්‍යයනයක් කළ යුතුයි. දරුවාගේ ඇස ගැටෙන මානයේ, අත පෙවිය හැකි ආකාරයේ විදුලි පරිපථ ඇත්නම් ඒවා ආවරණය කිරීම, දරුවාට සමීප විය හැකි, අනාරක්ෂිතව මේස හෝ පුටු උඩ තබා ඇති ගෘහ උපකරණ ඉවත් කිරීම අත්‍යවශ්‍යයි. නැතහොත් ආරක්ෂාව පතා කාමරයට කොටු කරන දරුවා විපතක් කරගත හැකියි. කාමරය තුළ ආරක්ෂාව තහවුරු කළ පසු දරුවාට ඉන් පහසුවෙන් පිට විය නොහැකි සේ කුඩා වැටක් සවි කළ යුතුයි. ඔබ මේ ක්‍රියාත්මක කළේ දරුවාට අනාරක්ෂිත ළිඳකින් විය හැකි අනතුර වැළැක්වීමේ පළමු පියවරයි. දෙවැනි පියවර කුමක්ද? කාමරයේ වැටෙන් රිංගා එළියට එන දරුවා ඉන්පසු යා හැකි ප්‍රධානතම තැන ප්‍රධාන දොරයි. ඉන් පිටවන ඔහු කවර තැනකට යා හැකි දැයි නිශ්චය කළ නොහැකියි. ඒ නිසා ප්‍රධාන උළුවස්ස ද වැටකින් ආවරණය කළ යුතුයි. යම් හෙයකින් දරුවා ඒ කඩඉම ද පැනගත්තේ නම් අනතුර වළක්වා ගැනීමේ ඊළඟ බාධකය ළිඳ වටා ද ශක්තිමත් වැටක් සවිකිරීමයි. මේ බාධක තුනම නිසියාකාරව ක්‍රියාත්මක කළේ නම් දරුවා ළිඳට වැටීමේ අවදානමෙන් සියයට 80ක් මිදී ඇති බවට ඔබට සෑහීමට පත්විය හැකියි. 

දරුවන් ආරක්ෂා කර ගන්නට මෙවැනි සරල උපක්‍රම තිබියදීත් ඔවුන් අනතුරට වැටෙන්නේ විශේෂයෙන් මවුපියන් දුර දිග නොබැලීම හේතුවෙන්. “මීට කලින් දරුවො දෙන්නෙක් උස්මහත් කළා. දෙයියන්ගෙ පිහිටෙන් මේ ළි‍‍ෙඳන් කාටවත් කරදරයක් වුණේ නෑ.” “දරුවාට අවුරුදු තුනක් ගෙවිල ගියා. අපිට හොරෙන් ළිඳ ළඟට නොගිය දරුවා දැන් එතැනට යන එකක් නෑ.” එසේ සිතමින් තමන්ගේ හිත රවටා ගන්නා වැඩිහිටියන්ට සත්‍ය අවබෝධ වන්නේ තත්පර කිහිපයකින් මහා විනාශයක් වීමෙන් පසුවයි. සත්‍ය තොරතුරු ඉදිරිපත් නොවීම නිසා සංඛ්‍යාත්මකව ඔප්පු කළ නොහැකි වුණත්, වැටීම්, තැලීම් හා අතපය බිඳීම් නිසා රෝහල්ගත වන දරුවන් ගේ ප්‍රමාණය ඉහළ යාමට ප්‍රධානතම හේතුව රිය අනතුරු. අපේ රට හා සාපේක්ෂව බලන කල ඇමෙරිකාව වැනි රටවල දරුවන් රිය අනතුරුවලට ගොදුරු වන්නේ ඉතාම අවම මට්ටමින්. ඊට ප්‍රධානතම හේතුව ඒ අනතුරු වැළැක්වීමට ඇති බාධක. පාසල් බස් රථයකින් දරුවන් බැස යන අවස්ථාවක පසුපසින් එන කිසිදු වාහනයකට ඊට ඉස්සර කළ නොහැකියි. විනාඩි පහක් හෝ දහයක් වැනි කාලයක් ගෙවුණ ද දරුවන් ආරක්ෂිතව බසයෙන් බැස යන තුරු පිටුපසින් එන වාහනවලට ඉවසීමෙන් බලා සිටින්නට සිදු වෙනවා. සියයට සියයක් නීතිය පිළිපදින නිසාත් නීතිය අකුරට ක්‍රියාත්මක වන නිසාත් ඒ බාධක දරුවන් ගේ ආරක්ෂාවට බොහෝ ප්‍රයෝජනවත්. එහෙත් අපේ රටේ එවැනි නීති නැත. බොහෝ රියදුරන් දරුවන් ගේ ජීවිත බිලිගන්නේ කලබලකාරී මානසිකත්වය හා නොසැලකිලිමත් බව නිසයි. ඒ නිසා මවුපියන්ට දරුවන් ගැන වැඩි සැලකිල්ලක් යොමු කිරීමට සිදු වෙනවා. 

කුඩා දරුවෙකු වඩාගෙන දිය නාන්නට ජලාශයකට බසින තාත්තා ගැන මවකට දැනෙන්නේ බොහොම ආරක්ෂාකාරී හැඟීමක්. ‘දරුවා ඉන්නේ තාත්ත අතේනේ, බය වෙන්නේ මොනවට ද?’ වැඩි දෙනෙක් හිතන්නේ එලෙසින්. ඒත් එතැන දරුවාට අනතුරක් නැති බවට සහතික විය හැකිද? යම් හෙයකින් දිය මත දී පියා ගේ පාදයක් ආබාධයකට ලක්වුණේ නම්, කෙණ්ඩ පෙරළීමක් හෝ හදිසි රෝගාබාධයක් ඇති වුණේ නම් ඔහු අත සිටින දරුවාට කුමක් සිදුවේද? ඒ අනතුර වළකා ගැනීමට බාධක නොවුණේ නම් පියාට මෙන් ම දරුවාට ද වන විපත භයානකයි. දරුවා ජීවිතාරක්ෂක ටියුබුයක් තුළ සිටීම ඊට හොඳම විසැඳුමයි. දියට බැස සිටින අය පිළිබඳ දැනුම් තේරුම් ඇති අයකු ගේ දැඩි අවධානය මෙහිදී අත්‍යවශ්‍යයයි. මොනතරම් දැනුම්වත් කළත් දියේ ගිලීමෙන් දරුවන් අනතුරුවලට ගොදුරු වන්නේ නම් බාධක පිළිබඳ සංකල්පය නැති නිසයි. 

දඟකාරකම් කරන, දුව පැන සෙල්ලම් කරන දරුවෙකු වැටීම්, තැළීම්, කැපීම් හා තුවාල සිදු කර ගැනීම වැළැක්වීම අසීරුයි. එවැනි අවස්ථාවක හෝ වෙනයම් හදිසි අනතුරක දී වන රුධිරය වහනය වන තුවාලයක් දුටු සැණින් වැඩිහිටියන් ගේ අවධානය යොමු වන්නේ අත්බෙහෙත්වලට. කෝපි කුඩු, කහ කුඩු එසේත් නැතිනම් විවිධ පැළෑටිවල යුෂ ආදිය තුවාලය සිදු වූ තැන ඇතිරීමෙන් පසුවයි ඔවුන් වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු වන්නේ. එහෙත් තුවාල ලත් ඔබගේ දරුවා වෛද්‍යවරයකු වෙත ගෙන යනතුරු කළ යුතු එකම ප්‍රතිකාරය වන්නේ දරුවා සුව පහසු ලෙස තබා රුධිරය වහනය වන තුවාලය පිරිසුදු රෙදි කැබැල්ලකින් හෝ ගෝස් කැබැල්ලකින් තද කර තැබීම පමණයි. පිරිසුදු පුළුන් පවා ඊට නුසුදුසුයි. ලේ වහනය නැවතීමට සිතා අත් බෙහෙත් කිරීම සුදුසු නොවන්නේ එවැනි දෙයක් ආලේප කිරීමෙන් පසු තුවාලයට කිසි ලෙසකින් හෝ මැහුම් දැමීමක් සිදු නොකරන නිසයි. වෛද්‍ය විද්‍යාත්මක පදනම එයයි. මැහුම් නොදැමූ තුවාලය සුව වීමට ගතවන කාලය ඔබ සිතුවාට වඩා දීර්ඝ විය හැකියි. ඔබගේ දරුවා තියුණු ආයුධයකින් අත කපා ගත්තා යැයි සිතන්න. ලේ වහනය වළක්වනු පිණිස තුවාලයට ඉහළින් අත රෙදිපටියකින් ගැට ගැසීමට ඔබ අවට සිටින්නන් අවවාද කළ හැකියි. ගලා යන රුධිරයට බියවන ඔබ ද ඒ අවවාද පිළිගත හැකියි. එහෙත් එයද කිසිසේත් ම නුසුදුසු ක්‍රියාවක් වන්නේ එමඟින් තවත් අතුරුවිපාක සිදුවිය හැකි නිසයි. කැපීමක දී වැටීමක දී තුවාලයකින් වහනය වන රුධිරය ස්වභාවිකවම කැටි ගැසෙනවා. එහෙත් වෛද්‍ය උපදේශයකින් තොරව, හිතුමතයේ එසේ කරන්නට යාමෙන් වැළකී සිටිය යුතුයි. 

සෙම්ප්‍රතිශ්‍යාවට, කැස්සට ප්‍රතිකර්ම ලෙස සමහර වැඩිහිටියන් තමන්ගේ දරුවන්ට හුමාලය ඇල්ලීම සුලබ සිදුවීමක්. එසේ හුමාලය ඇල්ලීම නිසා එම රෝගී තත්ත්වයන් සුව වන බවට හෝ සුවවීම ඉක්මන්වන බවට හෝ මෙතෙක් වෛද්‍ය විද්‍යාත්මකව සොයා ගෙන නැහැ. සිදුවන්නේ දරුවාට යම් සහනයක් ලැබීම පමණයි. එහෙත් ඒ ක්‍රියාව වඩාත් බරපතළ වන්නේ දුම් දමන භාජනයකින් දරුවාට සිදුවිය හැකි අනතුර වඩාත් බලවත් නිසයි. එවැනි උණුවතුර පිරි බඳුන්වලට වැටී මුහුණ පමණක් නොව මුළු සිරුරම පිච්චී ගිය රෝගීන් ළමා රෝහලට නම් සුලබ දසුනක්. උණු හුමාලය නිසා ඇස්වලට හානි කරගත් දරුවන් ද ඕනෑ තරම්. අනතුරකට ලක් වූ දරුවෙකු රෝහල් ගත කිරීමට පෙර උපකාරයට එන අය නිසා වන ඇතැම් ක්‍රියාකාරකම් හේතුවෙන් ද දරුවාට බරපතළ තත්ත්වයකට මුහුණ දීමට සිදුවිය හැකියි. විශේෂයෙන් රිය අනතුරකදී සිරවී සිටින අය එළියට ගැනීමේදී අනතුරේදී සිදුවූවාටත් වඩා බරපතළ හානියක් සිදුවිය හැකියි. ඒ නිසා අනතුරක් දුටු සැණින් උදව්වට ඉදිරිපත් වන අය ඒ පිළිබඳව වඩාත් සැලකිලිමත් විය යුතුයි. විශේෂයෙන් අනුන්ගේ විපතක දී උණුවන හදවත් ඇති මිනිසුන් බහුල අපේ රටේ මහ මඟ නිතර එහා මෙහා යන ත්‍රිවිල් රියදුරන් වැනි අයට ඒ පිළිබඳව යම් පුහුණුවක් ලබාදීම ද කාලීන අවශ්‍යතාවක්. විපතේ දී මුදල් නොබලා උපකාරයට එන ඔවුන්ට අනතුරකට ලක් වූවන් බේරා ගන්නා සැටි පිළිබඳව සරල පුහුණුවක් ලබාදීම ද රිය අනතුරුවලට ගොදුරු වන අය තව තවත් හානියට පත්වීම වළක්වා ගැනීමට හේතු වනවා. කවර හෝ අනතුරක්, රෝගයක් නිසා රෝහල් ගතකරන දරුවකුට ප්‍රතිකාර කරන්නට වෛද්‍යවරුන් කැප වී සිටිනවා. එහෙත් දරුවා රෝහල්ගත කොට දින දෙකක් ඉක්ම ගියත් තවම දුන්නේ වේදනා නාශක පෙති පමණක් බව පවසමින් ඇතැම්විට සමහර මවුපියන් මැසිවිලි නඟනවා. බලාපොරොත්තු සුන් වූ තත්ත්වයට පත්වෙනවා. මෙහිදී ඔබගේ අවධානයට යොමු විය යුතු වැදගත් කරුණක් තිබෙනවා. වෛද්‍යවරයෙකු ප්‍රතිකාර නියම කරන්නේ රෝගියාගේ ‍රෝගී තත්ත්වය අනුවයි. රෝහල්ගතව සිටින දරුවාගේ තත්ත්වය ගැන වෛද්‍යවරයා නිරන්තරයෙන් විමසීමට ලක් කරනවා. කවර හේතුවක් නිසා හෝ අනවශ්‍ය ලෙස ඖෂධ ලබාදීම් නොකරන අතර අවශ්‍ය වූ වහාම ඖෂධ ලබා දීමට ද ඔවුන් ඇප කැප වී සිටිනවා. ඔබ යම් රෝගයකට වෛද්‍ය මධ්‍යස්ථානයකින් ප්‍රතිකාර ගන්නා අවස්ථාවක වෛද්‍යවරයා ඖෂධ කිහිපයක් නියම කරන්නේ ඔබ තවත් පැය හයකින්, එසේත් නැතිනම් දිනකින් එහි නොපැමිණෙන නිසාත් නිවසට ගිය පසු රෝගී තත්ත්වයේ යම් වෙනසක් සිදුවිය හැකි නිසාත්. මේ නිසා රෝහල් ගතවීමෙන් කරන ප්‍රතිකාරත්, බාහිර ප්‍රතිකාර ගෙන පිටවී යාමේදී ලබා ගන්නා ප්‍රතිකාර ක්‍රමත් ගැන කලබල නොවිය යුතුයි. ඒ කලබලකාරී බව ද රෝගී තත්ත්වයට අහිතකර බලපෑමක් ඇති කළ හැකියි. 

රමණී සුබසිංහ

උපුටා ගැනීම සිළුමිණ

Share This Article