ආදරය වනාහි ගැහැනියකට
ඇය ආදරය හමුවේ විටෙක තැති ගත් මුව පොව්වෙකු වැනිය. විටෙක දිගු අහසේ සැරිසරන රාජාලියෙකු වැනි තියුණු ඇස් ඇත්තීය. විටෙක තණ උලා කමින් රිසි සේ දුව පැන යන සෞමය සා පැටවෙකු වැනිය. විටෙක තම ගොදුර ඩැහැගන්නට පැමිණි ප්‍රතිවාදියෙකු හා හරි හරියට සටන් කල හැකි වියරු වැටුණු සිංහයෙකු වැනිය. ආදරණීය සිත්තමෙහි සොඳුරු පදවැල් ගොතන්නී ඇයයි. ඇයට මුළු ජිවිතයම ඔහුයි. ඒ ගැහැණියයි. ගැහැණියක් තම ආදරයට තරම් පුජනීයත්වයෙහි ලා වැදුම් පිදුම් කරන අන් කවර දෙයක්වත් නොමැත්තේය. ඇයට ඒ සා විශාල වූ වස්තුවක්ද නොමැත්තේමැයි. විඩාබර පිරිමෙයෙකුට තමා ආදරය කරන ගැහැණියගේ සිනා පොද මුඩු බිමට බට වැස්සක් වැන්නේය. ඒ ඇය ඔහුගේ දිවියේ ආලෝකය වන බැවිනි. පුරුෂයා නිතැතින්ම ගොරහැඩි තද හිත් ඇති තැනැත්තෙකි. එහෙත් ඒ හඳ ගැබ තුළ ඇති සෞමයත්වය දැක ගත හැක්කේ ඒ හඳවතට කිඳා බැසගත් ස්ත්‍රියකටයි. හැඩයක් නැති කළු ගල් නෙලා ඔප දමා මටසිළුටු කරන්නා සේ ස්ත්‍රියකටත් අපිළිවෙල ගොරහැඩි පුරුෂයාගේ ජීවිතය හැඩ දමා ඔප දමා ලස්සන කල හැකිය. ඒ ඇයගේ නිර්මල පාරිශුද්ධ ආදරයෙනි. ගැහැණියකට ආදරය ආයිත්තමකි. ඇය තම ආයිත්තම් ඔප දමා පිරිසිඳු කරන්නේ කෙසේද?, ආරක්ෂා කරන්නේ කෙසේද?, ඒ අයුරින්ම ඇය ඔහුගේ ජීවිතයත්, තමාගේ ජීවිතයත්, ඒ හා බැදුණු නිර්මල ආදරයත් ආරක්ෂා කරන්නේය. ගැහැණියකට රිදවිය හැකි ප්‍රධානතම දුර්වල ස්ථානය ඇයගේ ආදරයයි. ගැහැණිය උපතින්ම ඉවසීම උරුම කරගෙන පැමිණි තැනැත්තියක් වේ. ඇය යම් නොඉවසුව මනා දෙයක් නොඉවසිය යුතු ප්‍රමාණයට වඩා ඉවසන්නේද, ඒ ඇයගේ නිර්මල ආදරය හා බැඳුනු දෙයක් විය යුතුමැයි. ඇයගෙන් කිසිදෙයක් බලෙන් ලබා ගත නොහැකි වූවද, ආදරය හමුවේදී ඇයට දිය නොහැක්කක්, පුජා කල නොහැක්කක් නැත. ඒ ඇයගේ හැටිය. ඇය පිරිමියාට සාපේක්ෂව බොහෝමනක් ලෝභකම් කරන්නී, ඒ අතුරින් ඇය වඩාත් ලෝභකම් පාන්නී ඇයගේ ආදරය වේ. ජීවිතය මේ සා විශාල ගැඹුරු අරුත් සුන් දෑ අතුරින් ඇයට අරුත් ඇති වටිනා නිධානය වන්නේ ඇයගේ ආදරයයි. ඇය තමා ආදරය කරන පිරිමියාගේ නොඉවසන්නේ එක් දෙයක් පමණි. වෙනත් කාන්තාවක් දෙස බලා සිටියාට ඇයට රිදෙන්නේ නැත. නමුත් ඇය හා සංසන්දනය තරම් ඇයට රිදුම් දෙන්නක් තවත් නැත. ඇය තම ආදරය වෙනුවෙන් මේ සා ඉවසන්නී, එය ඇයගේ ජීවිතය බැවිනි.
කඳුළු සඟවා සිනාසෙන්නට උපන් හපන්කම් ඇති ඇය තම ආදරය කරන පිරිමියා වෙනුවෙන් උපන් කඳුලක් ගැන වදවෙන තරම් අන් කවර දෙයක් නැත. එහෙත් ඇය ඔහු ඉදිරියේ එය සගවන්නේ ඇයගේ නෙතගේ නැගුන කදුල තම ආදරයට බොහෝ බරක් වන බව දන්නා හෙයිනි. ඒ කඳුලට ඇය ගොඩාක් ආදරෙයි. ඒ ඇයගේ හදවතත් සමඟ ගනුදෙනු වුනු කදුලක් බැවිනි. නිතැතින්ම බොළඳ හිත් උරුමකම් කියන ඇය, කරන කියන දෑ සමාජයට බොළඳයැයි පෙනුනත් ඒ සියල්ලක්ම ඇයගේ හදවත, ආදරය ඉදිරියේ මහාර්ඝයන් වේ. කඳුළු උල්පත් වැනි ඇගේ දෙනෙත් ගැන හඳුනන්නේ ඇයගේ හදවතම පමණි. හදින් ඉකි බිඳින්නට සමත් ඇයගේ හදවතෙහි ගැඹුර ගැන දන්නී ඇයම පමණි. හඳවතින් බොහෝ තනිවුනු ගැහැණුන් ගොඩාක් දොඩමළු වන්නේ තම ආදරයත් සමඟයි. ඔහුට එය කන්දොස්කිරියාවක් වන තරමටම ඇය තොරතෝංචියක් නැතිව කියවයි. එසේ ඇය කතා කරන්නේ ඇයගේ හුදකලා බවට ඇය බොහෝ සෙයින් අකමැති බැවින් විනා ඔහුට ගතු කීමට නොවේ. ආදරය හමුවේ ගැහැණියක් වඩාත් බිය වන්නේ ඔහුගේ නිහඬ බවටයි. මොහොතකින් හෝ ඈත් වේ දැයි ඇය බොහෝ බිය වෙයි. ඇයට ඇයගේ කුසගින්නට වඩා ඔහුගේ කුසගින්න දැනේ. ඇයගේ විඩාවට වඩා ඔහුගේ විඩාව දැනේ. ඔහුගේ අසනිපකම් ඇයගේ අසනීපකම් බවට පත් වේ. ඒ ඇය ඔහු හා හදවතින් බැදී ඇති බැවිනි. ඇයගේ ආදරය ඇයගේ ආත්මය හා බැඳි ඇති බැවිනි. ගැහැණියක් පිරිමියාට සාපේක්ෂව සමාජය හා හරි හරියට නොගැටුනත්, බොහෝ දෑ ගැන ඇසු පිරූ කන් නැති වූවත් ඇය තම ආදරය ඉදිරියේ විශාරදයෙකු, මහා පණ්ඩිතයෙකු වැනිය. ගැහැණියක් තම ආදරය කරන පිරිමියාගේ රළු හදවතට සෞමය පිණි බිඳු ඉසින්නේ, හද එළියක් වන්නේ ඔහුගේ දිවියට අර්ථයක් එක් කරන්නයි. විටෙක සැර වෙමින්, විටෙක දුක් වෙමින්, විටෙක ආදරණීය වෙමින්, විටෙක මවක් මෙන්, විටෙක දියණියක මෙන්, විටෙක සහෝදරියක් අතිජාත මිත්‍රයෙක් මෙන් ඔහුට ගුරු හරුකම් දෙමින් ආදරය වෙමින් ලගින් හිඳින්නේ ඇයගේ හදවතින්ම ඔහු ඉහල තැනක හිඳිනු දැකීමට ආශා හිත් ඇති බැවිනි. සමාජය ඉදිරියේ ඔහු කවරෙක්ද? කුමක් කරන්නේද? යන්න ඇයට අදාළ නැත. එය ඇයට වැදගත්ද නැත. සමාජය ඔහුව දකින ඇසින් ඇය ඔහුව නොදකී. ඔහු තුළ සඟව ඇති සත්‍ය ඇය හදුනන්නේ ආදරය තුළින් විනා ආදරයෙන් අන්ධ වි නොවේ. ඔහු සමාජය ඉදිරියේ වසා ගෙන සිටින ජීවිතය හදුනා ගන්නට ඇයට හැකිය. ඒ ඇයයි. ආදරය වනාහී ගැහැණියකට ජීවිතය වන්නේ අන්න ඒ නිසාය. ඇය හිරිපොද වැස්සට මෙතරම් ලෙන්ගතු වන්නේ ඇයට ඇයගේ ආදරය මහා ඝන අකුණු සැර වදින අනෝරා වරුසාවක වූවද සිරිපොද වැස්සක් සේ එය බිඳිය හැකි බැවිනි. ඇය ඔහුට අර්ථකතන දෙන්නට යන්නේ නැත. නමුත් ඔහුගේ නිහඩ බවට, හුදකලාවට, ගොරහැඩි රස්තියාදුවට බෙහෙවින් ඇළුම් කරයි. මෙය හුදු ස්ත්‍රී වර්ගයාගේ සැබෑ ආදරය ගැනයි. ඇයගේ නිර්මල ආදරය ගැනයි.
නෙත්මි