තවත් දරුවකු ලැබුණු පසු වැඩිමහල් දරුවාට ඇති අවධානය අඩු කරන්න එපා
හර්ෂිනී වයස අවුරුදු හතරක පෙර පාසල් යන දියණියකි. ඇය දගකාර දැරියක් නොවේ. ඉතා නිහඬ දැරියකි. නමුත් පසුව කාටත් නොදැනෙන ලෙස තමන්ට වඩා කුඩා දරුවන්ව කෙනිත්තුවාය. සැපුවාය. ඒ නිසාම අනෙක් දරුවන් ඇයව ප‍්‍රිය කළේ නැත. මේ පිළිබඳව ඒ දෙමවුපියන්ගෙන් විමසීමේදී ඔවුන් පැවැසුවේ නිවසේදී ද ඇය ඉතා මුරණ්ඩු බවත් ඉල්ලන දේ නොදෙන විට බඩු පොළොවේ ගසමින් හඬන බවත්ය. මේ හේතුව මත ඇය තමන්ගෙන් ද නිතරම පහර කන බව ඒ මව පැවැසුවාය. ඊට හේතුව වූයේ අන් කිසිවක් නොවේ. හර්ෂිනී පමණක් සිටි අවධියේ මව නිතරම සිටියේ ඇය සමගිනි. හර්ෂිනීව නැහැවීම, කැවීම, කතන්දර කියාදීම ආදිය මව කිසිදු අඩුවක් නැතිව සිදු කළාය. දෙවන දියණිය ලැබුණු පසු ඇයට ඒ සඳහා ඇති කාලය සීමා සහිත විය. ඒ නිසා ඒ සියල්ල නිවසේ මෙහෙකාරියට භාර කළාය. නිවසේදී මව කුඩා දියණිය සමග සිටි නිසා හර්ෂිනීට තම නැගෙණියට හිරිහැර කළ හැකි වූයේ නැත. එම නිසා ඇය එම කේන්තිය පිට කළේ පෙර පාසලේ අනෙක් දරුවන් ගෙනි. දෙමාපියන් වෙතින් මෙසේ සිදුවන විට දරුවන්ට තම බාල සහෝදරයා / සහෝදරිය කෙරෙහි ආදරයක් ඇති වන්නේ නැත. සමහර විට මෙවැනි දරුවන් වියපත් වූ පසු ද තම සහෝදර සහෝදරියන් සමග සමගියෙන් සිටීමට අපහසු වීමට ඉඩ ඇත. මෙහිදී දෙමාපියන් විසින් වැඩිමල් දරුවා තුළ තම බාල සහෝදරයා / සහෝදරිය කෙරෙහි ආදරයක් ඇති වන ආකාරයට කටයුතු කළ යුතුය. ඒ සඳහා එතරම් වෙහෙස විය යුතු නොවේ. දරුවා සමග කරන කතාබහ තුළින්ම එය කළ හැකි වේ. "නංගි ලොකු වුණාම පුතා එයාටත් කවි, සිංදු කියලා දෙන්න. නංගි එක්ක සෙල්ලම් කරන්නත් පුළුවන්
" මෙවැනි වදන් තුළින් දරුවාට තම නැගෙණිය හෝ මල්ලී පිළිබඳව ආදරයක් ඇති කළ හැකිය. ඒ අතර තම බාල සහෝදරයා / සහෝදරිය රැක බලා ගැනීමේ වගකීම තමන් ද සතු වන බව දරුවාට අවබෝධ වේ. ඒ මගින් දරුවා තුළ යම් ආත්ම අභිමානයක් ද ඇති වේ. මීට අමතරව කුඩා දරුවාගේ වැඩ කටයුතු සඳහාද වැඩිමල් දරුවාගේ සහයෝගය ලබා ගත හැකිය. "නංගිගේ කොට්ටය ගෙනත් දෙන්න
" , "මල්ලිගේ ඇඳුම් නවන්න"
, "පුතා අම්මාට උදව් කරන්න
" ආදී වශයෙන් පවසා එම වැඩකටයුතු කළ හැකි වේ.
ඒ සමගම දරුවා විසින් කරනු ලබන දේ අගය කිරීමද අනිවාර්යයෙන්ම කළ යුතුය. මේ ආකාරයට දෙමාපිය අවධානය අඩු වීම නිසා සමහර දරුවන් මෙසේ කලහකාරී ලෙස හැසිරුන ද ක‍්‍රියාශීලී භාවය හීන වී ගොස් අලස ලෙස හැසිරෙන දරුවන් ද නැතිවා නොවේ. මේ සිද්ධිය ඊට උදාහරණයකි. පෙර පාසල් දරුවකු වූ පසිඳුට පෙර පාසල අවසන් වූ පසු දිවා සුරැකුම් මධ්‍යස්ථානයේ රැදෙන්නට සිදු වූයේ මව හා පියා දෙදෙනාම රැකියාවල නියුතු වූ නිසාය. නමුත් පසිඳුට එය ගැටලූවක් වූයේ නැත. ඉතා ක‍්‍රියාශීලී මෙන්ම කා සමගත් මිතුරුව සිටි පසිඳු පෙර පාසලේ දී මෙන්ම දිවා සුරැකුම් මධ්‍යස්ථානයේද කාලය ගත කළේ සතුටිනි. ඔහු උදෑසන පෙර පාසල වෙත පැමිණියේද, නැවත සවස නිවසට ගියේ ද තම පියා සමගය. මවගේ කාර්යාලය පිහිටියේ නිවස අසල නිසා පසිඳු නිවසින් පිටවන විට ද නැවත නිවසට පැමිණෙන විට ද මව සිටියේ නිවසේය. පසිඳුගේ මවට නැවත නිවුන් දරුවන් ලැබෙන විට පසිඳුට වයස අවු. 4 1/2ක් පමණ විය. මවට ප‍්‍රසූත නිවාඩු ලැබුණු කාල සීමාවේ පසිඳු දිවා සුරැකුමේ සිටියේ නැත. පසිඳු තම නැගෙණියට හා මල්ලීට ඉතා ආදරය කළේය. ඔවුන් පිළිබඳව පී‍්‍රතියෙන් කතා කළේය. නමුත් මව නැවත රැකියාවට යාමට ගත් පසු පෙර පරිදිම පසිඳුට දිවා සුරැකුමේ සිටීමට සිදු විය. ඉන්පසු පසිඳු ඉතා උදාසීන දරුවෙක් විය. නිතරම කල්පනා කිරීම, නියපොතු සැපීම, ක‍්‍රියාකාරකම්වලට ඇති අලස බව ඔහු තුළින් දැකගත හැකි ලක්ෂණ විය. ගුරුතුමිය පසිඳු සමග ආදරෙන් කතා කරන විට ඔහු පැවැසුවේ, "අම්මා නංගියි මල්ලියි එක්ක ගෙදර ඉන්නවා. මාවත් ගෙදර ගෙනියන්න කියන්න
" යනුවෙනි. මව රැකියාවට යන බවත් නංගි හා මල්ලී බලා ගන්නේ ආච්චි බවත් පසිඳුට කෙසේවත් අවබෝධ කර දීමට ගුරුතුමියට හැකිවූයේ නැත. ඒ බව දෙමාපියන්ට දැනුම් දුන් පසු ඊට විසඳුමක් ලෙස පසිඳුව උදෑසන පෙර පාසලට රැගෙන ඒම හා ආපසු නිවසට රැගෙන යාම මව විසින් කිරීමට තීරණය කළේය. ඉන්පසු පසිඳු පෙර පාසලට පැමිණියේ මව රැකියාවට යන විට ඇයත් සමගය. සවස ද කාර්යාලයෙන් දිවා සුරැකුමට පැමිණි මව විසින් පසිඳුව නිවසට රැගෙන ගියාය. එය ඇයට අපහසුවක් වුවද දරුවා වෙනුවෙන් එම කැප කිරීම කළාය. ටික කලක් යන විට තම මව රැුකියාවට යන බව දරුවා අවබෝධ කර ගත්තේය. ඉන්පසු ඔහු තුළ තිබූ අයහපත් හැසිරීම් රටාවන් පහව ගියේය. තවත් දරුවකු ලැබුණ විගසම වැඩිමල් දරුවා වියපත්, දැනුම් තේරුම් ඇති දරුවකු වන්නේ නැත. තම මාපියන්ගේ ආදරය දරුවා බලාපොරොත්තු වන්නේ පෙර පරිදිමය. තම බාල සහෝදරයා / සහෝදරිය නිසා මවට ඇති අවිවේකී භාවය වටහා ගැනීමට තරම් මුහුකුරා ගිය මනැසක් දරුවාට නැත. එම නිසා වැඩිමල් දරුවා සමගද ගත කිරීමට කාලය වෙන් කර ගැනීම ඉතාම අවශ්‍යය. එසේ නොමැති වුවහොත් දරුවා තුළ ඇති වන අයහපත් චර්යාවන් දරුවාගේ පෞරුෂ වර්ධනයට ද බාධා ඇති කරන බව දෙමාපියන් මනාව අවබෝධ කර ගත යුතුය.
උපුටා ගැනීම ලක්බිම