ලොවම කම්පා කළ ඡායාරූපයේ හිමිකාරිය තුර්කි මාධ්‍යවේදිනියක් - Nilufer demir
ජීවිතය තණ අග පිනි බිඳුවක් යැයි කියුවාට තණ අගින් පිනි බිඳුව ගිලිහී යන මොහොත කිසිවකුටත් කිව නොහැකියි.ජීවත් වන්නට උපන් ලොව නිදහසේ ජීවත් වන්නට නොහැකිවූ කල එයින් පලාගොස් නිදහසේ ජීවත් වන්නට තැතක් සොයා යන්න බොහෝදෙනා පෙලඹෙති. හෝරා කටුව කැරකෙන සෑම මොහොතකම හුස්ම පොද සිරුරෙන් ගිලිහී යාදෝ යැයි දෙගිඩියාවෙන් දිවි ගෙවන්නවුන්, ජීවත් වීම උදෙසාම එයින් පලායෑම අරුමයක් නොවේ. බියෙන් තැතිගත් භූමියෙන් පලාගොස් මරණය වැලඳගත් පිරිසක් පිළිබඳ පසුගියදා අසන්නට ලැබිණි. එයින් සංවේදීම සිදුවීම ලෙස වාර්තා වූයේ මුහුදු වෙරළ මත වැතිරහුන් පුංචි බිලිඳකුගේ ඡායාරූපයයි.
යමක් වූ සැණින් ඒ පිළිබඳ ක්‍රියාත්මක වීම අතහැර කැමරාව එල්ලාගෙන සිටින අයට දොස් පවරන අය සිටියද ඒ කැමරා කාචවල සටහන් වන දෑ නිසාම චින්තනය නව මානයකට කැන්දාගෙන යනු ඇත. බලලෝභීත්වයෙන් ගොඩනැඟුණු සමාජ ක්‍රමය තුළ මෙන්ම ඒ හා සමගාමීව ඇතිවුණු ම්ලේච්ඡ සටන්වලදී මෙන්ම එයින් පසුව පැනනැඟුණු අතුරු තත්ත්වයන්වලදීද දහස් ගණනක් වූ මිනිසුන් නිරපරාදේ තම ජීවිතයෙන් වන්දි ගෙවූහ. කිසිත් නොදැන මවු ඇකයට ගුළිවුණු දරුවෝද තම පාපතර වැඩිහිටියන්ගේ බලලෝභීත්වයට තම ජීවිතයෙන් වන්දි ගෙවා දැමූහ. අදටත් හිරෝෂිමාවේ විකෘති වූ දරුවන් උපදිනුයේ බලලෝභීත්වයක ප්‍රතිඵලයක් ලෙසය. අෑ ගැහැනියකි. එහෙත් ගැහැනුකම සඟවා කැමරා කාචය තුළින් ලොවට සත්‍යය හෙළිකරන්න යත්න දරනා ඇය තුර්කි ජාතික ඡායාරූප මාධ්‍යවේදිනියකි.
"මම මුහුදු වෙරළ දිගේ ඇවිදගෙන එනකොට පුංචි දරුවෙක් මුහුදු වෙරළේ වැතිරිලා ඉන්නවා දැක්කා. වෙලාව උදේ 6ට විතර ඇති. සමහර පුංචි දරුවෝ ආසාවටත් ඒ විදියට මුහුදු වෙරළේ වැතිරිලා ඉන්නවනේ. මේ පුංචි දරුවා ඇඳගෙන හිටියේ රතු පාට කමිසයක් සහ නිල් පාට කලිසමක්. කළු පාට සපත්තු දෙකකුත් දාගෙන හිටිය මේ දරුවා දැක්කම මට හිතුණේ එයා විනෝද චාරිකාවක් යන්න ලෑස්ති වෙලා හිටිය කෙනෙක් වගේ. එයා හුඟක් වෙලාවක් එකම විදියට මුනින් අතට වැතිරිලා හිටියා. එයා ජීවතුන් අතර ඉන්න බවක් පෙනුණේ නැහැ. ඒ වෙලාවෙ මම ඇත්තටම ගල් ගැහුණා. ඒ පුංචි දරුවා එයාගේ හුස්ම ගිලිහුණු මුහුණ මුහුදු වැල්ලෙ සඟවාගෙන හිටියේ. අඩුම තරමෙ එයාට මුහුදු වතුරේ පාවෙන්න පුළුවන් විදියට ආරක්‍ෂක කබායක්වත් තිබුණෙ නැහැ." ඒ කතාව කියන්නෙ නිලුෆර් ඩෙමිර්. මුනින් අතට වැතිරුණු පුංචි දරුවගේ රුව සටහන් වූයේ ඇගේ කැමරා කාචයේ. ඇය DHA ප්‍රවෘත්ති ඒජන්සියේ වාර්තාකාරිනියක්. නිලුෆර්ගේ කැමරා කාචයේ සටහන් වුණු පුංචි දරුවා අයිලාන් කුර්දි. "ඒක නිකම් මායාවක් වගේ. මම ඒ දරුවා දැක්ක වෙලේ හිතුණේ නැහැ එයා මැරිලා කියලා. ඒත් ටික වෙලාවකින් අපිට තේරුණා මේ විදියට වැතිරිලා තියෙන්නේ එයාගේ පණ සුන් සිරුර කියලා. අපි ඒ ගැන කම්පාවට පත්වුණා. එයාලට වතුරේ පාවෙවී ඉන්න පුළුවන් විදියට ඇඳුමක්වත් තිබ්බේ නැහැ. අයිලාන්ගේ සිරුර තිබුණ තැනින් මීටර් 100ක් විතර අෑතට වෙන්න එයාගේ අයියා ගාලිප්ගේ සිරුර වැතිරිලා තිබුණා. මේ කිසිම කෙනෙක් ළඟ ආරක්‍ෂක කබා තිබුණේ නැහැ." නිලුෆර් එහෙම කියනවා. අයිලාන් ඇවිත් තිබුණේ එයාගේ අම්මයි, තාත්තයි, අයියයි එක්ක ග්‍රීසියට යන්න. ඒත් ග්‍රීසියට යන්න කලින්ම මධ්‍යධරණී මුහුදෙදි එයාට අම්මයි, අයියයි එක්ක මරු තුරුලට යන්න වුණා. අන්තිමේදී ජීවතුන් අතර ඉතිරි වුණේ අයිලාන්ගේ තාත්තා විතරයි. "මේ ලෝකේ මට වෙන කිසි දෙයක් වැඩක් නැහැ. මම හීන මැව්ව හැමදේම විනාශ වෙලා ඉවරයි. මට ඕන වුණේ මම මැරෙන මොහොත වෙනකල්ම මගේ දරුවෝ දෙන්නා දෙපැත්තේ තියාගෙන කුරානය කියවන්න" දරුවාගේ පියා අබ්දුල්ලා කුර්දි මෙහෙම කියනවා. "මේ පිරිස සිරියාවෙන් ෆයිබර්වලින් තැනූ බෝට්ටුවකට ගොඩවෙලා තිබුණේ නිදහසේ ජීවත් වෙන්න පුළුවන් රටක් හොයාගෙන යන්න. දැන් අවුරුදු කිහිපයක ඉඳන් මැදපෙරදිග එතරම් සාමකාමී වාතාවරණයක් පැවැතුණේ නම් නැහැ. මැදපෙරදිග රටවල විවිධ ගැටලු නිසා නිරන්තරයෙන් එහි සාමකාමී බව බිඳවැටෙනවා. සිරියානු රජයට එරෙහිව විරෝධය පාන කැරලිකාර පිරිස් නිසා එරට නිතරම උණුසුම්. උපන් බිම වුවත් මරණය පෙනි පෙනී ජීවත් විය නොහැකි නිසාම බොහෝ සිරියානු වැසියන් යුරෝපා රටවලට සංක්‍රමණය වෙනවා. අබ්දුල්ලා පවුලේ සාමාජිකයෝ පුංචි බෝට්ටුවකට නැග්ගේ ග්‍රීසිය බලා යන්න. බෝට්ටුවේ බර හිතුවටත් වඩා වැඩි වුණේ එහි සැළකිය යුතු පිරිසක් ගමන් කළ නිසයි. මේ අය හිතුවේ පසුවෙන්ම සාගර දිය තරණය කරලා ග්‍රීසියට යන්න. ඒත් ජීවිතයේ සැනසුම සොයාගෙන යන මේ සරණාගතයෝ පිරිසට මුහුදු දිය ඒ තරම් කාරුණික වුණේ නැහැ. මුහුදේ ටික දුරක් ගමන් කරද්දි මුහුදු රළ හිතුවටත් වඩා චණ්ඩ ස්වභාවයක් ගත්තා. මේ චණ්ඩ රළ බෝට්ටුව පෙරළලා දැම්මේ එහි උන්න මිනිස්සු ටික හතර වටේට විසුරුවා දමමින්.
"වතුරට වැටුණු ගමන්ම මම මගේ බිරිය සහ දරුවෝ දෙන්නා ගැන හෙව්වා. ඒ තුන්දෙනා පේන්න හිටියේ නැහැ. විනාඩි විස්සක් විතර තිස්සේ මම වතුරේ පාවෙවී පාවෙවී හිටියා. ඔය අතරේ මුහුදු වතුරෙ ගිලිලා එකා පස්සෙ එකා මැරෙන විදිය මම මගේ ඇස් දෙකෙන්ම දක්කා." අබ්දුල්ලා එහෙම කියනවා. "මම ඇත්තටම වතුරට බයයි. අනික මම පීනන්න දන්නෙත් නැහැ" සිරියාවෙන් බෝට්ටුවට නඟින්න කලින් අබ්දුල්ලාගේ බිරිය එයාගේ නෑනට දුරකතන ඇමැතුමක් දීලා මේ විදියට කියලා තිබුණා. බෝට්ටුවෙන් ග්‍රීසියට යන්න කලින් බ්‍රිතාන්‍යයේ පුරවැසිකම අයැදුම් කරලා තිබුණේ එයාගේ සොහොයුරිය එහි රූපලාවණ්‍යාගාරයක් පවත්වාගෙන යන නිසා. ඒත් අබ්දුල්ලගේ අයැදුම් පත්‍රය නිවැරැදිව සම්පූර්ණ කරලා නැති නිසා එය ප්‍රතික්‍ෂේප වෙලා තිබුණා. අන්තිමේදී අබ්දුල්ලා එයාගේ පවුලෙ අයත් එක්ක අනවසරයෙන්ම මුහුදු මාර්ගයෙන් ග්‍රීසියට යන්න උත්සාහ කළා. ඒත් අන්තිමේදී අබ්දුල්ලාගේ ජීවිතය විතරක් ඉතිරි කරලා අනිත් හැමදෙනාම ජීවිතයෙන් සමුගත්තා. බොහෝ වෙබ් අඩවිවල වර්තා වෙන විදියට අයිලාන් ගසාගෙන ඇවිත් තිබුණේ ගල්පර තිබුණු මුහුදු වෙරළකට. ඒත් ඡායාරූපයේ සංවේදී බව වැඩි කරන්න ඕන නිසාම අයිලාන්ගේ මියැදුණු සිරුර තිබුණු තැනින් වෙනත් තැනකට ගෙනත් ඡායාරූපයකට නඟලා. ඒ කොහොම වුණත් අයිලාන්ගේ පණ සුන් සිරුරේ ඡායාරූපය දැකලා හුඟදෙනෙක්ගේ අවධානය ඒ කෙරෙහි යොමුවුණා. සිරියානු යුද්ධයේ ප්‍රතිවිපාකයක් විදියට අකාලයේ තමන්ගේ ජීවිතයෙන් සමුගත්ත එකම කෙනා අයිලාන් නොවුණට මුහුදු දියේ සටන් කරලා මරුවට පැරැදුණු අයිලාන්ගේ නිසල සිරුර ආයෙත් සරණාගත පිරිස්වල ගැටලුවට විසඳුම් හොයන්න ලෝකයාව පොලඹවනවා.
"මට කරන්න දෙයක් තිබුණේ නැහැ. මට හිතුණේ මේ පුංචි දරුවගේ නිහඬ ශරීරය ඡායාරූපගත කරන එක තමයි. ඒ දරුවගේ දුක ලෝකයට කියන්න පුළුවන් එකම විදිය කියලා" මෙහෙම කියන්නේ මුළු ලොවක්ම සංවේදී කරවූ ඡායාරූපයේ අයිතිකාරිය නිලුෆර් ඩෙමිර්. අයිලාන් වැල්ලේ වැතිරිලා ඉන්න විදියට පලස්තීනයේ මිනිස්සු වැලිවලින් ස්මාරකයක් හදලා. අයිලාන් වගේම ඇඳගත්ත හුඟක් දෙනෙක් වැල්ලේ අයිලාන් හිටිය විදියටම වැතිරිලා. අයිලාන්ට ගෞරව දක්වනවා. ඒත් මේ කිසිම දේකින් අයිලාන් ආයෙත් හිනා වෙන්නේ නැහැ. කාටුන් ශිල්පියෝ අයිලාන්ව චිත්‍රයට නඟනවා. ඒත් අයිලාන් කියන්නේ දැන් මේ ලෝකෙට අයිති කෙනෙක් නෙවේ. නමුත් ඔහු ඉතිහාසගත වීරයෙක් වන බව නම් ඒකාන්තයි.
සවනි ශේශාධි
මව්බිම