ගුණගරුක අයෙකුට පෙම්කලත් වසුන්දරා අන්තිමට තනිවුණා
මැද පෙරදිග ගෘහ සේවයට යනකොට වසුන්දරාගෙ වයස අවුරුදු විසිතුනයි. උසස් පෙළ අවසන් වුණාට පස්සේ වෙන කිසිම බාහිර සුදුසුකමක් නැතිව රැකියාවක් සොයා ගන්න බැරිවීම නිසයි වසුන්දරා මැදපෙරදිග යන්න තීරණය කළේ. හැරත් වසුන්දරාට පවුලේ බර කරට ගන්න සිදුවෙලා තිබුණා. ඒ තාත්තා ගහකින් වැටී කොඳු නාරටියට සිදු වූ හානිය මත හදිසියේ එක්තැන් වීම නිසයි. ඉතා උනන්දුවෙන් තම රැකියා කටයුතු කිරීම නිසා වසුන්දරාගේ හාම්පුතුත් වසුන්දරා ගැන පැහැදීමකින් හිටියෙ. මේ නිසාම වසුන්දරා එක දිගට අවුරුදු පහක් ඒ නිවසේ සේවය කළා. ඒ විතරක් නමෛයි නංගිව විවාහ කරලා දීලා මල්ලිටත් ඒ රටේම රැකියාවක් සොයා දීලා තමයි ආපහු ලංකාවෙ පදිංචියට ආවෙ. මේ අතරතුරේ වසුන්දරාගෙ තාත්තාත් මියගියා. ඊට පස්සේ අම්මයි වසුන්දරායි ගෙදර තනි වුණා. මේ වන විට වසුන්දරා තමන් උපයාගත් ධනයෙන් දෙමහල් නිවසක් තනලයි තිබුණෙ. එහි යට තට්ටුවෙ වසුන්දරාත් මවත්් පදිංචිව සිටින අතරේ උඩ තට්ටුව කුලියට ගෙන පැමිණියේ මැදි වියේ පිරිමි කෙනෙක්. ඔහු ධර්මේන්ද්‍ර. පියා ද්‍රවිඩ බවත් මව සිංහල ජාතික කාන්තාවක බවත් ධර්මේන්ද්‍ර වසුන්දරාලට පවසා තිබුණා. ඔහු සිංහලයකු ලෙසින්ම සිංහල උච්චාරණය කළ නිසා ඔහු කියන කතාවේ සත්‍යයක් තිබිය හැකි බව වසුන්දරාලාත් විශ්වාස කළා. ධර්මේන්ද්‍ර කියු විදිහට ඔහු විවාහකයෙක්. නමුත් බිරිඳ කලකට උඩදී වැළඳුණු අසනීපයකින් මියගිහින්. දරුවන් නැහැ. ඒ නිසා ඔහු තනිව ජීවත් වුණා.
තමන්ගේ දෙමාපියන් මෙලොව හැර ගොස් ඇති බවත්, සහෝදරයන් දෙදෙනා සහ සහෝදරිය පිටරට ජීවත් වෙන බවත් ධර්මේන්ද්‍ර වැඩිදුරටත් පවසා තිබුණා. ඉතා අහිංසක ගති ලක්ෂණ පළ කළ ධර්මේන්ද්‍ර වසුන්දරාටත් ඇගේ මවටත් බොහොම ගෞරවනීය ලෙසයි සැලකුවේ. ඔහු ඔවුන්ට ඇමතුවේත් ‘මැඩම්’ කියලයි. කලට වෙලාවට නිවසේ කුලිය දීම, විදුලි බිල්, වතුර බිල්, ගෙවීම මේ හැම දෙයක්ම ධර්මේන්ද්‍ර අතින් නොපිරිහෙලා සිදුවුණා. මේ සියලු දේ නිසා ඔහු ඉතා වැදගත් මහත්මයකු බව වසුන්දරාත් ඇගේ මවත් පිළිගත්තා. මේ වන විට වසුන්දරාගේ වයස අවුරුදු තිස් දෙකක් පමණ වුණා. ජීවිතයේ බොහෝ ගැටලුවලට මැදි වී සිටියා මිස ඇය කවදාවත් ආදරයක් ගැනවත් විවාහයක් ගැනවත් සිතලා තිබුණෙ නෑ. නමුත් ධර්මේන්ද්‍ර පිළිබඳව වසුන්දරාගේ සිතේ තිබූ විශාල පැහැදීම කල් යනවිට ඇයටත් නොදැනී ආදරයක් බවට පෙරළී තිබුණා. නමුත් ඇයට ඒ බව ධර්මේන්ද්‍රට ඇඟවීමේ ශක්තියක් තිබුණෙ නෑ. ඒ වුණත් නිතරම ඇය ධර්මේන්ද්‍ර ගෙදර සිටින විට ඔහුට තේ විවිධ රස කැවිලි වැනි දෑ ගෙන ගොස් දී ඔහු සමග මඳක් කතා බහ කරමින් හිඳින්නට පුරුදු වුණා. වසුන්දරාගේ සිතේ ධර්මේන්ද්‍රට තිබෙන කැමැත්ත ඇගේ මවට රහසක් වුණේ නෑ. ඇත්තටම ඇය ධර්මේන්ද්‍රට බෙහෙවින්ම කැමති වුණා. ඒ වගේ වැදගත් යහපත් මනුස්සයෙක් ලැබෙනව නම් ගෑනියෙකුට ඊට වඩා වාසනාවක් තියනවද කියලයි වසුන්දරාගෙ මවත් සිතුවෙ. කොහොම වුණත් වසුන්දරා තමාට දක්වන ලෙන්ගතුකම ධර්මේන්ද්‍රටත් වැටහෙන්න ඇති. නමුත් ඔහු කිසිදු අයුරකින් එය වටහාගත් බවක් වසුන්දරාට ඇඟෙව්වෙ නෑ. අඩු තරමින් ඇගේ මුහුණ දිහා කෙළින් බලාගෙන ඔහු කතා කළේවත් නෑ. එක්තරා දිනයක උදේ තේ එකක් හදාගෙන වසුන්දරා ගියා උඩතට්ටුවට. වෙනදා වගේ ධර්මේන්ද්‍රගෙ කාමරේ වහල තිබුණෙ නෑ. වසුන්දරා දොරට තට්ටු කළාට කිසිම ශබ්දයක් නැඟුණෙත් නෑ. ඊට පස්සෙ දොර රෙද්ද මෑත් කරලා බැලුවා. ධර්මේන්ද්‍රගෙ කාමරේ හැම දෙයක්ම හරි පිළිවෙළට තිබුණා. ඒත් ධර්මේන්ද්‍ර වගේම ඔහුගේ බෑගයවත් අනිකුත් ඇඳුම්වත් කිසිවක් තිබුණෙ නෑ. මේසය මත දිග ඇරලා තිබුණු කඩදාසියක් දැකල වසුන්දරා ඒක අතට ගත්තෙ වෙව්ලමින්. ‘වසුන්දරා මැඩම්. මං මෙහෙන් යනවා නොකියා යන්න සිද්ධ වුණාට සමාවෙන්න. මැඩම් මට ගොඩක් ආදරය කරන බව මට තේරුණා. ඒත් ඒ ආදරය පිළිගන්න මං සුදුස්සෙක් නෙවේ. මං හිත හොඳ මිනිහෙක් බව ඇත්ත. ඒත් සමාජය විසින් මාව නරක මිනිහෙක් කරල තියෙන්නේ. මට මීට වඩා කිසිම දෙයක් කියන්න බෑ. ජීවත් වෙලා හිටියොත් මැඩම්ලව බලන්න එන්නම්. ධර්මේන්ද්‍ර ලියලා තිබුණෙ එපමණයි. ඒ ලියුම කියෙව්ව විතරයි වසුන්දරාට දැනුනෙ තම දෑසම නිලංකාර වේගන එනව වගේ. දැන් ධර්මේන්ද්‍ර ගිහින් මාස ගණනක් වෙනවා. ඒත් තවම ඔහු ගැන ආරංචියක් නෑ. කවදා හරි ධර්මේන්ද්‍රව නැවත දකින්න වසුන්දරා පෙරුම් පුරනවා සියලු පුද්ගල නාම මන:කල්පිතයි.
ඉන්දු පෙරේරා
උපුටා ගැනීම ලක්බිම