අහම්බෙන් හමු වූ ප්‍රථම ප්‍රේමය අචිනිගේ ජීවිතය ශෝකාන්තයක් කළා...
නංගි කෙනෙක් සහ මල්ලි කෙනෙක් ඉන්න පවුලෙ වැඩිමලා වුණේ අචිනි. ඒත් නංගියි මල්ලියි දෙන්නම විවාහ වෙන විටත් අචිනි අවිවාහකයි. ඒකට හේතුව අචිනි විවාහය තදින්ම ප්‍රතික්‍ෂේප කිරීමයි. අවුරුදු පහළොවේදි අචිනි මුලින්ම ප්‍රේම සම්බන්ධයකට පැටලුණේ. ඒ විශ්ව එක්ක. ඒත් විශ්ව උසස් අධ්‍යාපනය සඳහා විශ්වවිද්‍යාලයට ඇතුළත් වුණාට පස්සෙ වෙනස් වුණා. ඒ දුක දරාගන්න බැරිව අචිනි මාස ගාණක් ඇඬුවා. උසස් පෙළ ඉගෙන ගන්නත් අඩු තරමින් උසස් පෙළ විභාගයට ලියන්නවත් අචිනිගෙ මනස එකලස් වුණේ නෑ. අන්තිමේ අධ්‍යාපනයත් අතර මග බිඳ වැටිලා අචිනි ගෙදරටම කොටු වුණා. විශ්වගේ වියෝවත් සමග අචිනි ප්‍රේම සම්බන්ධයක් ගැන හිතුවෙම නෑ. පිරිමි විශ්වාස කරන්න බැරි ජාතියක් කියන හැඟීම තමයි අචනිගෙ සිතේ මුල් බැහැගෙන තිබුණෙ. නංගියි මල්ලියි විවාහ වුණාට පස්සෙත් අම්මයි තාත්තයි අචිනිට පුළුවන් තරම් කරුණු පැහැදිලි කරල දුන්නා, විවාහ වෙන්න කියලා. ඒත් අචිනි ඒ හැම වෙලාවකම හිටියෙත් ගොළුවෙක් බිහිරෙක් වගේ. මේ අතරෙ අචිනිගෙ තාත්තා හදිසියේම හට ගත් රෝගයකින් මිය ගියා. එදා අචිනිට ජීවිතේ එතෙක් නොදැනුණු මහ මූසල තනිකමක් දැනෙන්න පටන් ගත්තා. කවදාහරි අම්මත් නැති වුණු දවසක මට පිස්සු හැදෙයිනේ කියලමයි අචිනිට සිතුනෙ. අම්මත් නිතරම කිව්වෙ ‘අනේ දුවේ දැන්වත් අපි කියන දේකට කැමති වෙයං. මමත් නැති කාලෙක උඹ තනිවෙනව. මල්ලිටයි නංගිටයි උඹ ගැන බලන්න බෑනේ. උන් දරු පවුල්කාරයො. තම තමන්ගෙ පවුල්වල ප්‍රශ්න ගැන බලනව මිසක් උඹ ගැන බලන්න උන්ට වෙලාවක් නැති වෙයි’ කියලයි. මේ කාරණාවල ඇත්තක් තියෙන බව අචිනිට වැටහුණා. ඒ අනුව ‘අම්මා කියන දේකට මං කැමති වෙන්නම්’ කියලා අචිනි කිව්වෙ පළවෙනි වතාවට. අම්මට මේක අදහා ගන්න බැරිව ගියා. කොහොම හරි ඊළඟට ආපු මනාලයට අචිනි කැමැත්ත දුන්නෙ වෙනත් කිසිම දෙයක් ගැන නොසිතා නොබලාමයි. අචිනි ශානක එක්ක විවාහ වුණේ ඒ විදිහට. ශානක අචිනිගෙ ගම් ප්‍රදේශය ආසන්නයේම පදිංචිකරුවෙක්. විවාහයෙන් පසුව ඔහු අචිනිගේ නිවසේම පදිංචියට ආවෙ මහගෙදර අචිනිට දෑවැද්ද වශයෙන් ලැබිම නිසයි. අලුත විවාහ වුණු යුවළක් දෙපැත්තේම නෑදෑයන් බලන්න යන සිරිතක් තියෙනවා. අචිනි ශානක එක්ක ඔහුගේ ඥාති නිවෙස්වලට ගියා. ඒත් එක්තරා ඥාති නිවසකට ගියා විතරයි අචිනිට දැනුණෙ තමන්ගෙ සිහිය විකල් වේගෙන එනව වගේ. ඒ ගෙදර හිටියෙ විශ්ව, ඔහුගේ බිරිඳ සහ දරු දෙදෙනායි. ඔහු බොහොම අමාරුවෙන් තමන්ගේ හැඟීම් පිටතට නොපෙන්වා සාමාන්‍ය විදිහට හැසිරුණත් ගෙදර ආපු වෙලාවෙ ඉඳලා අචිනි හිටියෙ සිහි විකල් වෙලා වගේ. විශ්වගෙ පුංචි දරුවො දෙන්න පාසල් යනවා. බිරිඳත් සමග ඔහු සතුටින් ඉන්න බවත් පේනවා. විශ්ව කොහොමද තමාව ඒ විදිහට අමතක කළේ? අචිනිට මේ කිසිම දෙයක් හිතා ගන්න බෑ. සියලු දේ අමතක කරලා ශානකත් එක්ක හොඳින් ඉන්න ඕනෙ කියලා හිතුවත් විශ්ව ගැන මතකය හැම මොහොතකම අචිනිගෙ හිතට වද දුන්නා.
ශානක කාර්යාලයට ගියාට පස්සෙ එක දවසක උදේ වරුවෙ අචිනිගේ නිවසේ දුරකථනයට ඇමතුමක් ආවා. ඒ වෙලාවෙ අචිනිගෙ අම්මත් ගෙදර හිටියෙ නෑ. ඇමතුම දීලා තිබුණෙ විශ්ව. ඒ නම ඇහුණා විතරයි එකවරම අචිනිගෙ සර්වාංගයම සීතල වෙලා අප්‍රාණික වෙලා රිසිවරයත් වැටෙන්න ගියා. ආයාසයෙන් සිතට ශක්තිය උපදවා ගත් අචිනි ‘ඇයි කතා කළේ? ශානක නම් ගෙදර නෑ. පණිවුඩයක්ද?” කියලා ඇහුවෙ කිසිම කාරුණික බවක් නොපෙන්වාමයි. “එදා ඔයාව දැක්කම මට මං ගැනම ලොකු දුකක් ඇතිවුණා අචිනි. ඔයාව අමතක කරල මං වැටුණෙ අපායක. ඔයා මෙච්චර කාලයක් නොබැඳ හිටියෙ මගෙන් පස්සෙ පිරිමින් ගැන ඇතිවුණු තද කලකිරීම හින්ද නේද? අපරාදෙ මං වටිනා මැණිකක් අහිමි කරගත්ත පල් මෝඩයෙක්.” විශ්ව දිගටම කියද්දි අචිනි ගල් ගැහිලා අහගෙන හිටියා. ඒත් කිසිම විදිහකින්වත් ශානකට බුරුලක් පෙන්නුවෙ නෑ. “ඔයා චාටු කතා කියවන්න දක්ෂ බව මං දන්නවා. ඔයා එදත් කිව්වේ චාටු කතා. අද කියන්නෙත් ඒවම තමයි. කරුණාකරලා මට මගෙ පාඩුවෙ ඉන්න දෙන්න.” එහෙම කියපු අචිනි ඇමතුම විසන්ධි කළා. නමුත් විශ්වත් පසුබාන්න කැමති වුණේ නෑ. ඔහු සාර්ථක පවුල් ජීවිතයක් ගෙන යමින් හිඳ ඊයෙ පෙරේදා විවාහ වුණ තමන්ගේ පවුල් ජීවිතය විනාශ කරන්න හදන බවකුයි අචිනිට හැඟුනෙ. ඒ නිසාම අන්තිමේ අචිනි එක දවසක විශ්ව දුන් ඇමතුමකදී ඔහුට මේ බව කියලා හොඳටම බැණ වැදුණා. ඊට පස්සෙ විශ්ව අචිනිට කතා කළේ නෑ. එක දවසක ශානක රාත්‍රී කෑම මේසයෙදි කිව්වෙ අචිනි කීයටවත් අහන්න බලාපොරොත්තු වුණු ආරංචියක් නෙමේ. “විශ්ව ඇක්සිඩන්ට් වෙලා”
ඒ ආරංචිය ඇහුවම අචිනිගෙ ශරීරයම අප්‍රාණික වෙලා ගියා. “ඇයි ඒ?” අචිනිට ඊට වඩා යමක් අහන්න ශක්තියක් තිබුණෙ නෑ. මිනිහා වෙන කල්පනාවකින්ද කොහෙද පාර පැනලා. එතකොටම ආපු වාහනයක මිනිහා හැප්පිලා. දැන් අයි.සී.යූ. එකේලු. මිනිස්සු කෑගහද්දිනේ විශ්ව පාර පැනල තියෙන්නෙ. මිනිහට ඇහිල නැතුව වෙන්න ඇති. අචිනි ගල් ගැහිල වගේ අහගෙන හිටියා. ඒත් කිසිම හරස් ප්‍රශ්නයක් විශ්ව සම්බන්ධයෙන් අහන්න අචිනිට ශක්තියක් තිබුණෙ නෑ.
“මිනිහගෙ පවුලෙ කොහොමත් ප්‍රශ්න තිබුණ. වැඩිය කාටවත් හෙළි කළේ නැතුවට” ශානක නැවත කිව්වා.
“එහෙනම් එදා අපි යන කොටත් අගේට හිටියෙ.”
“ලෝකෙට පෙනෙන්න ඔහොම හිටියට විශ්ව බැන්දෙ එයාට කොහොමටවත් නොගැළපෙන කෙනෙක්.”
“ඇයි ඒ?”
“විශ්ව සල්ලිකාර පවුලකට තමයි පෑහුනෙ. ඒ නිසා විශ්ව හිටියෙ ඒ ගෑනු කෙනාගෙ යටත් වැසියෙක් වගේ. නිතරම එයාල අතරෙ ගැටුම් ඇති වුණා.”
“ඔයාට විශ්වද ඔව්වා කිව්වෙ?” අචිනි ඇහුවෙ සැකෙන් වගේ.
“නෑ. විශ්ව නෙමේ. ඒත් එයාව ළඟින් ආශ්‍රය කරන අය ඔය හැමදේම දන්නවා. මට කිව්වෙත් එහෙම කෙනෙක්.”
විශ්ව බලන්න යන්න අචිනිට ලොකු වුවමනාවක් තිබුණත් අචිනි ඒක මොන විදිහටවත් ඇඟෙව්වෙ නෑ. දැඩි සත්කාර ඒකකයේ සිහි නොලබාම දින කිහිපයක් ගත කළ විශ්ව එක්තරා දවසක මිය ගොස් තිබුණා. ඒත් අචිනිට අඬන්නවත් අවසරයක් තිබුණෙ නෑ. තමන්ට විශ්ව කතා කළේ මේ හැමදෙයක්ම කියන්න වෙන්න ඇති කියලා හිතෙන කොට අචිනිට ඉහිලුම් දෙන්නෙ නෑ. කාටවත් කියාගන්න බැරි වේදනාවක් හිතේ සදහටම තුරුළු කරගෙන අචිනි දැන් ජීවත් වෙනවා.
ඉන්දු පෙරේරා
උපුටා ගැනීම ලක්බිම