සැමියාගෙන් මෙන්ම තම පවුලේ අයගෙනුත් සරණක් නොලැබ දිවියෙන් සමුගත් සඳුනි...
සඳුනිගේ කතාව අසන ඔබ තුළ ඇය පිළිබඳ විශාල කම්පාවක් ඇති වනු නිසැකයි. නමුත් ඒ කම්පාව ඇගේ ජීවිතයට මේ වන විට කිසිදු පලක් නැති දෙයක් වී අවසන්. පවුලේ වැඩිමහල් දරුවා වුණු සඳුනි විවාහ වුණේ අවුරුදු තිස් දෙකේදී. එපමණ කලක් සඳුනිගේ විවාහය ප්‍රමාද වුණේ ඇගේ කේන්ද්‍රයේ තිබුණු නරක ග්‍රහ පිහිටීම් නිසයි. එවැනිම කේන්දරයක් හිමි කෙනෙකු සමග මිස නොගැළපෙන කේන්දරයක් ඇති කෙනෙකු එක්ක විවාහ වුණොත් අනිවාර්යයෙන්ම වැඩි දවසක් යන්නට පෙර සැමියා මිය යන බව සඳුනිගේ කේන්දරය බලපු නක්ෂත්‍රකරුවන් දන්වා තිබුණා. ඒත් ටිකෙන් ටික වයසට යන කොට සඳුනිට ගැළපෙන කෙනෙක් සොයන එක ලේසි වුණේ නෑ. හම්බවුණු කීප දෙනෙක්ම දෑවැද්දක් බලාපොරොත්තු වුණු හින්දා ඒ කටයුතු අත අරින්න සිදු වුණා. සඳුනිගේ දෙමව්පියන්ට සඳුනිට දෑවැදි දෙන්න තරම් ශක්තියක් තිබුණේ නෑ. ඔය අතරෙ තමයි මහේන්ද්‍රගේ යෝජනාව ආවෙ. මහේන්ද්‍රගේ වයස තිස් පහක්. තමන්ගේම කියලා ගේ දොර තිබුණු මහේන්ද්‍ර කවදාවත් විවාහ වෙන අදහසින් නෙමෙයි ඉඳල තියෙන්නේ. අන්තිමේ මහේන්ද්‍රගේ අම්මාගේ දැඩි බල කිරීම මත මහේන්ද්‍ර සඳුනිට කැමති වෙලා තිබුණා. මහේන්ද්‍රගේ අම්මා කිව්වේ “ අපට දෑවැදි ඕන නෑ. හොඳ ගතිගුණ තියෙන ගෑනු ළමයෙකුවයි ඕනෙ” කියලයි. කේන්දරත් ගැළපුණු නිසා දෙපැත්තෙම දෙමාපියන්ට ඕනෑ වුණේ කටයුත්ත ඉක්මනට කරන්නයි. ඒ විදිහට තමයි මහේන්ද්‍ර සමග විවාහ වුණේ.
මහේන්ද්‍රගේ ගෙදර හිටියෙ මහේන්ද්‍රයි එයාගේ අම්මයි විතරයි. මහේන්ද්‍රටත් වඩා මහේන්ද්‍රගේ අම්මා සඳුනිට කාරුණික වුණා. බොහෝ නැන්දම්මාවරුන් තුළ නොතිබුණ ලෙන්ගතුකමකුත් ඇය සඳුනි වෙනුවෙන් දැක්වීම සඳුනිට වගේම ඇගේ දෙමාපියන්ටත් ලොකු සතුටක් ලෙසයි දැනුණෙ. ඒ කොහොම වුණත් සඳුනිගේ සිත නිතරම මොකක්දෝ ලොකු පාළුවකින් කාංසියකින් පිරී තිබුණා. ඒ තමයි තමන් අපේක්ෂා කළ විදියේ ආදරයක්, සැලකිල්ලක් මහේන්ද්‍රගෙන් නොලැබිම. මහේන්ද්‍ර රැකියාව අවසන් වෙලා ගොඩක් දවස්වලට ගෙදර ආවෙ රෑ දෙගොඩහරි ජාමේ. සමහර දවස්වලට රෑට ගෙදර ආවෙත් නෑ. එහෙම දවස්වලට ගෙදර ආවෙ පහුවදා හැන්දෑවේ. මුල් කාලේ සඳුනි මහේන්ද්‍ර ගෙදර එනකල් රෑ කෑම නොකා බලන් හිටියා. ඒත් මහේන්ද්‍ර නිකමටවත් ඇහුවෙ නෑ “සඳුනි කෑවද?” කියලා. තියන දෙයක් කාලා ඇඟපත හෝදගෙන සඳුනිටත් නොකියාම මහේන්ද්‍ර නින්දට ගියා. මහේන්ද්‍රගේ අම්මා සඳුනිට බල කළා මහේන්ද්‍ර එනකල් ඉන්නෙ නැතුව කෑම කන්න කියලා. ඊට පස්සෙ තමයි සඳුනි මහේන්ද්‍ර එනකල් කුසගින්නේ බලා ඉඳීම නතර කළේ. සඳුනිට ඔය අතරේ උණ ගැනුණා. “අම්මත් එක්ක ගිහින් බෙහෙතක් ගන්න” කියලා ඇගේ අත රුපියල් දහසක් තැබූ මහේන්ද්‍ර සඳුනිව වෛද්‍යවරයෙක් ළඟට එක්කරගෙන යන්නවත් උනන්දු වුණේ නෑ. හවස නිදා ඉඳිද්දී ගෙදර දුරකථනය වදිනව ඇහිල සඳුනිට ඇහැරුණා. ඇය නැගිටලා සාලෙට යන්න හදන කොට අම්මා දුරකථනය ගන්න සද්දේ ඇහිලා සඳුනි ඇඳේ වාඩි වුණා. අම්මා දුරකථනයට පිළිතුරු දුන්නේ බොහොම සිහින් හඬකින්. ඒ හින්දම සඳුනි නිකමට වගේ ඒ ඇමතුමට කන් දුන්නා.
“උඹ තවමත් ඔය උරචක්කරමාලාව අතඇරියෙ නැද්ද? මේ කෙල්ල මෙතන ඉඳන් තිස්සේ දෙවේලෙ කල්පනා කර කර ඉන්නවා. උඹ රෑට රෑට ඒකිගේ ගුබ්බෑයමේ රිංගල ඇවිත් මෙතන වැටිලා නිදා ගන්නවා. ඔය පරට්ටිට නම් හෙණ හත ගහන්න ඕනේ”. අම්මා හෙමිහිට පැවැසූ දේවල් සඳුනිට හොඳින් ඇහුණා. සඳුනිගේ ඇඟ කිලිපොලා ගියා. “ඒ දරුවා නිදි. ඒකයි මං උඹට මේ කියන්නේ. කොයි වෙලාවක හරි මමම ඇවිත් ඕකිගේ හතර හන්දි කඩලයි නවතින්නේ” අම්මා නැවත දත්මිටි කෑවා. සඳුනිට දැනුණේ විශාල වේදනාවක්. සඳුනි නැගිටලා සාලයට එනකොටම අම්ම කලබල වෙලා රිසිවරය තැබුවේ කතා කරපු පුද්ගලයාගෙන් සමුගන්නේ නැතිවයි.
“කවුද අම්මේ කතා කළේ?”
“ආ... නෑ මේ අඳුනන කෙනෙක්” අම්මා ගොත ගැහුවා.
“මං මෙච්චර කාලයක් තිස්සේ බලන් හිටියා මහේන්ද්‍රගෙ හැසිරීම්. එයාට මම කොයිතරම් සැලකුවත් ආදරේ පෙන්නුවත් එයා මං ගැන කිසිම විදිහකින්වත් තැකීමක් කරන්නේ නෑ. අම්මා එයා ගැන ඇත්ත හංගලාද මට බන්දලා දුන්නේ? ඇත්ත කියන්න අම්මේ” කියමින් සඳුනි හඬා වැටුණා. අන්තිමේ අම්මා මහේන්ද්‍රගේ ඇතැම් විස්තර පමණක් සඳුනිට කිව්වේ සඳුනිගේ බල කිරීම මතයි. සඳුනිට හැමදෙයක්ම එපා වුණා. මේ පිළිබඳව මහේන්ද්‍රගෙන් අහන එක කිසිම තේරුමක් නැති වැඩක් බව සඳුනි වටහාගෙන සිටිය නිසා එක වචනයක්වත් ඇය මහේන්ද්‍රගෙන් ඇහුවේ නෑ. දවස් ගාණක් නොකා නොබි කල්පනා කරමින් හිටපු සඳුනි එක්තරා දවසක මහේන්ද්‍රගේ මවටවත් නොකියා ඒ ගෙදරින් පිට වුණා. සඳුනි ගියේ තමන්ගේ දෙමාපියන් ළඟට. මහේන්ද්‍ර සඳුනිව විවාහ කර ගන්නත් කලින්ම විවාහක කාන්තාවක් සමග සම්බන්ධයක් පවත්වන කෙනෙක්. ඇගේ සැමියා ඇය දික්කසාද කරලයි තිබුණේ. මහේන්ද්‍ර සඳුනිව විවාහ කරගෙන තිබුණේ ඔහුගේ මවගේ බල කිරීමට. නමුත් ඒ කාන්තාව සමග තිබුණු සම්බන්ධතාවය ඔහු අතහැර තිබුණේ නෑ. මේ සියල්ල දෙමාපියන්ට පැවැසූ සඳුනි දෙමාපියන් ළඟ නතර වුණා. ඒත් වැඩි දවසක් එහෙම ඉන්න ඇයට හැකියාව ලැබුණේ නෑ. ඉතා අමාරුවෙන් කසාදයක් කර දුන්නු දියණිය නැවත ගෙදර පැමිණීම ඇගේ දෙමාපියන්ට ලොකු බරක් වුණා. විශේෂයෙන් පියා නොයෙකුත් ආඩපාලි කිව්වේ සඳුනිට ඇසෙන්නට මව සමගයි. මේ කතා නිසා සඳුනි ගොඩක් වේදනාවට පත් වුණා. අනික මහගෙදර සඳුනිගේ මල්ලිට අයිතිය තිබුණෙ. මල්ලිත් විවාහ වෙලා ඒ ගෙදරම පදිංචි වෙලා උන්නා. සඳුනි මහගෙදර ඉන්නවට මල්ලිගේ වැඩි මනාපයක් තිබුණෙත් නෑ. අන්තිමේ සඳුනි තමන් ගැන විස්තර හැමදෙයක්ම මිතුරියකට කිව්වා. මිතුරිය තමන්ගේ නිවසට සඳුනිව කැඳෙව්වත් ඇය එහි ගිහින් තිබුණේ නෑ. එක්තරා දිනයක සඳුනි වස පානය කර සිය දිවි නසාගෙන තිබුණා. සියලු පුද්ගල නාම මනඃකල්පිතයි.
උපුටා ගැනීම ලක්බිම