පෙම්වතාට දුන් ගින්දර මෙලොවදීම පලදී මහමඟට වැටුණු තරුණියක්...
දිනිති පුංචි කාලෙදීම එයාගෙ අම්මා මේ ලෝකෙ අත්හැරලා ගිහින් තිබුණා. ඊට පස්සේ දිනිතිව බලා ගත්තෙ ආච්චි. දිනිතිගෙ තාත්තා ජීවතුන් අතර හිටියත් අම්ම නැතිවෙලා අවුරුදු තුනකට විතර පස්සේ තාත්තා වෙනත් විවාහයක් කර ගත්තා. ආච්චිට කිසිම ආදායමක් තිබුණේ නෑ. ආච්චිගෙ පුතාල දෙන්නා ඒ කියන්නෙ දිනිතිගෙ මාමලා දෙන්නා ආච්චිට හැම මාසෙම රුපියල් දෙදාහ ගානෙ දුන්නා. ඒක තමයි ආච්චිට දිනිතිත් එක්ක ජීවත් වෙන්න තිබුණු එකම ආදායම. අන්තිමට ආච්චි අල්ලපු ගමේ ගෙදරක වැඩට ගියා. එහෙන් තමයි දෙන්නටම කෑමත් ලැබුණෙ. මාසෙ අන්තිමට පොඩි ගාණකුත් අතට දුන්නා. දිනිතිත් අනිත් හැම ගෑනු ළමයෙක් වාගේම ලස්නනට අඳින්න ආස කළා. ඒත් දිනිතිට කන්න බොන්න දෙනවා මිසක් අනිකුත් ඕනෑ එපාකම් ඉෂ්ට කරල දෙන්න හයියක් ආච්චිට තිබුණෙ නෑ. ආච්චි වැඩ කරපු ගෙදර දිනිතිගෙ වයසෙම ගෑනු ළමයෙක් හිටියා. එයා ඇඳපු ඇඳුම් එයාගෙ පරණ සෙරෙප්පු, සපත්තු සේරම දිනිතිට ලැබුණා. ඒවයින් තමයි දිනිති සැනසුණේ. දිනිතිට අජිත්ව හම්බ වුණේ පාසලේ උත්සවයකදී. එතකොට දිනිති සාමාන්‍ය පෙළ පන්තියෙ. අජිත් දිනිතිගෙ මිතුරියකගෙ ඥාති සහෝදරයෙක්. හැබැයි අජිත්ට ඒ වෙනකොටත් වයස අවුරුදු තිහක්. දිනිතිට වඩා වසර පහළොවකින් වැඩිමහල්. ඒත් අජිත්ට සල්ලි තිබුණා. ඔහු ව්‍යාපාරිකයෙක්. ආච්චිත් එක්ක දුක්බර ජීවිතයක් ගත කරපු දිනිතිට අජිත්ගේ හමුවීම දැනුනෙ ආශිර්වාදයක් විදිහට. අජිත්ට හොඳ ගති ගුණ තිබුණා. ඒකත් දිනිතිගෙ හිත අජිත්ට ඇදිලා යන්න හේතුවක් වුණා. දිනිතිගෙ අනාගතය ගැන හිතමින් විශාල බරක් හිස මත තබාගෙන හිටපු ආච්චිට දැනුණෙ අජිත්ගෙ හමුවීම ආශිර්වාදයක් විදිහට. අජිත් දිනිතිගෙ ගෙදර නිතරම ආවා ගියා. ඒ වගේම දිනිතිලගෙ ගෙදර හැම ඕන එපාකමක්ම සම්පූර්ණ කළේ අජිත්. මේ නිසා ආච්චිගෙ හිතටත් ලොකු සැනසිල්ලක් සැහැල්ලුවක් දැනුණා. දිනිති සාමාන්‍යපෙළ සමත් වෙලා උසස් පෙළ කළේත් අජිත්ගේ උදව්වෙන්. මේ වෙනකොට දිනිතිලගෙ පවුලෙ බර සම්පූර්ණයෙන් කරට අරගෙන තිබුණෙ අජිත්. ඒත් දිනිතිගෙ යාළුවො අජිත් ගැන දිනිතිට එක එක විදිහෙ විහිළු කළා.
“මොකක්ද බං උඹට කොල්ලෙක් හිටියෙම නැද්ද? කොලු තාත්තා කෙනෙක්නෙ උඹ හොයාගෙන තියෙන්නේ” යාළුවො කිව්වෙ යාන්තමට අජිත්ගෙ හිස මුදුනේ පෑදීගෙන ආපු තට්ටය දැකලයි. මුලදී ඒ කතා ඇහුවම දිනිතිට ගොඩක් තරහා ගියා. ඊට පස්සේ ලැජ්ජා හිතුණා. ඒ හින්දා ටියුෂන් පන්තිය ළඟට අජිත් මෝටර් සයිකලයෙන් එන එක දිනිති අසීරුවෙන් නතර කර ගත්තා. මේ අතරෙ තමයි ලසිත දිනිති එක්ක සම්බන්ධ වෙන්න උත්සාහ කළේ. දිනිති නිතර ගිය සාප්පුවක ලසිත රැකියාව කළේ. ලසිත ඇත්තටම කඩවසම්. මේ නිසා දිනිතිගෙ හිත ලසිතට ඇදිලා ගියා. ඒත් අජිත්ගේ උදව්වට, අජිත්ගේ ආදරයට කොහොම පිටුපානවද කියල දිනිතිට හිතා ගන්න බැරි වුණා. මේ අතරෙ ලසිත දිනිති එක්කගෙන එක්තරා දවසක හෝටල් කාමරයකට ගියා. අජිත් කවදාවත් දිනිති එක්ක එවැනි ගමන් ගිහින් තිබුණේ නෑ. ඒත් ලසිත නිසා මුල් වරට කායික සතුට අත්විඳි දිනිතිට ලසිත්ගෙන් ඈත් වෙන්න ක්‍රමයක් තිබුණෙත් නෑ. ඊට පස්සෙ තමයි කිසිවෙකුටත් නොකියා රහසේම ලසිත එක්ක යන්න ගියෙ. ඒ වෙනකොට උසස් පෙළ විභාගයට මුහුණදෙන්න තිබුණෙ මාස තුනයි. දිනිති ඒ හැම දෙයක්ම ලසිත ඉදිරියේ අමතක කරල දැම්මා. මේ විදිහට ලසිත එක්ක එකට ජීවත් වුණා මිසක් ලසිත දිනිතිව විවාහ කර ගන්න උනන්දුවක් නැති බව දිනිතිට ටිකෙන් ටික වැටහුණා. දිනිති ඒ ගැන කරදර කරන කොට මුලදි ලසිත විහිළුවෙන් හිනාවෙන් මග ඇරියා. ඊට පස්සෙ තර්ජනය කරන්න පටන් ගත්තා. “මම තමුසෙව කසාද බඳින්නෙ නෑ. කැමති නම් ඉන්නව නැත්නම් ආපහු යනව“ කියලා ලසිත කියන කොටයි දිනිතට ඇස් ඇරුණෙ. අජිත්ට කරපු ද්‍රෝහිකම තමාට මේ ආත්මෙදිම පළදීපු බවක් දිනිතිට වැටහුණා. ඊට පස්සේ දිනිති පුදුමාකාර කළකිරීමකින් ජීවත් වුණේ. දවසක් දිනිති මුණගැහෙන්න එක තරුණියක් ආවා. ඇය ලසිත්ගෙ අලුත්ම පෙම්වතියක් බව දැනගත්තම දිනිතිට මුළු ලෝකෙම එපා වුණා. ඇයත් ලසිත නිසා අනාථ වෙලා. ඒ අතරෙ තමයි ඇයට දිනිති ගැන ආරංචි වෙලා දිනිතිව මුණගැහෙන්න ඇවිත් තිබුණෙ. දිනිතිට ලසිත එක්ක ජීවත්වීම එපාම වුණා. ඊට පස්සෙ ඇඳුම් ටිකත් අරන් මහ මගට බැහැපු දිනිතිට යා යුතු තැනක් තිබුණේ නෑ. දිනිති දැන් වීදී ගණිකාවක්. තමන්ට පලදුන්නෙ අජිත්ට කරපු දේවල් බව දිනිති පිළිගන්නවා. මෑතකදී ආරංචිවුණු විදිහට අජිත් දැන් විවාහ වෙලා. දිනිතිගෙ ආච්චි මියගිහින්.
උපුටා ගැනීම ලක්බිම