නොනිසි එක්වීමකින් පසු මානසික පීඩා විඳි සුනීතා
වයස අවුරුදු තිස්පහක් වුණත් සුනීතා අවිවාහකයි. එකම දරුවා හින්දා ගොඩක් නීති රීති මැද්දෙ හැදුනෙ. බාහිර උපාධිය කරලා අවසන් වෙන කොට සෑහෙන වයසක් ගිහින්. ඉගෙන ගෙන රස්සාවක් හම්බවෙන තුරු අම්මලා විවාහ යෝජනා ගැන හිතුවෙත් නෑ. සුනීතාට කිසිම දවසක පෙම්වතෙක් හිටියෙත් නෑ. දෙමාපියන්ගෙ නීතිරීති නිසාම සුනීතා පෙම්වතෙක් ඇසුරු කරන්න බය වුණා. අධ්‍යාපන කටයුතු අවසන් වුණාට පස්සෙ නැගෙනහිර පළාතේ රාජ්‍යායතනයක රැකියාවක් සුනීතාට ලැබුණා. ඒ පළාතේ ඔවුන් දන්නා කිසිවෙකුත් නෑ. නමුත් ඊට ටිකක් කිට්ටු දිහාක රැකියාවක් කරන ඥාතියෙක් හිටියා. සුනීතාට වඩා වසර පහ හයකින් වැඩිමහල් වුණු ඔහුගෙ නම ලලිත්. සුනීතා ඔහු ඇමතුවේ ලලිත් අයියා කියලයි. අන්තිමේ සුනීතාගෙ දෙමව්පියො සුනීතා ගැන බලන්න කියලා ලලිත්ට පැවරුවා.
කිසිම ඥාතියෙක් හිතවතෙක් නැති පළාතක ජීවත්වීම ගෙදරින් පිට එක රැයක්වත් ගත කර නොතිබිම වගේ හේතු මත සුනීතාට දැනුණ බය තනිකම අසීමිතයි. ඒ නිසා නවාතැනේ වගේම රැකියා ස්ථානයෙත් සුළු හෝ ගැටලුවක් මතු වුණොත් සුනීතා ඒක කිව්වෙ ලලිත්ට. නිවාඩුවක් තිබුණු වෙලාවක ලලිත් සුනීතව බලලා යන්නත් ඉඳහිට දවසක ආවා. මුලදී ලලිත් ගමට ආවේ ගියේ තනියම. ඊට පස්සේ එක දවසක ලලිත් සුනීතා එක්ක ගමට යන්න ආවා. ලලිත්ගෙ බිරිඳ සහ දරුවන් ජීවත් වුණේ සුනීතාගේ ගම් ප්‍රදේශයට කිට්ටුව. ඒ නිසා සුනීතා එක්ක එකට ගමට එන එක ඔහුට ගැටලුවක් වුණේ නෑ. මේ විදිහට ටික කලක් ගත වෙන කොට සුනීතා ගමට එන අවස්ථාවේදී ඔහුගේ පැමිණීමත් අනිවාර්යයෙන් බලාපොරොත්තු වුණා. ඒ නිසා අසවල් දවසෙ අසවල් වෙලාවට ගමේ යන්න පිටත් වෙනවා කියලා ලලිත්ට දැන්වූයේ “මා එක්ක එන්න” කියන එක නොකියා කියමින්. මේ විදිහට ලලිත්ට ටිකෙන් ටික මනසින් සමීප වුණත් ඔහු සමග ප්‍රේම සම්බන්ධතාවයකට යොමු වෙන්න සුනීතා අදහස් කළේ නෑ. නමුත් නොදැනීම වගේ ඔහු ගැන ඇගේ සිතේ ආදරයක් ඇති වුණා. ඒ සම්බන්ධව කිසිවක් ප්‍රකාශ කරන්න ඇය මැලි වුණේ එය වරදක් බව දන්න නිසයි. මේ විදිහට තවත් ටික කලක් ගත වෙන කොට දෙදෙනාම කලින් කතා කරගෙන එකට ගමේ එන තරමට ඔවුන් දෙදෙනා ළං වී සිටියා. මෙබඳු එක් දවසක අතරමග ප්‍රසිද්ධ නගරයකින් බැස කෑම ගැනීමට ලලිත් සුනීතාට යෝජනා කළා. ඇය ඊට කැමැත්තෙන්ම එකඟ වුණා. ඉන් පස්සෙ එදා රාත්‍රියේ නතර වෙලා පසුදින උදෙන්ම ගමට යමු කියලා ලලිත් යෝජනා කළාම සුනීතාගේ හිතේ ලොකු ගැස්මක් ඇති වුණා. ඒත් හිත යට මොකක්දෝ නොතේරෙන ආසාවක් වද දෙන්න පටන් ගත්තු නිසා සුනීතාට තමන් කවුද, ඔහු කවුද කියන එක පවා අමතක වුණා.
එදින රාත්‍රියේ ඇය ඔහු සමග ගත කළා. පහුවදා ආපහු එන කොට ඔහුගෙ බිරිඳ ඔහුට ඇමතුමක් දුන්නා දරුවෙකුගෙ අසනීපයක් ගැන කියන්න. ඒ ඇමතුමට සවන් දීගෙන හිටපු සුනීතාට තමන් මොකක්ද කළේ, ඔහු කවුද? තමන් කවුද? වැනි දේවල් මුල් වතාවට හිතෙන්න පටන් ගත්තා. ඔහු කවදාවත් තමන්ට ආදරය නොකරන බවත්, ඔහුගේ ආදරය අවධානය දිනා ගත් බිරිඳක් සහ දරුවන් සිටින බවත් යළි යළිත් හැඟෙන විට තමන් විශාල අපරාධයක් කළ ගැහැනියක ලෙස ඇගේම සිත ඇයට දොස් නැගුවා. එදා සුනීතා ගෙදර ආවේ විශාල කම්පනයකින්. දවසකට දෙකකට විතර පස්සේ ඇගේ රහස් ප්‍රදේශය කසන බවක් දැනුණා. සුනීතාට ලොකු බයක් ඇති වුණේ තමාට ලිංගාශ්‍රිත රෝගයක් බෝවී ඇති කියලයි. නමුත් ඇය වෛද්‍යවරයෙකු වෙත ගියේ නෑ. දින දෙකකින් පමණ ඒ කැසීම නතර වුණා. ඊට පස්සේ ඇයට නිතර නිතරම සිතුණේ තමා කිළිටි වී ඇති බවකුයි. මේ වන විට ඇය ලලිත්ට කිසිම දුරකථන ඇමතුමක් දීමෙන් වැළකී හිටියා වගේම ඔහුට තමන්ව අමතන්නට නොහැකි වන පරිදි ඇගේ ජංගම දුරකථනයේ සිම් කාඩ්පත පවා වෙනස් කර තිබුණා. තමාට සිදුවුණු කිසිවක් ඇය කාටවත් කිව්වේ නෑ. නිතරම තමන් කිළිටි වී ඇතැයි යන සිතුවිල්ල නිසා ඇය දිනකට දහ දොළොස් වතාවක් විතර රහස් ප්‍රදේශය සෝදන්න පටන් ගත්තා. ඊටත් ටික දවසකට පස්සෙ ඇයට මුත්‍රා අමාරුවක් දැනෙන්නට වුණා. තමන්ට නිතර නිතරම මුත්‍රා කිරීමේ අවශ්‍යතාවයක් ඇති වන බවක් හැඟුණත් ඒ හැම වෙලාවකම වැසිකිළියට ගිය ඇය බොහෝ වෙලාවට ආපසු ආවේ බලාපොරොත්තු සුන් වෙලයි. තමා ඇඳගෙන ඉන්න ඇදුමේ මුත්‍රා ගිහින් කාර්යාලයේ සෙසු අය ඉදිරියේ ලජ්ජාවට පත් වෙන්න වෙයි කියලා ඇය බය වුණා. ඒ හින්දා වැසිකිළියට ගිහින් නිකන් ඉඳලා ආපසු ආවා. මෙය ඇයට විශාල කරදරයක් වූ නිසා ඇය වතුර බිමෙනුත් හැකිතාක් වැළකී සිටියා. මේ රෝග තත්ත්වය තියාගෙන තමයි අන්තිමේ ඇය රෝහලට ආවෙ. එක්තරා අවස්ථාවක හිතේ ඇති වුණු ක්ෂණික ආවේග පාලනය කරගන්න බැරිව ලලිත්ට ළං වුණත් පසුව එහි බැරෑරුම් කම අවබෝධ වන විට සුනීතා බය වුණා. මේ නිසා ලොකු මානසික පීඩනයකට ඇය මුහුණ දුන්නා. තමන්ට මුලින්ම ලිංගාශ්‍රිත රෝගයක් ඇති බවට සැකයක් සිතීම ග්‍රස්ති රෝගයයි
. ඉන්පසු එහි කැසීමක් දැනීමත් ග්‍රස්තියයි. එසේ සිතෙන වාරයක් පාසා සේදීම ඒ සඳහා දක්වන අනිවාර්ය ප්‍රතික්‍රියාවයි. මේ රෝගය ග්‍රස්තිමය ගණයට අයත් OCD WpK Obsessive - Compulsive Disorder
හෙවත් O.C.D නම් මානසික රෝගය නම් වෙනවා. මේ හැර ඇයට වෙනත් කායික රෝගයක් තිබුණේ නෑ. O.C.D රෝගය සඳහා එක දිගට මාස කිහිපයක කාලයක් ඖෂධ හා චර්යාත්මක ප්‍රතිකාර ලබාදී ඇය සුව කළ හැකි වුණා.
විශේෂඥ මනෝ වෛද්‍ය රුමි රූබන් මහතාගේ වෘත්තීය අත්දැකීමක් ඇසුරෙනි.ඉන්දු පෙරේරා උපුටා ගැනීම ලක්බිම