Biz Log
Classifields
Biz Log
Classifields

අනුන් වෙනුවෙන් දිවි කැප කොට ඉතාලියේ හුදකලා වූ ගැහැනියක්...

අනුන් වෙනුවෙන් දිවි කැප කොට ඉතාලියේ හුදකලා වූ ගැහැනියක්...

මිනිස්සු ජීවිතයේදී තමන් වෙනුවෙන් මෙන්ම අනුන් වෙනුවෙන් ද බොහෝ කැප කිරීම් කරති. එහෙත් ඒ කැපකිරීම්වලින් ලැබෙන ප්‍රතිඵලය සතුටුදායක සේම දුක්බර වන්නට ද පුළුවන. මා නිතර ය’නෙන විහාරස්ථානයේදී මට හමුවූ ඇය ද එසේ ජීවිතයේ අනුන් වෙනුවෙන් කැප කර ජීවිතයේ අවසාන භාගය තනිකමෙන් පාළුවෙන් ගෙවන්නියකි. දැන හඳුනාගත් පසු තම ජීවිතය පෙළෙන කාන්සිය හා දුක මා සමගින් පැවසූ ඇය සිය කතාව සැබෑ නම් ගම් සඳහන් නොකරනවා නම් මෙසේ ලියුවාට වරදක් නැති බව කීවාය. අප ඇයව වසන්තා ලෙසින් හඳුන්වමු. ඇගේ කතාව ඇගේ වචනලින් මෙසේය. 

“මම වසන්තා ලංකාවේ අපේ ගම කොළඹට දුර බැහැර පළාතක්. මගේ පවු‍ලේ සාමාජිකයෝ හය දෙනෙක්. අපේ තාත්තා නැති වුණේ අපි ‍පොඩි කාලෙමයි. මම පවු‍ලේ හතර වෙනියා. අම්මා රබර් කිරි කපලා තමයි අපිට කන්න දුන්නේ. අප ටිකක් උස් මහත් වෙනකොට අයියල දෙන්නත් අක්කත් වත්තේ රස්සාවලට ගියා. අපි කාටවත් ගොඩක් ඉගෙන ගන්න බැරි වුණේ දුප්පත්කම හින්දම වෙන්න ඇති. අපි දවල්ට නම් කෑවේම නැති තරම්. උදේට රොටියක් හරි පාන් කෑල්ලක් හරි කාල යන්තම් පිරිමහ ගත්තා. අපි දවල්ටයි රෑටයි දෙකටම හවස බත් උයලා කනවා, ගොඩාක් දවස්වලට, ගොඩක් අමාරුවෙන් අපි ජීවත් වුණේ. මේ කාලෙදී අපේ ගමේ මැහුම් වැඩ‍පොළක් දැම්මා. මම ඒකේ වැඩට ගියා. මම පාසල් ගියේ අටේ පන්තියට විතරයි. නංගිලා මල්ලිලා වුණත් එයාලට ඕනේ ඕනේ විදිහට එයාලගේ ඉස්කෝ‍ලේ ගමන නැවැත්තුවා. ඔය කාලෙදී තමයි මට ජයසිරිව අඳුන ගන්න ලැබුණේ. ජයසිරිලගේ තාත්තා අපි වැඩ කරන මැහුම් වැඩ‍පොළ ළඟ කඩයක් කළා. අපි ඒ කඩෙන් බඩු ගන්න යනවා නිතරම. ජයසිරි තමා ගොඩක් වෙලාවට කඩේ හිටියේ. ඔහොම ගිහින් මාත් ජයසිරිත් අතරේ හිතවත්කමක් ඇතිවුණා. මම දැනගෙන හිටියා ජයසිරිලගේ ගෙදරින් මට කීයටවත් කැමති වෙන්නේ නෑ කියලා. ඒත් මට ඒ සම්බන්ධය නවත්තන්න හිත දුන්නේ නෑ. ටික කාලෙකදී ජයසිරිලගේ ගෙවල්වලින් මේ ගැන දැන ගත්තා. එයාල හොඳටම කලබල කළා. අපේ ගෙදරටම ඇවිත් කෑගහලා අම්මට පවා බැණලා ගියා. එහෙම රණ්ඩුවකදී ජයසිරිගේ තාත්ත එක්ක පැටලිලා අපේ අයියට දවස් ගාණක් රිමාන්ඩ් එකෙත් ඉන්න වුණා. අම්මා මගෙන් වැඳලා ඉල්ලුවා ඔය සම්බන්දේ නවත්තන්න කියලා. අම්මා බය වුණා ඔය අතරේ ජයසිරිලගේ ගෙදරින් එයාට වෙන මනමාලියක් හොයලා තිබ්බා. ජයසිරි අන්තිමේ මගෙන් සමාව ඉල්ලුවා එයාට වෙන කරන්න දෙයක් නෑ කියලා. එහෙම කියලා එයා ඒ තරුණියව විවාහ කරගත්තා. මට මේ දේවල් ඉවසා ගෙන ගමේ ඉන්න හිත දුන්නේ නෑ. ඒක නිසා මම අපේ අම්මගේ අක්කගේ ගෙදර ටික කාලයක් නවතින්න ගියා. ලොකු අම්මා හිටියේ මුහුදුබඩ නගරයක. මම එහෙදී ඇඳුම් සාප්පුවක වැඩ කරන්න හොයා ගත්තා. ඒ ගන්න පඩිය මගේ වියදම් තියාගෙන ලොකු අම්මටත් කොටසක් දීලා මම අම්මට යැව්වා. ඒ වෙනකොට අම්මා වයසයි. වත්තේ වැඩට ගියේ නෑ. අයියා බේබදුකමට වැටිලා. අක්කා දරුවෝ දෙන්නෙක් එක්ක ජීවත් වෙන්න සටන් කරනවා. හැම දෙයක්ම තිබ්බේ මගේ කර පිට. ඒක නිසා මට අම්මවයි නංගිලා මල්ලිලාවයි බලන්නේ නැතිව බැරි වුණා. ඔය විදිහට අවුරුදු ගාණක් මගේ තරුණ කා‍ලේ ගෙවිලා ගියා. මට විවාහ වෙන්න යෝජනා කීපයක් ආවත් දෑවැදි ප්‍රශ්න නිසා ඒවත් කැඩිලා ගියා. අපේ ලොකු අම්මගේ ගෙවල් ළඟ ඉන්නවා මෙහේ ආපු (ඉතාලි ගිය) පවුලක්. ඒ පවු‍ලේ කාන්තාවක් ලංකාවට ගිය වෙලාවක ලොකු අම්මට කියලා තියෙනවා. ඉතාලි පිරිමි කෙනෙක් විවාහ වෙන්න ලංකාවේ ගෑනු ළමයෙක් හොයනවා ඒකට මම හොඳයි කැමති නම් කියන්න කියලා. හැමෝම කීවේ මේක මගේ පූරුවේ වාසනාවක් කියලා. අම්මලාත් එක පයින් කැමති වුණා. විවාහ වෙන වයසත් පහුවෙලා නිසා මමත් හිතුවා මේක හොඳයි. අනික මට එහෙම වුණොත් අම්මලාට උදව් කරන්න හරි පුළුවන්නේ කියලා. අන්තිමේ අපිත් කැමති කියපු නිසා මනමාලයා ලංකාවට ආවා. එහෙම ආපු වෙලාවේ එයාව දැක්කම මට හිතාගන්න බැරි වුණා මම මොනාද කරන්නේ කියලා.

එයා ගොඩක් වයසක කෙනෙක්. විවාහ වුණු දරුවොත්, මුනුපුරොත් ඉන්නවලු. වයස පනස් ගණන්වල අග හරියේ. ඒ වගේම එයාගේ එක අතකුත් නෑ. අනතුරක් නිසා ඒක නැතිවෙලා. ඒත් එයා ලොකු සල්ලි කාරයෙක් කියලා අර කාන්තාව කීවා. එයා කරපු වියදම් සල්ලිවල හැටියට ඒක බොරු වෙන්නත් බෑ. මට නැති වුණත් ගෙවල්වල අයටවත් හොඳ කලක් යයිනේ කියලා මම කැමති වුණා. ගෙදර අය වෙනුවෙන් කරන කැපවීමක් හැටියට මම ඒ විදිහට ඉතාලියට ආවා. හැබැයි ඉතින් මම බැඳපු මහත්තයාගෙන් මට නරකක් වුණේ නෑ. ඒත් මට ලස්සන පවුල් ජීවිතයක් ලැබුණෙත් නෑ. එයා නිතරම අසනීපෙන් හිටියේ. මට සිද්ද වුණේ හෙදියකගේ වැඩ කොටස කරන්න. කාත් කවුරුත් නැති රටක ආසාවකට සිංහල වචනයක් කතා කරන්න කෙනෙක් හිටියෙත් නෑ. මගේ මහත්තයා කියන මෙලෝ දෙයක් මට තේරුණෙත් නෑ කාලයක් යනකම්. මම පුළුවන් විදිහට එයා එක්ක ජීවත් වුණා. ඉඳලා හිටලා ලංකාවට ගිහින් අම්මලා බලලා ආවා. මාව බඳිනකොට පවා මහත්තයා අම්මටයි අයියටයි සල්ලි දුන්නා. අයිය නම් බිලා නාස්ති කළා. අම්මා ඒ සල්ලිවලින් බාලම නංගිගේ මඟුුල් උත්සවේ ගත්තා. මම මට පුළුවන් හැමවෙ‍ලේම අම්මට සල්ලි යැව්වා. ඒකෙන් මම ලොකු සතුටක් ලැබුවා. අම්මා දුක් විඳින එක නැවතුණ එක මට සතුටක්. මම ඇවිත් අවුරුදු අටක් විතර වෙනකොට මහත්තයා පපුවේ අමාරුවකින් නැති වුණා. ඊට පස්සේ මට ගොඩක් ප්‍රශ්න ආවා එයාගේ දරුවන්ගෙන්. එයාලා මහත්තයාගේ දේපළවලට උරුමකම් කියන්න පටන් ගත්තා. ඒත් මටත් සෑහෙන්න දේවල් නීතියෙන් අයිති වුණා. ඒ වගේම මහත්තයාගේ විශ්‍රාම වැටුපත් මට හිමි වුණා. මම මට පුළුවන් විදිහට මගේ පවුලෙ අයට උපරිමෙන් උදව් කළා. මගේ මල්ලිගෙයි අක්කගෙයි පුතාල දෙන්නා මෙහෙට ගෙන්න ගත්තා. එක නංගි කෙනෙක්ගේ සැමියට වෙළෙඳාමක් කරන්න සල්ලි දුන්නා. අක්කට ගෙයක් හදාගන්න උදව් කළා. මගේ පවු‍ලේ හැමෝම වගේ දැන් දුකක් කරදරයක් නැතිව ජීවත් වෙනවා. මම ඒ හැමෝම මට පුළුවන් විදියට ගොඩ ගත්තා. ඒ වෙනුවෙන් මම මගේ ජීවිතේ සතුට කැප කළා. ඒ ගැන මම දුක්වෙන්නේ නෑ. එයාලා හැමෝමත් මට පින් දෙනවා මම නිසයි එයාලට අද දුකක් කරදරයක් නැතිව ජීවත් වෙන්නේ කියලා. ඒ අතින් මම වාසනාවන්තයි. ඒත් තනියෙම ඉන්නකොට මට මගේ ජීවිතේ ගැන ලොකු දුකක් කනගාටුවක් එනවා. මට දරුවෙක්වත් කාත් කවුරුවත් නෑ. දවසක මම මේ රටේම මැරිලා යයි. මම ගෙවන්නේ හරිම පාළුවෙන් තනිකමෙන් පිරිච්ච ජීවිතයක්. එහෙම බලද්දී මට අන් අය දිහා බලල සතුටු වෙන්න පුළුවන් වුණාට මගේ ගැන හිතලා සතුටු වෙන්න බෑ. ඒක නිසයි මම නිතරම පන්සල් එන්නේ, ඒකෙන්වත් හිත හැදෙයිද කියලා බලන්න. මේක වෙන්න ඇති නේද මගේ ෙදෙවය? ඒ ඇගේ ෙදෙවය දැයි නොදන්නා මුත් අන් අය වෙනුවෙන් ජීවිතය කැප කර තමන්ගේ ජිවිතය දෙස බලා සුසුම් හෙලන ඇය ගැන ඇතිවන්නේ කනගාටුවක් නොවේද ? 

ලක්මිණි වෙදමුල්ල ඉතාලියේ මිලානෝ සිට

උපුටා ගැනීම ලක්බිම

Share This Article