අසත්පුරුෂයකු නිසා ජිවිතයම හිස් කරගත් ඉතාලියේ වෙසෙන ශ්‍රී ලාංකික ගැහැණියක්...
ජීවිතයේ මැදි වයසට ළඟා වෙමින් යෙහෙළියක සමග නිවසක් කුලියට ගෙන ජීවත් වන දේවිකා දැන් සිටින්නේ සිය ජීවිතයේ හතළිස් ගණන්වල අග භාගයේය. එහෙත් අන් අයට වඩා ඇය වෙනස්ය. විනීත හා නිහතමානී ඇය උගත් කාන්තාවක් බව සිතෙන්නේ ඇය කියවන පොත් පත් නිසාමය. නිතරම කඳුළු පිරි දෙනෙතින් බලා හිඳ හූල්ලන ඇය දිවි ගෙවන්නේ විශාල දුකක් හිත යට තබාගෙන බව මගේ යෙහෙළිය දිනක් මට කීවාය. ඇගේ ජීවිතයේ කියා ගත නොහැකි කිසියම් විශාල දුකක් ඇතැයි ඈ දකින විට මටද සිතුණි. කාලයක් ගතවෙන විට මා සමග හිතවත් වූ ඇය ඇගේ ජීවිත කතාව මා සමගින් පවසන්නට කැමැති විය. ඒ තවත් අයෙකුට ජීවිතය වරද්දා නොගැනීමට උපකාරී වන නිසා බව ඇය කීවාය. ඇගේ සත්‍ය තොරතුරු වසන් කරමින් මේ කතාව කියන බැව් ගිවිස ගත් ඇය තමන්ගේ අඳුරු අත්දැකීම මෙසේ මා සමගින් කීවාය. “මම ලංකාවේ කොළඹට කිට්ටු නගරයක. මගේ දෙමව්පියන් හොඳ සමාජ පසුබිමක් තිබුණු අය. මට වැඩිමල් සහෝදරයෙකුයි බාල සහෝදරියකුයි තමයි හිටියේ. මම පාසල් ගියෙත් අගනුවර ජනප්‍රිය බාලිකාවකට. උසස් පෙළින් පස්සේ මම ගණකාධිකාරී අංශයේ පාඨමාලාවක් කරලා ඒ සම්බන්ධව රක්ෂණ ආයතනයක රැකියාවක් ලබා ගත්තා. අපේ ගෙදරින් ඒ වෙනකොට මට විවාහ වෙන්න මනමාලයෙක් හොයනවා. මගේ වෙනත් සම්බන්ධයක් තිබ්බෙත් නැති නිසා මමත් ඒ ගැන විරුද්ධ වුණේ නෑ. ඔය අතරේ තමයි අපේ කාර්යාලයට රක්ෂණ නියෝජිතයෙක් විදියට ආපු අරුණව මට මුණගැහුණේ. අරුණ ගොඩක් කඩවසම් කෙනෙක්. දැක්ක ගමන්ම මගෙ හිතේ ලොකු වෙනසක් ඇති වුණා එයා ගැන. හැබැයි එයා මට වඩා අවුරුදු හයක් බාලයි. එයා මට වඩා ගොඩක් තනතුරෙන් පල්ලෙහා තමයි රැකියාව කළේ. මට කතා කළේත් මැඩම් කියලා. ඒත් මට එයා ගැන පුදුම බැඳීමක් ඇති වුණා. ඔහොම ගිහින් අපි පෙම්වතුන් වුණා. එයාට මගේ වයස ප්‍රශ්නයක් නෑ කිව්ව නිසා මමත් ඒ ගැන ලොකුවට හිතුවේ නෑ. ඒත් අපේ ගෙවල් වලින් මේක දැනගත්තා විතරයි එයාලා පිස්සු වැටුණා. අරුණව මරන්න පවා මගේ අයියා ලෑස්ති වුණා. මටත් හොඳටම දොස් කීවා පවුලේ නම්බුව කන්නද හදන්නේ කියලා. අරුණලා ගොඩක් දුප්පත්. ඒ වගේම එයාලා ජීවත් වුණේ මුඩුක්කු පරිසරයක. එයාගේ පවුලෙත් තව ගොඩක් සාමාජිකයෝ හිටියා. මේ ඔක්කොම එක්ක බලද්දී වයස ප්‍රශ්නේ නොසැලකුවත් අපි දෙන්නගේ ගැළපීමක් නෑ. ඒත් මට අරුණ නැතිව ජීවත් වෙන්න බැරි වුණා. මම දන්න කෙනෙක් හිටියා ඉතාලියට මිනිස්සු යවන. මම එයාට සල්ලි දීලා අරුණව ඉතාලියට එව්වා. එයා ගිහින් මාස කීපයක් ගිහින් තැනක් හොයා ගත්තම මමත් ගෙදරට විදෙස් පුහුණුවකට යනවා කියලා ඉතාලියට ආවා. මගේ සුදුසුකම්වලට මට සතියක අධ්‍යාපන වීසා ලැබුණා. ඒ මීට අවුරුදු පහළොවකට කලින්. එහෙම ඇවිත් අපි මෙහේ කාලයක් සතුටින් හිටියා. මම මගේ රැකියාවෙ සුදුසුකම් අමතක කරලා මට ලැබුණ පොඩි රැකියාවක් කරා. අරුණටත් මෙහේ අවන්හලක රැකියාවක් ලැබුණා. මම හිතුවේ මොන දේ නැතිවුණත් මට මගේ ආදරේ ලැබුණා නේද කියලා. මම ආයෙත් ලංකාවට ගියේ නෑ. මට බෑ මගේ අම්මලාට මූණ දෙන්න. අරුණ නම් එයාට වීසා ලැබුණාම කීප වතාවක් ගිහින් ආවා. අරුණත් එක්ක මම එකට ජීවත් වුණාට අපි නීතියෙන් විවාහ වෙලා තිබුණේ නෑ. මම හැමවේලේම එයාට ඒක මතක් කලත් මොනා හරි දෙයක් ඇදගෙන එයා ඒක යටපත් කරලා දැම්මා. මට ආසාව තිබ්බා දරුවෙක් හදන්න අපේම කියලා ජීවිතයක් ගෙවන්න. අරුණ කීවේ ලංකාවේ ගෙයක් දොරක් හදාගෙන එහේ ව්‍යාපාරයක් පටන් ගමු හැමදාම මෙහේ ඉන්න බෑනේ කියලා. එයා එහෙම කීවම මමත් විශ්වාස කළා. මම මහන්සිවෙලා සල්ලි හෙව්වා. ඒ සල්ලි අරුණට දුන්නා. අපේ වියදමට ගත්තා. මම ඉතුරු කළේ නෑ තනිවම. මෙහෙම අපි එකට අවුරුදු දොළහක් විතර ගෙව්වා.
ඔය කාලේ ඇතුළත මම ලංකාවට ගියේ තුන් පාරයි. ඒ මගේ තාත්තා නැති වුණ වතාවෙයි. අම්මා ලෙඩින් හිටපු පාරකයි. තව නංගිගේ විවාහ මංගල්ලෙටයි. මම හිතුවේම මගේ ලෝකය අරුණ විතරමයි කියල. හැබැයි එයා නම් අවුරුද්දකට පාරක් ගිහින් එනවා. මම හැමදාම අරුණ එක්ක රණ්ඩු කළා දැන්වත් බඳිමු මට දරුවෙක් හදන්න ඕනේ කියලා. එයාට ඒ ගැන කිසිම උනන්දුවක් නෑ. මට තේරුණා අරුණ වෙනස් වෙලා බව. දවසක් මම එයාගේ ලිපි ගනුදෙනු වගයක් එයාට හොරෙන් බැලුවාම කවුද කාන්තාවකට මුදල් යවපු රිසිට් තිබ්බා. මම ඒ ගැන අහලා රණ්ඩු වුණා. එදා එයා මට ගැහුවා. මගේ වැඩවලට අත නොදා පාඩුවේ ඉන්න බැරිනම් එළියට බැහැලා යන්න කියලා. කැත වචනවලින් මට හොඳටම බැන්නා. “එක දවසක් එයා කාත් එක්කද කතා කර ඉඳලා මම එද්දී කතාව නැවැත්තුවා. මම ඒකට රණ්ඩු වුණා. එයා එදත් මට ගොඩක් කැත වචනෙන් බැනලා කිව්වා ‘නාකි ගෑනියෙක් එක්ක පවුල් කන්න ලෑස්ති වුණාට මට හොඳ පාඩම. අපි දැනගන්න ඕනේ අපිට ගැළපෙන අය හොයා ගන්න” කියලා. ඒ කතාව මගේ මුළු හදවතම කඩලා දැම්මා. මට ඇත්තටම එයාව එපා වුණා. මම මේ තරම් ආදරේ කරලා තියෙන්නෙ මගේ හැමදේම එපා කියලා ආවේ මේ වගේ අවස්ථාවාදී මිනිහෙක් එක්ක කියලා මම කෑ ගහ ගහ ඇඬුවා . මම අඬද්දීවත් එයා මට සමාවෙන්නවත් කීවේ නෑ”. මම හම්බකරපු හැම සතයක්ම වියදම් කළේ එයා වෙනුවෙන්. එයාගේ වැටුප ගේ හදන වැඩවලට කියලා එයා ලංකාවට යැව්වා. මේ අතරේ අරුණගේ අම්මට අසනීපයි කියලා පණිවුඩයක් ඇවිත් එයා හදිසියේ ලංකාවට ගියා. මම එයාගේ හැම දෙයක්ම ඇදලා හොයලා බලද්දී ගෑනු කෙනෙක්ගේ ෆොටෝ එකක් එක්ක ළමයෙක්ගේ ෆොටෝ එකක් තිබ්බා. මට සැක හිතුණ. දුරකථන අංකයත් මම අරන් තියන් හිටියා. මම ඒකට කතා කරාම ගෑනු කෙනෙක් කතා කළා. මම ඇහුවා ඔයා කවුද කියලා. එයා මගෙන් අහනවා ඔයා කවුද කියලා. මම කීවා මම අරුණගේ වයිෆ් කියලා. එයා මට බැන්නා පිස්සුද තමුසෙට කියලා. එයාලු අරුණගේ වයිෆ් කියලා. මම පිස්සු වැටුණා. මමත් ලංකාවට ගියා. මම අරුණගේ ගෙදර ගියා. එයා ගෙදර හිටියා. මාව දැක්ක ගමන් පුදුම වුණා. තව ගෑනු කෙනෙක් බබෙක් එහෙමත් හිටියා. මෙහේ ගෙයක් වගේම ලස්සනට ගේත් හදලා. මම ඇහුවා මේ කවුද කියලා. ඒ ගෑනු කෙනා අරුණගෙන් අහනවා “මෙයාද අර ඔයා කිව්ව පිස්සු එක්කෙනා. ඔයාගේ පස්සෙන් එන” කියලා. මට හිතාගන්න බෑ. අරුණත් ඒක අනුමත කළා. පස්සේ අරුණ කියනව ඔයාට පේනවනේ මට ලස්සන පවුලක් තියනවා අපිට අපේ පාඩුවේ ඉන්න දීලා යන්න” කියලා මම මොනවත් කීවේ නෑ ආපහු ආවා. පස්සේ හොයලා බලද්දී අරුණ මාත් එක්ක එනකොටත් ඒ ගෑනු ළමයා එක්කත් යාළුවෙලයි ඉඳලා තියෙන්නේ. මාත් එක්ක ඉන්න ගමන් තමයි අරයව ගිහින් බැඳලා තියෙන්නෙ. මම ආපහු මෙහෙට ආවා. අරුණ ආයෙත් ආවේ නෑ. මම ආයෙත් එයා ගැන හෙව්වෙත් නෑ. මට මිනිස්සු ගැන දැනෙන්නේ කියා ගන්න බැරි කලකිරීමක්. සැබවින්ම දේවිකාගේ අත්දැකීම ලැබූ ඕනෑම කෙනෙකුට මිනිසුන් ගැනත් ජීවිතය ගැනත් කලකිරීම පුදුමයක් නොවේ. එහෙත් අදටත් අරුණලා අඩුවක් නැත. ඔවුන් අනුන් ගේ ජීවිත විනාශ කරමින් යහතින් කල්ගෙවනු ඇත.
ලක්මිණි වෙදමුල්ල ඉතාලියේ මිලානෝ නුවර සිට
උපුටා ගැනීම ලක්බිම