අහිමි පෙම්වතා හදවතින් හිමිකරගෙන ඉතාලියට ආ මුදිතා
ඇගේ නම මුදිතාය. මට මුලින්ම මුදිතා හමුවූයේ මිලානෝ හි පිහිටි හිතවතකුගේ නිවසක ධර්ම දේශනයක් අසන්නට පැමිණ සිටි අවස්ථාවේදීය. ඉන්පසුව කිහිප විටක් විහාරස්ථානයේ විශේෂ පින්කම්වලදී ඇය දුටුවෙමි. බොහෝ පින්කම්වලට ඇය සහභාගි වන්නේ දැඩි කැපකිරීමකිනි. ඇය දුටුවිට ඇය හා සුහද වීමටත් කතා කිරීමටත් ඕනෑම කෙනකුට ඇති වන්නේ ස්වභාවික කැමැත්තකි. ඒ රිදුන තැවුන සිත් ඇත්තවුන් අතර ඇය නිවුණු සැනසුන අයුරින් දිවි ගෙවීම නිසාම වන්නට ඇත. මමද ඉතා ඉක්මනින් ඇය හා මිතුරු වූයෙමි. ඒ ඇගේ මේ නිවුණු ශාන්ත භාවයට ඇළුම් කළ හෙයිනි. මෙසේ සැනසීමෙන් දිවි ගෙවීමට ඇයට හැකි වූයේ කෙසේදැයි මම මිතුරු වී ටික දිනකදී ඇගෙන් විමසා සිටියෙමි.
“මම ලංකාවේ ගම්පහ පැත්තේ. ඉතාලියට ඇවිත් දැන් අවුරුදු කීපයක් වෙනවා. මගේ නැන්දාගේ දුව කාලෙක ඉඳලා ජීවත් වෙන්නේ ඉතාලියේ. එයාගේ මාර්ගයෙන් තමයි මම මෙහෙට ආවේ. ඇත්තෙන්ම මම ආවේ අනික් අය ආවා වගේ සල්ලි හොයන අරමුණෙන් නම් නෙමෙයි. ඒත් මම මෙහේ කාටවත් බරක් වෙන්න බැරි නිසා පොඩි රැකියාවක් කරනවා. ඒක මගේ එදිනෙදා වියදම්වලට, එහෙම නැතිව සල්ලි එකතු කරල පොදි ගහගෙන අනාගතේට ඉතුරු කරන්න මගේ කිසිම අදහසක් නෑ. අනිත් අය එක්ක බලනකොට ඔයාට වුණත් හිතෙනවා ඇති මම ජීවිතේ කලකිරිල පැරදිලා ගොඩක් දුකෙන් ඉන්න නිසා ආගමට ළංවෙලා තනියෙන් ජීවත් වෙනව කියලා. ඇත්තෙන්ම එහෙම නෙමෙයි. මගේ හිතේ අමුතු දුකකුත් ලෝකය එක්ක තරහකුත් නෑ. ඒත් මට ඕනේ වුණා මම ජීවත්ව හිටපු පරිසරය මාරු කරන්න. ඒකයි මම මෙහෙට ආවේ”. මගේ පවුලේ හිටියේ මමයි අයියයි විතරයි. මගේ අම්මා ගුරුවරියක්. තාත්තා තැපැල් ස්ථානාධිපති කෙනෙක්. අපිට පුංචිකාලේ ඉඳලම එහෙමට කියල දුකක් තිබ්බෙ නෑ. මම උසස් පෙළ කරලා ගෙදර නැවතිලා ටික කාලෙකින් මට පත්වීමක් ලැබුණා. ඒකට නියමිත පුහුණුවට මට අනුරාධපුරේ යන්න වුණා. මම අනුරාධපුරේ අපේ හිතවත් පවුලක් ළඟ නැවතිලා ඒ පුහුණුවට ගියා. සති අන්තේ මම ගෙදර ගියා. අපි යාළුවෝ කීපදෙනෙක්ම මෙහෙම ගියා. අපි ගියේ කෝච්චියෙන්. හරිම විනෝදජනකයි ඒ ගමන්. ඔහොම යන ගමනකදී තමයි මට කපිල මුණ ගැහුණේ. අපේ කෝච්චියේ දවසක් එයත් ගියා. එයා හරිම සුහදශීලී කෙනෙක්.අපිත් එක්ක ගොඩක් හිතවත් වුණා. කපිල සේවය කළේ අනුරාධපුරේ. එයා හමුදා නිලධාරියෙක්. අපිත් එක්ක හිතවත් වුණු කපිල පුළුවන් හැමවෙලේම අපිත් එක්ක එකතු වුණා ගමන් බිමන්වලට. එහෙම ගිහින් අපි දෙන්නා අතරේ ආදර සම්බන්ධයක් ඇතිවුණ. ඒ මගේ ජීවිතේ පළවෙනිම ආදර සම්බන්ධය. අපි හැමෝගේම කැමැත්තෙන් විවාහ වෙන්න දිනයක් දාගෙන මංගල්‍යයට එහෙම ලෑස්ති වුණා. ඒ අතරේදී තමයි කපිලට හදිසියේම මෙහෙයුමකට උතුරට යන්න වුණේ. එයා කිව්වෙ සතියකට විතරයි ඉක්මනට එනවා කියලා. ඒත් එයා ගිහින් දවස් තුනකින් අපේ ආයතනයට ඇමතුමක් ආවා එයාගේ යාළුවෙක්ගෙන් කපිල බෝම්බයකට අහුවෙලා අනුරාධපුරේට ගෙනාව කියලා. කපිලට දරුණු තුවාල සිද්ධවෙලා තිබ්බා. අනුරාධපුරයෙන් කොළඹට එයාව මාරු කළා. මාසෙකට කිට්ටුවෙන්න එයා දැඩි සත්කාර ඒකකයේ හිටියට පස්සෙයි ටිකක් හරි සුව වෙන තත්ත්වෙට හැරුණේ. ඒත් කපිල සාමාන්‍ය තත්ත්වයට පත්වුණේ නෑ. එයා කඩවසම් කෙනෙක්. ඒත් මේ අනතුරින් එයාගේ මූණ පැත්තක් පිච්චිලා විරූප වෙලා තිබ්බා. ඔය විදියට මාස ගාණක් එයා හමුදා රෝහලේ හිටියත් සම්පූර්ණයෙන් සුව වුණේ නෑ. වෛද්‍යවරු කිව්වේ එයාගේ ඉණෙන් පහළ කොටස සදාකාලිකව අක්‍රියයි කියලා. ඒක අහපු දවසේ නම් කපිල පොඩි දරුවෙක් වගේ ඉකි ගහ ගහ ඇඬුවා. මම මට පුළුවන් හැම මොහොතෙම කපිල එක්ක හිටියා. හැම සතිඅන්තෙම මම ගෙව්වෙ හමුදා රෝහලේ. කපිලට පුංචි තනිකමක්වත් දැනෙන්න නොදෙන්නයි මට ඕනේ වුණේ. අන්තිමේ එයාව ගෙදර එක්කන් යන්න කියලා වෛද්‍යවරු කිව්වා.
මාස ගාණකට පස්සේ කපිල රෝද පුටුවකින් එයාගේ ගෙදරට ගියාම එයාගේ අම්මට ඒ දුක වාවන්නේ නැතිව එයත් අසනීප වුණා. මම නම් හිත හදාගත්තේ එයා තාමත් ජීවත් වෙලා ඉන්නවා නේද කියලා. ඔය විදියට ටික කාලයක් ගෙවිලා ගියා. කපිල රෝද පුටුවකට වෙලා ජීවිතේ ගෙව්වෙ ගොඩක් අකමැත්තෙන්. මම මට පුළුවන් හැම වෙලේම එයාව එළියට එක්කන් ගියා. පොත් අරන් ගිහින් කියවන්න දුන්නා. ඒත් එයා හිටියේ සතුටෙන් නමෛයි. මට හිතුණේ ඒ තනිකම නිසා වෙන්න ඇති කියලා. කපිලගේ අම්මත් වයස නිසා එයාට කපිලගේ වැඩ තනියෙන් කරන්න බැරි බව මට තේරුණු නිසාම මම කපිලට යෝජනා කළා අපි විවාහ වෙමු කියලා. මම හිතුවා ඒක ඇහුවම එයා ගොඩක් සතුටු වෙයි කියලා. ඒත් එයා ඇහුවේ “ඔයාට පිස්සුද” කියලා. මට දුක හිතුණ ඇත්තටම මම දුකෙන් ඉද්දි එයා කිව්වේ “මුදිතා මට විවාහ ජීවිතයක් ගෙවන්න බෑ. මම දැන් ලෙඩෙක්. මට බෑ ඔයාගේ ලස්සන ජීවිතේ විනාශ කරන්න ඔයා මාව අමතක කරන්න” කියලා. මම ඒ ගැන හිතුවේ නෑ. මට ඕනෙ වුණේ ජීවිත කාලෙම කපිල බලාගෙන එයාගේ ළඟින් ඉන්න. ඒත් එයා ඒකට කමැති වුණේ නෑ. ඒ අතරේ මගේ දෙමව්පියෝ මට වෙන විවාහයක් හොයන්න ගත්තා. අයියගේ යාළුවෙක්ට මාව විවාහ කරල දෙන්න එයාල තීරණය කළා. මම මගේ දෙමවුපියෝ එක්ක නිතරම රණ්ඩු කළා. ඒත් එයාල වෙනස් වුණේ නෑ. අන්තිමේ මම ගිහින් බලහත්කාරෙන්ම කපිලගේ ගෙදර නතර වුණා. කපිල මට කාරුණිකව කිව්වා ආපහු ගෙදර යන්න කියලා. මම මගේ තීරණය වෙනස් කළේම නෑ. අපේ ගෙදර අය ඊට පහුවෙනිදා කපිලගෙ ගෙදර ඇවිත් එයාටත් අම්මටත් හොඳටම දොස් කීවා. මගේ අයියා කීවා. “අබ්බගාතයන්ට දෙන්න අපේ ගෙදර කෙල්ලෝ නෑ” කියලා. මම අයියට කෑ ගහලා බැන්නා. ඒත් ඒකෙනුත් කපිලගේ හිත හොඳටම රිදුණ කියලා මට තේරුණා. මාව එයාල බලෙන් ගෙදර එක්කන් ගියා. ඊට පහුවෙනිදා කපිලගේ අයියා කතා කරලා කීවා කපිලට අසනීපයි ඉක්මනට රෝහලට එන්න කියලා. මම රෝහලට යන කොට කපිලට හොඳටම උණ, ඒත් පහුවෙනිදා උදේ වෙනකොට කපිල අපි හැමෝම දමලා ගිහින්. කපිලගේ මරණයට හේතුව දුර්ලභ නියුමෝනියා තත්ත්වයක් කියලා තමයි වෛද්‍යවරු කිව්වේ. එයාගේ අවසාන ඉල්ලීම වුණෙත් එයාව අමතක කරලා වෙන කෙනෙක් එක්ක විවාහ වෙන්න කියලයි. ඒත් මට ඒ අවසාන ඉල්ලීම ඉටු කරන්න බෑ. කපිල මියගියාට පස්සේ මට අපේ ගෙදර අය ගැනත් ජීවිතය ගැනත් ඇතිවුණේ ලොකු කලකිරීමක්. මිනිහෙක් හොඳින් ඉන්නකොට එයාව පිළිගන්න මිනිස්සුම ඒ මනුස්සයා අසරණ වුණාම මොන තරම් වෙනස් වෙනවද? මම ගොඩක් ආගමට නැඹුරු වුණා. පන්සල් ගියා. භාවනා කරන්න පටන් ගත්තා. ටිකෙන් ටික මට මගේ හිත හදාගන්න පුළුවන් වුණා. ඒත් මට ඕනේ වුණේ මගේ ගෙදරින් ඈත් වෙන්න. ඒකයි මම මෙහෙට ආවේ. මම එයාලට දොස් කියන්නේ නෑ. මගේ ගෙදර අය හිතන්න ඇත්තේ මගේ අනාගතය ගැන. ඒත් එයාල කලබල නොවුණා නම් ආබාධිත විදිහට හරි කපිල අදත් මාත් එක්ක ඉන්නවා නේද කියලා මට සමහර වෙලාවට හිතෙනවා. ඒ වගේම මට දැන් හිතෙනවා අයියා කපිලට අර විදිහට බැන්න එකෙන් එයා හුඟක්ම මානසිකව වැටෙන්න ඇති. එහෙම බරපතළ විදිහට මානසිකව වැටුණම කායික ප්‍රතිශක්තියන් පහළ බහින බව මම අහලා තිබුණා. මම හැමදාම මෙහෙම ජීවත් වෙනවා. මම දුකෙන් නමෛයි. මේ ජීවිතය මට සැනසීමක්. මගේ හිතේ හැමදාම කපිල ඉන්නවා. මම එයා වෙනුවෙන් පින් දහම් කරනවා. ආයෙත් මම ඉපදෙනවනම් කපිලවම මට ලැබෙන්න කියලා මම හැමදාම ප්‍රාර්ථනා කරනවා.
උපුටා ගැනීම ලක්බිම පුවත්පත