Biz Log
Classifields
Biz Log
Classifields

කඳුළු සුසුම අතරින් ජීවිතේ පිරිලා අඳුරින්

කඳුළු සුසුම අතරින් ජීවිතේ පිරිලා අඳුරින්

මේ කතාව අද ඊයෙ සිදුවෙච්ච කතාවක් නෙවෙයි. අවුරුදු කිහිපයකට පෙර කතාවක්. ඒත් මේ කතාව සංවේදී කතාවක්. මම දන්නෙ නෑ ඔබට කොහොම දැනේවිද කියලා. ඉතින් අපි පටන් ගමු ඒ කතාව. මාව අලුත් වාට්ටුවකට අනුයුක්ත කරලා තිබුණා. ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනය පුරා පිරිලා තියෙන තණකොළ බිස්ස දිගේ මම ඇවිද ගෙන ගියා අලුත් වාට්ටුවට. වාට්ටුව පේන දුරදී මම විපරමින් බැලුවා. රෝගීන් කිහිපදෙනෙක් වාට්ටුව ඉදිරියේ සාදා ඇති විවෘත ගොඩනැඟිල්ල පුරා ඇවිදිනවා. මේ අය අතරින් මගේ ඇස්දෙක ඇදිලා ගියා කෙනකුට. ඒ ගැහැනු ළමයා කෙට්ටු, තලෙළු ආකර්ෂණීය පෙනුමක් තියෙන ලස්සන කෙනෙක්. “ඇයි මෙයා මෙතැන?” මටම හිතුණා. එයා ඇඳලා හිටපු සුදුපාට පසුබිමේ කොළපාට බෝල වැටුණු ගවුම, සුදුපාට සෙරෙප්පු දෙක, ඒ වගේම ඒ මුහුණෙ තිබුණු වේදනාත්මක විඩාකාරී පෙනුම එක බැල්මකින්ම මම දැක්කා. මම සියලු දෙනාටම සුහදශීලීව හිනා වුණා. ඇය දුවගෙන ඇවිත් මගේ අතින් අල්ලා ගත්තා. “මිසී මේ වාට්ටුවෙ නෙවෙයි නේද?” “අද ඉඳලා මෙහේ ඔයාලත් එක්ක.” මම එයාට උදේ‍යාගයෙන් කිව්වා. සියලුම දේ පැත්තකින් තියලා එයාට සවන් දෙන්න මට සිදුවුණා. එයාගෙම ඉල්ලීමක් විතරක් නෙවෙයි, මටත් ඕන වුණා උදවු කරන්න. අපි රෝගීන් බලන කාමරේට ගියා නිදහසේ කතා කරන්න. අපි ඇයගේ නම දිනුෂා කියලා කියමු. අහන්න මේ ඇගේ කතාව...

“දිනුෂා ඉතින් කොහොමද ඔයාට දැන්?”

“මොනවා කරන්නද මට ඇතිවෙලා... මට ඔයාවත් කියන්න මිස්...” ඇගේ වේදනාත්මක සුසුම් කඳුළුවලට මුසුවෙලා ඒ කඳුළු ඉකිබිඳුම කුණාටුවක් වෙලා මම බලාගෙන සිටියා...

“මට මගේ පුංචි සුරංගනාවි ගෙනත් දෙන්න...” ඇය විලාප දුන්නා. වාට්ටුවේ සේවිකාවො දුවගෙන ආවා. ඇය බිත්තියේ ඔළුව ගහගන්න හදනවා. මම එයාව අල්ලගෙන තුරුලු කර ගත්තා. කුණාටුව ඉකිබිඳුමකට හැරිලා හෙමිහිට නතර වුණා. ඒත් කඳුළු ගංගාවක් නෙත් කොන්වලින් කඩා හැළුණා.

“දිනුෂා... ම්... මොනවද වුණේ?, කියන්න මට...” ඇය කතාව පටන් ගත්තා.

“මම කොළඹට එහා ගමක ළමයෙක්. මගේ පවුලෙ අක්කයි, මමයි, නංගියි හිටියේ. අපේ තාත්තා බිස්නස් එකක් කළේ. අම්මා මොනවත් කළේ නැහැ. අපිව ජීවත් කරන්න අපට ඕන දේ දෙන්න තාත්තට පුළුවන් වුණා. අපි ගියේ ගමේ ඉස්කෝලෙට. මගේ අක්කා හරිම සැරයි. කොල්ලෙක් වගේ. දැනුත් එහෙමයි. පුතෙක් වගේ එයා ගෙදරට. නංගි ගොඩාක් ලස්සනයි. අහිංසකයි. එයාටත් අම්මයි තාත්තයි ගොඩාක් ආදරේ කළා...”

“ඔයා...”

“මම ඒ දෙන්නට මැදිවෙලා හිටියේ... අම්මවත් තාත්තවත් මට එච්චරම සමීප වුණේ නැහැ. දවස පුරා ඉස්කෝලෙ ගිහින් සිද්ධ වෙච්ච දේවල් ගෙදර ඇවිත් කියවන්නට මට ඕන වුණා. ඒත්... ඒත් මම කියන දේ අහන්න කෙනෙක් හිටියේ නැහැ. ඉතින් මම පුරුදු වුණා. මම ඊට පස්සෙ ඉස්කෝලෙ ඇරිලා ගෙදර ආවෙ ටිකක් පරක්කු වෙලා...”

“මොනවද පරක්කු වෙනතුරු කළේ...?”

“යාළුවොත් එක්ක වෙරළු ඇහිඳින්න, අඹ කඩන්න... ලොවි කඩන්න ගියා... ඇළවල් අයිනෙ මල් කඩන්න, කොළ එකතු කරන්න...”

“ඉතින්...”

“මට ලස්සන ලස්සන පුංචි අත්කම් නිර්මාණ කිරීමේ අපූරු හැකියාවක් තිබුණා. හැමදාම අත්වැඩවලට ලකුණු ගොඩාක් ලැබුණා. මම ගෙදරට පාරෙදි එකතු කරගන්න දේවල් ගෙනියලා මල් කූඩ, ලස්සන සුබපැතුම්පත් වගේ ඒවා හැදුවා. ඒකෙන් තමයි මම සතුටු වුණේ... ඊට පස්සෙ මම O/L කළා පාස් වුණා. A/L කලා විෂයයන්වලින් කළේ. A/L කරලා ඉවර වෙනවත් එක්කම මට හිතුණා ගෙදරට බරක් නොවී ඉන්න. මම මැහුම් පන්තියකට ගියා. හොඳට මැහුම් ඉගෙන ගත්තා. මගේ ආසාව නිසාම මට ඒක හොඳට පුළුවන් වුණා.

“ඉතින් ඊට පස්සෙ මොනාද වුණේ?” මම කතාව ගෙනියන්න උදවු වුණා.

“මම හැමදාම ගෙදරින් කොන්වෙලා හිටියේ. ඉතින් මම පුරුදු වුණා ළිඳ ළඟ අයිනක තියෙන කානුවෙ ඉන්න මාළු පැටව් බලන්න යන්න. එයාලට කෑම දෙනවා... වෙලේ නියර දිගේ ඇවිදිනවා... මට ඕන වුණා රස්සාවක් හොයා ගන්න...”

“ඉතින්...”

“මට රස්සාවක් හම්බ වුණා අත්කම් නිර්මාණ කරන ගාමන්ට් එකක. මාව මුලින්ම ගත්තෙ ඒ ගොල්ලො දෙන සාම්පල් එකේ ඒවා හදන තැනට. ඒත් ටික දවසක් යද්දි මගේ දක්‍ෂකම අඳුර ගත්ත නිසා මාව ඩිසයිනර් කෙනෙක් විදියට තෝර ගත්තා. ඊට පස්සෙ මට තිබුණෙ අලුත් නිර්මාණ හඳුන්වලා දෙන්න.”

“මොනවගේ ඒවද දිනුෂා...”

“ලස්සන කාඩ් ඩිසයින් කරන්න... මල් පෝච්චිවලට රූප, කැටයම් ඒ වගේ හැම දේම... මං හරිම සතුටින් හිටියේ. මේ අතරෙදි තමයි මට ඉන්දික හමුවුණේ... එයා මගේ සුපවයිසර්, එයා මගේ ගැන උනන්දු බව මට තේරුණා. ඒත් මම දන්නෙ නෑ වගේ හිටියා...”

“ඇයි ඒ...”

“අපේ ආයතනයේ නීතිය අනුව එහෙම සම්බන්ධකම් ඇතුළෙ අයට තියෙන්න බැහැ. මම බය වුණා රස්සාව නැති වෙයි කියලා. මම මේ වෙනකොට ගෙදරට ගොඩක් උදවු කරගෙනයි හිටියේ තාත්තත් අසනීපෙන් හිටිය නිසා. ඒත් මගේ එයාට කැමැත්තකුත් තිබුණා. මම නිතරම එයාව මඟහරින්න උත්සාහ කළා. එහෙම කරන්න එයා මාව තවතවත් නිතරම ගෙන්නුවා රාජකාරි වැඩවලට. සමහර වෙලාවට සැර කළා.

ඉතින්...

“ඊට පස්සෙ ටික ටික මං එයාට කැමැති වුණා. අපි වගේ නෙවෙයි. එයාලට ගොඩක් සල්ලි තියෙනවා. අම්මයි එයයි හිටියේ. තාත්තා නැතිවෙලා. ඉතින් එයාලගෙ ගෙදරින් මට කැමැති වුණේම නැහැ. අපි ගොඩාක් දුක් වින්දා ආදරේ හින්දා. එයා රස්සාවෙන් අයින් වුණා. එයා ඊට පස්සෙ ඉතාලි ගියා. ගිහින් හිටියා. ඊට පස්සෙ එයාලගෙ අම්මා එන්න කියලා අපිට කැමැත්ත දුන්නා. චාම් ලස්සන වෙඩින් එකක් ගත්තා. එයා අපිටම ගේ හැදුවා. ලොකු ගෙයක්. මට කිසිම දෙයක අඩුවක් තිබුණෙ නැහැ. එයා මට රස්සාවට යන්න දුන්නෙ නැහැ. මම ගෙදර ලස්සනට මල් වැව්වා. ගේ ලස්සන කළා. අවුරුද්දක් ගියා. අපිට බබාලා නෑ. නැන්දම්මා විතරක් නෙවේ හැමෝම ඇහුවා. අපේ ගෙදරට පවා ලොකු ගැටලුවක් වුණා. මං කොන් වුණා. තනි වුණා. මට ඉන්දික විතරයි හිටියේ එයා මගේ හිත හැදුවා. අපි දෙන්නා ලංකාව පුරාම ඉන්න ඩොක්ටර්ස්ලා ළඟට ගියා. අන්තිමේදී ආපහු ඉතාලි යන්න එයා තීරණය කළා. අපි දෙන්නම ඉතාලි ගියා. ගිහින් එහේ ගෙයක් අරගෙන හිටියා. මම ගෙදර හිටියේ. එයා වැඩට ගියා. ඒ කාලෙ එයා එක්ක වැඩ ඕෆ්වෙලා එකටම ලස්සන ගෑනු ළමයෙක් ආවා. එයා මාව කේන්ති ගස්සන්න නිතරම ඒ ළමයත් එක්ක යාළුයි කියන්න පටන් ගත්තා. මටත් ඒක විහිළුවක් වුණා. ඉතාලියේ ඉන්දෙද්දි මම ප්‍රෙග්නන්ට් වුණා.” ඇය සීමාවක් නැතුව ඇති පීඩනය පිටකරගෙන ගියා. මම හොඳින් අවධානයෙන් අහගෙන හිටියා.

“ඉතින්...”

“ඉතින් අපි ලංකාවට ආවා. බබා ලැබෙන්න ඉන්දෙදිම මට එක එක විදියේ දේවල් වුණා...”

“එක එක විදියේ දේවල්...”

“ඔව් මිස්... මට ජීවිතේ එපා වුණා. ජීවිතේ නැති කරගන්න හිතුණා. හස්බන්ඩ් මට ආදරේ නෑ කියලා හිතුණා...”

“හ්ම්... හ්ම්...” ඒකට මොනවද කළේ?”

“මාව මනෝ වෛද්‍යවරයකුට පෙන්නුවා. බෙහෙත් ගත්තා. බබාව හම්බ වුණේ සීසර් කරලා.”

“බබා හම්බ වුණාට පස්සේ...?”

“ඒත් මගේ වෙනස්කම් තිබුණා. බබාට මං ආදරේ කළා ගොඩාක්. මට දැනෙන්න ගත්තා මගේ මහත්තයා මගෙන් අෑත්වෙනවා කියලා...

“මොන වගේද?”

“එයා බබාට විතරක් ආදරේ වගේ දැනුණා. එයාට ආයෙම රට යන්න ඕන වුණා. ඒ දවස්වල අපේ ගෙදරත් තව වැඩ ටිකක් තිබුණා. ඒ නිසා මං අකැමැත්තෙන් හරි කැමැති වුණා...”

“ඒ බබා ලැබුණ දවස්වල ඔයාට මොනවද දැනුණේ?”

“දුවව දැක්කම සතුටු හිතුණා. එයා හරිම ලස්සනයි. ඒත් මට හරියට මහන්සියක් දැනුණා. මට වැඩ කරගන්න ශක්තියක් තිබුණෙ නෑ. අම්මලා දෙන්නම හිටියා උදවුවට. බබාවත් මාවත් බලා ගත්තා.”

“එතකොට බෙහෙත්...”

“බෙහෙත් ගත්තා ආයෙම. ඒත් බෙහෙත්වලටත් වඩා අම්මලා උනන්දු වුණේ ශාන්ති කර්ම කරන්න.”

“බෙහෙත් බිව්වද ඔයා...”

“හරියටම පෙව්නෙ නැහැ.”

“ඉතින් ඊට පස්සෙ මොකද වුණේ?”

මම හස්බන්ඩ්ට කෝල් කරන හැමවෙලේම එයා වැඩ කියලා ෆෝන් එක කට් කළා. කතා කළේ හරිම අඩුවෙන්. මම අර ගෑනු ළමයා ගැන ඇහුවා. එයා හිනාවෙවී උත්තර දුන්නා. මගේ හිත මට කියන්න ගත්තා එයා ඒ ගෑනු ළමයත් එක්ක යාළුයි කියලා.”

“මොනවගේ හේතු හින්දද ඔයාට එහෙම හිතුණේ?”

ඇය ටික වෙලාවක් කල්පනා සහගතව සිටියා. ඇස් බිමට හැරුණා. “එයා හැමවෙලේම වැඩ කියපු නිසා. වැඩි වෙලාවක් වැඩ කරන්නෙ ඒ ළමයා ඉන්න නිසා කියලා මට හිතුණා.”

“එයා කතා කළේම නැද්ද?”

“නැහැ මිස් එයා ඔෆිස් ගිහින් ඇවිත් රෑට කතා කළා. එයා ඕවර්ටයිම් වැඩ කරනව කියල කිව්වා. මම කිව්වා අපිව ගෙන්න ගන්න කියලා එහෙට. එයා කැමැති වුණේ නැහැ. එයා මගේ සැකය තවත් වැඩි කළා. දුවගෙ අවුරුද්දෙ උපන්දිනේටත් තාත්ති හිටියෙ නැහැ. මම ලස්සනට උපන්දිනේ කළා. ළමා නිවාසෙකට දානයක් දුන්නා. පන්සල් ගියා. හැමදේම කළා. අම්මලට හැමවෙලේම ඉන්න බැරි නිසා අපි සර්වන්ට් කෙනකුත් ගත්තා. බබාට අවුරුදු එකහමාරක් විතර වෙනකොට ඉන්දික ඇවිත් ටික දවසක් ඉඳලා ගියා. එයා ගියපු දවසෙ මට සිහිය නැති වුණා.”

“සිහිය නැතිවුණා කියන්නෙ?”

“කල්පනාව නැති වුණා. බලාගත්ත අතේ බලාගෙන හිටියලු. අම්මලා සෙත් ශාන්ති කළා. එතකොටයි ටිකක් හරි ගියේ.”

“ඩොක්ටර් ළඟට ගියේ නැද්ද?”

“නැහැ. බෙහෙත් පුරුදු විදියටම ගත්තා...” “ඊට පස්සෙ දුවට අවුරුදු දෙක වුණා. මගේ පුංචි සුරංගනාවී එන්න එන්නම ලස්සන වුණා. හුරතල් වුණා. අපි දෙන්නා සෙල්ලම් කළා දවසම. මගෙ මුළු ලෝකෙම වුණේ එයා. ඒත් සමහර වෙලාවට මට දරාගන්න බැරි ඔළුවෙ කැක්කුමක් ආවා. මං ඒ වෙලාවට සැලෝන් එකට ගිහින් හෙඩ් මසාජ් එකක් කර ගත්තා. මෙහෙම කාලය ගෙවුණා. ඉන්දිකයි මගෙයි අතරෙ ආදරේ අඩුවෙනවා කියලා මට දැනෙන්න ගත්තා. හැම වෙලේම මං හරි නොසන්සුන්වයි හිටියේ. මට තරහා ආවා. සමහර වෙලාවට දුවටත් සැර කළා.”

“එහෙම හිතන්න විශේෂ හේතු තිබුණාද?”

“නෑ කලින් විදියමයි. මට මේ ජීවිතේ ඇති කියලා හිතුණා. එපා වුණා. හෙමින් හෙමින් ඒ දවස ළං වුණා. මට එදා හිතුණා මේ ඔක්කොම දාලා මගේ පුංචි සුරංගනාවිත් එක්ක ඉගිල්ලිලා යන්න. මං සර්වන්ට් එක්ක රණ්ඩුවෙලා ගෙදරින් යැව්වා එයාව. ඊළඟට ටවුමට ගියා. මගේ අතේ සල්ලි තිබුණෙ නැහැ. මඟුල් මුද්ද උකස් තිබ්බා. තියලා ඒ සල්ලිවලින් රතු පාටයි, සුදු පාටයි බැලුන්, රිබන් සෙලෝටේප් ගත්තා. දුවටයි මටයි සුදුපාට ඇඳුම් දෙකක් ගත්තා.”

“රතුපාටයි සුදුපාටයි ගන්න හේතුව“

ඇය ඉකිබින්දා.

“ආදරේ පාට රතුපාට - වෙන්වීම වියෝගයේ පාට සුදුපාට" ඊළඟට මමයි දුවයි මුළු ගේම බැලුන් එල්ලලා රිබන්වලින් බෝ හදලා හැඩ කළා. ඊළඟට මගේ බෙහෙත් ඔක්කොම කුඩු කළා. කුඩු කරලා අයිස්ක්‍රීම්වලට දැම්මා. දුවට කන්න දීලා මාත් කෑවා. දුව කන්න බෑ කිව්වා මිස්, තිත්තයි කියලා. මම කටට එකක් ගහලා කැව්වා... ආයෙම පියවි සිහිය හරියටම එනකොට ඒ කිව්වේ මගෙ කල්පනාව එනකොට මම මෙතැන. මම මෙතැන... මාව දාලා මගේ පුංචි සුරංගනාවි සදහටම යන්න ගිහින්...” ඒ ඇගේ කඳුළු සුසුම් අතරින් ගලා ගිය ඇගේම කතාවයි. මම අසා සිටියා පමණයි. මෙම සිද්ධි දාමයේ හරි වැරැදි හෝ අඩුපාඩු තේරුම් ගැනීම මා ඔබටම පවරනවා. සෙමින් ඇගේ තොරතුරු සොයා බැලීමේදී ඇය වේදනාවෙන් දුකෙන් ගත කළ කාලයක් මෙන්ම අධික සතුටින් පී්‍රතියෙන් මුදල් වියදම් කරමින් ගතකළ කාලවල්ද තිබූ බව දකින්න ලැබුණා. ඇයගේ මෙම රෝග තත්ත්වය ද්විධ්‍රැව මනෝභාව රෝග තත්ත්වය ලෙස වෛද්‍ය විද්‍යාත්මකව හඳුන්වනවා. මෙහිදී රෝගියා අධික සතුටු අන්තයත් අධික දුක් අන්තයත් අතරත් දෝලනය වනවා. රූපය, කාලය, මනෝ භාවය, අධික සතුටු කාලය උන්මාද තත්ත්වයක් පෙන්වන අතර මෙහිදී අධික ක්‍රියාශීලීත්වය, අධික ලිංගික ආශාව, නින්ද නොයෑම, අධික සතුට, වියදම් අධික බව, තමා පිළිබඳ අනවශ්‍ය තරම් ආත්මාභිමානය යන ලක්‍ෂණ හා අධික දුක් අවධියේ විශාදය තත්ත්වයක් පෙන්වනවා. සෑම දෙයකම අයහපත පමණක් දැකීම, ආහාර අරුචිය, නින්ද නොයෑම හෝ අධික නින්ද, අධික වෙහෙස හා අලස බව, කාංසාව වැනි තත්ත්වයන් දක්නට ලැබෙනවා. මෙවැනි තත්ත්වයකදී ඔෟෂධ ප්‍රතිකාර සහ නිවැරැදි උපදේශනය හා මඟපෙන්වීමත් රෝගියා පිළිබඳ අන් අයගේ අවධානය සහ උපකාරද ඉතා වැදගත් වෙනවා. එමෙන්ම රෝගියාගේ ඔෟෂධ පිළිබඳ වගකීම අවබෝධයෙන් යුතු අයකු කළ යුතු බව දැනටමත් ඔබට පැහැදිලි ඇතැයි මා විශ්වාස කරෙනවා. කෙසේ වෙතත් පාඨක ඔබ මෙම කතාවේ අවසානය පිළිබඳ කිසියම් කුතුහලයකින් පසුවන ඇතැයි මා විශ්වාස කරනවා. ඒ නිසාම මෙහි අවසානය කෙසේ සිදුවී දැයි මා ඔබ වෙනුවෙන් සටහන් කරන්නම්.

දිනුෂාත්, ඇගේ පවුලේ සාමාජිකයන් හා ඉන්දික (ඇගේ ස්වාමිපුරුෂයා) සමඟ කතා කිරීමෙන් ඔවුන්ට මෙය ඇගේ වරදක් නොවන බවත් රෝගී තත්ත්වය මත සිදුවූ සිදුවීමක් බවත් අවබෝධ කරදීමට අප සමත් වුණා. විදේශගත වී සිටි ඉන්දික නැවැත ගෙන්වා ඇගේ වගකීම් ඔහුට පවරා දීමටත් වෙන්වීමට ගිය පවුල් ජීවිතය යළි ගොඩනඟා ගැනීමට ශක්තියක් වීමටත් අපට හැකි වූ අතර ඔහු ඇයට ඔහුගේ ළඟින්ම තබා ගැනීමටත් අහිමි වූ දෙය උපේක්‍ෂාවෙන් බැලීමටත් අලුත් අමුත්තකු කැදැල්ලට කැඳවා ජීවිතය අලුත් කර ගැනීමේ බලාපොරොත්තුවෙන් යුතුව ඔවුන් අප රෝහලෙන් පිටව ගිය අතරම මේ වන විට සාර්ථක ප්‍රතිකාර මැද සියලුම නීතිමය ගැටලු විසදා ගනිමින් ජීවිතය යහපත් සුබදායී මාවතකට ගෙන යෑමටත් ඔවුනට හැකි වූ බව මා ඔබට පවසන්නේ වෘත්තීමය ජීවිතේ මා ලද විශාල තෘප්තිමත් හැඟීමකින් යුතුවමයි.

උපුටා ගැනීම මව්බිම පුවත්පත

Share This Article