මම අද හිරේ ඉන්නේ මගේ නීතිඥයා නිසයි
මා ඉදිරිපස මිටි බංකුවේ අසුන්ගෙන සිටින්නේ වයස අවුරුදු හතළිහක පමණ පෙනුමැත්තෙනි. වසර හතක් තිස්සේ මහ උළු ගෙදර බත්කන ඔහුට කියන්නට කතාවක් ඇත. ඇතැමුන් සත්‍යම පවසන්නේ නැත. එහෙත් මේ මිනිසා ඇස නැඟෙන කඳුළු පිසිමින් පවසන්නේ තමන් නිවැරැදි බවය. සුදු කොට කලිසමත්, කාටත් හිමි අත්කොට සුදු කමිසයත් හැඳ සිටින ඔහු වෙතින් යම් වැදගත්කමක් ද දිස්වන්නේය. එහා මෙහා යන රැඳවියන් අතර කාර්යාලයීය කටයුතු කරන සෙසු නිලධාරීන්ගේ සද්ද බද්ද අතරම ඔහු තම කතාව කියන්නේය. එය එක්තරා අන්දමක පාපොච්චාරණයක් බඳුය.
දකුණු පළාතේ උපන්න මම ඉගෙනකියා ගත්තේ බොහොම අමාරුවෙන්. අපේ පවුලේ ඔක්කෝම පස්දෙනයි. උසස් පෙළ දක්වා ඉගෙන ගත්ත මම ඉන් පස්සේ අපේ ගමේ නගරයේ පුංචියට රෙදිපිළි සාප්පුවක් ආරම්භ කළා. මගේම උත්සාහය නිසා එය දවසින් දවස දියුණුවට පත්වුණා. සේවිකාවෝ දෙතුන් දෙනෙකුත් මේ අතර සේවයට ගත්තා. මම විවාහ වුණේ යෝජනාවකින්. ඒත් එයා මට හොඳටම ගැළපුණා. ඒ වෙනෙකාට අපේ ටවුමේ තිබුණ හොඳම රෙදිපිළි සාප්පුව මගේ. මම මිනිස්සු තෝරන්න බේරන්න ගියේ නැහැ. හැම කෙනෙකුම වෙග් ආශ්‍රය කළා. අපේ ගමේ අය සමහර වෙලාවට රස්සාවල් හොයාගෙන මගේ ළඟට ආවා. මේ කාලේ වෙනකොට මට දරුවෝ තුන්දෙනෙක් හිටියා. එතකොට මගෙ වයස අවුරුදු හතළිස්නවයයි. දවසක් මම අඳුනන කෙනෙක් මා හමුවෙන්න ආවා. ඔහු ආවේ අවුරුදු විසිතුනක පමණ වූ ගැහැනු ළමයෙකුත් සමඟ. “අනේ මහත්තයා මෙන්න මෙයාට මහත්තයගේ රෙදි සාප්පුවේ රස්සාවක් දෙන්න. මේ ළමයින්ට ජීවත් වෙන්නත් හරි අමාරුයි.” හිතවතාගේ කීමට මම ඒ තරුණියව සේවයට ගත්තා. ඒ වන විට මගෙ ළඟ තවත් තරුණියන් හතරදෙනෙක් සේවය කරමින් සිටියේ. මේ කියන තරුණිය මගේ ළඟ රස්සාවට ඇවිත් මාස තුනකට විතර පස්සේ පොලිසියෙන් මාව සොයාගෙන පැමිණියා. “මම පුදුම වුණා... පොලිසියෙන් මාව සොයාගෙන පැමිණි විට.” “ඔබට විරුද්ධව ස්ත්‍රී දූෂණ පැමිණිල්ලක් තියෙනවා” පොලිසියෙන් එහෙම කිව්වම මට සිදුවී ඇත්තේ කුමක්ද කියලා සිතාගන්න බැරිවුණා. නමුත් අර අලුතෙන් සේවයට පැමිණි තරුණිය පොලිසියේ පැමිණිල්ලක් දාලා මම ඇයව බලෙන් දූෂණය කළ බව කියලා. ඒ සමඟම ඇය ලේ තැවරුණු යට ඇඳුම් ද ඉදිරිපත් කරලා. මේ සිද්ධිය සම්බන්ධව මගේ කිසිම සම්බන්ධයක් නැති බව කිව්වත් පලක් වුණේ නැහැ. එම තරුණිය යහළුවෙලා හිටිය හමුදාවෙන් පැන ආ සෙබළා මා හමුවී කිව්වා මේ සිද්ධිය අතහැර දමන්න නම් රුපියල් ලක්ෂ දහයක් දෙන්න කියා. මං කොහොමද මං නොකරපු වැරැද්දකට එහෙම කරන්නේ. මම පොලිසියට කිව්වා ඔවුන් මගෙන් කප්පම් ඉල්ලන බවත්. මේ අතර තරුණියව වෛද්‍ය පරීක්ෂණයකට භාජනය කෙරුණා. නඩුව දිගින් දිගටම විභාග වුණා. ඇය වෙනුවෙන් ඉදිරිපත් වුණු වෛද්‍ය සහතිකයේ තිබුණේ ලිංගික සංසර්ගයේ නොයෙදී ඇති බවත්, ඉදිරිපත් කළ ඇඳුම්වල ඇත්තේ තරුණියගේ මාසික ඔසප් රුධිරය බවයි. නමුත් මේ මත තර්ක බිඳිමින් නඩුවෙන් මා ගලවා දමන්නට මගේ නීතිඥ මහත්මයාට නොහැකි වුණා. ඔහුට මා මුදල් වියදම් කළා. රුපියල් ලක්ෂ හතළිහකට වඩා නඩුවට වියදම් කරන්න ඇති. නමුත් අර තරුණිය උසාවියේදී කියා සිටියේම මම ඇය දූෂණය කළ බවයි. අධිකරණ වෛද්‍යවරයාගේ වෛද්‍ය සහතිකය අනුව තර්ක බිඳිමින් මේ නඩුවේ විත්තිකාරය වෙච්ච මට සාධාරණය ඉටුකර දෙන්න මගේ නීතිඥයාට නොහැකි වුණා. මට අච්චු කරන දවසේ නඩුකාර ආසනයේ හිටියේ කාන්තාවක්. කොහොම හරි මට අවුරුදු දොළහක දඬුවමක් නියමවුණා. එදා උසාවියේ හිටපු හැම නීතිඥ මහත්මයෙක්ම කිව්වේ මගේ නීතිඥයාගේ තිබෙන දුර්වලකම නිසා මට දඬුවම නියම වුණ බවයි.
මේ සිද්ධිය නිසා මගේ විවාහ ජීවිතයත් දෙදරා යන්න පටන්ගෙන තිබුණේ. නමුත් මගේ බිරිය හැම නඩු වාරයකම උසාවියට ආවා. ඇය තේරුම් ගත්තා මම නිවැරැදියි කියලා. මමයි මගේ හිතයි පමණයි දන්නේ මම නිවැරැදියි කියලා. වැලිකඩ හිරගෙදරට ආවට පස්සේ මම ඇපිල් කළේ නැහැ. ඒ වන විට අපි නඩුවලට වියදම් කරන්න පුළුවන් තත්ත්වයක හිටිෙය් නැහැ. මගේ ජීවිතය හිරගෙදරට සීමා වුණා. මගේ ව්‍යාපාරය බිඳවැටුණා. බිරිය ඒ ගොඩනැඟිල්ල කුලියට දීලා තමයි ජීවත් වෙන්නේ. මම අවුරුදු පහකින් මගෙ දරුවෝ දැකලා නැහැ. මම බිරියට කිව්වේ ඔවුන්ව හිරගෙදරට ගේන්න එපා කියලා. හිරගෙදරට ඇවිත් මාස හයක් විතර මම ඇඬූ කඳුළින් හිටියේ. මට මොනම විදිහටවත් මගෙ හිත හදාගන්න බැරි වුණා. මම පාසල් යන කාලෙවත් ගෑනු ළමයින්ට අනවශ්‍ය විහිළු කරපු කෙනෙක් නෙමෙයි. සමාජය මාව දන්නවා. මම අවුරුදු ගාණක් නගරයේ වෙළෙඳාම කළා. ඒත් කෙල්ලෙක්ගෙ අතකින් අල්ලලාවත් බ්ලැක් මාර්ක් වෙලා හිටියේ නැහැ. නීතිය හරියට ක්‍රියාත්මක වුණා නම් අද මට මෙහෙම දුක්විඳින්න වෙන්න ලැබෙන්නේ නැහැ. මම ජ්‍යෝතිෂය විශ්වාස කරනවා. ඒ වෙනකොට මට සෙනසුරු ලබලා තිබුණේ. තවත් අවුරුදු කිහිපයක් මට මෙහෙම ඉන්න වෙනවා. දැන් මගෙ ඇස් පේනවා අඩුයි. මේ වෙනකොට මගෙ වයස අවුරුදු පනස්හයයි. කවුරුවත් විශ්වාස කරන්නෙත් නැහැ මට පනස් හයයි කිව්වට. ජිවිතේ කියන්නේ මහ පුදුම දෙයක්. සැප ජීවිතයක් ගතකළ මට අද හිරගෙදර නන්නාඳුනන මිනිස්සුත් එක්ක බොහෝම දුක්ඛිත ජීවිතයක් ගත කරන්න සිදුවෙලා. තව අවුරුදු තුන හතරකින් මට එළියට යන්න පුළුවන්. මට රුපියල් ලක්ෂ දෙකක දඩ මුදල් ගෙවන්න තියෙනවා. ඒක ගෙවා ගත්තොත් මගේ දඬුවම මාස හතර දක්වා අඩුවෙනවා. මගෙ බිරියට වත්කමක් නැහැ රුපියල් ලක්ෂ දෙකක් ගෙවන්න. කාට හරි කිව්වොත් ඒ මුදල මා වෙනුවෙන් ගෙවන්න ඉදිරිපත් වේවි. නමුත් මට එහෙම වුවමනාවක් නැහැ. සෙනසුරු විෂ්ණු දෙවියන්ටත් බටකොළ කැව්ව නම් මටත් මෙය විඳින්නම වෙනවා. මං කැමැති නැහැ අනුන්ට අතපාන්න. මට ඕන ස්වඋත්සාහයෙන් නැඟිටින්න. ගෙදරට වෙලා ඉන්න කාලෙත් අපි බොහෝම හොඳට ආගම ධර්මයට අනුව ජීවත් වුණේ. මම දැනුත් ජීවත්වෙන්නේ එහෙමයි. සියල්ලම විශ්වශක්තියට බාරදීලා වෙන්නේ මොනවද කියලා මං බලාගෙන ඉන්නවා.” ඔහු කියවාගෙන යයි. ඒ අතර මම ඔහුගෙන් ප්‍රශ්නයක් ඇසුවෙමි.
ඔබට බොරු චෝදනා එල්ල කළ ගැහැනිය පිළිබඳව මොකද හිතෙන්නේ?
ඇය එහෙම කළේ මගෙන් විශාල මුදලක් ගන්න. ඒ සිදුවීම සිදුවූ අලුත මට ඇය ගැන තදබල වෛරයක් තිබුණා. නමුත් දැන් එහෙම නැහැ. කවදාහරි ඇය මෙග් ඉදිරියට හමුවුණත් මට අහක බලාගෙන යන්න පුළුවන්. දැන් මගෙ හිත හුඟක් සන්සුන් වෙලා තියෙන්නේ.”
උපුටා ගැනීම සිළුමිණ පුවත්පත