මට රත්තරන් සැමියෙක් ලැබුණා
“සමාජයම මට දොස් කියන බව මම දන්නවා. එහෙම හිතන්න වුණේ උසාවියේදීත් බොරු සාක්කි දීම නිසා මට මාස තුනක දඬුවමක් නියම වුණ නිසයි. ඒත් මට වෙන කරන්න කිසිම දෙයක් තිබුණේ නැහැ. අපේ අම්මා, මල්ලිලා දෙන්නවයි මාවයි දාලා රට ගියේ අපිට ජීවත් වෙන්න වෙන ක්‍රමයක් තිබුණේ ම නැති තැනයි. අම්මා තාත්තාට කොච්චරවත් කිව්වා බීම නතර කරන්න කියලා. ඒත් තාත්තා හම්බ වෙන තුට්ටු දෙකෙන් බොනවා ඇරෙන්න වෙන කිසිම දෙයක් කළේ නැහැ. අම්මා රට යනකොට මට අවරුදු එකොළහක් විතර ඇති. මල්ලිලා දෙන්නට අවුරුදු පහයි, හතයි. දෙන්නම ඉස්කෝලේ යනවා. ආච්චි අම්මා තමයි අපිට හිටිය එකම පිහිට. ආච්චි අම්මා කිව්වෙ තාත්තාගේ අම්මා. එයා තාත්තාට සැර දාගෙන තමයි අපිව බලා ගත්තේ. ඒත් අම්මා රට ගියා ගියාමයි... එයා ගැන කිසිම ආරංචියක් නැතිවුණා. ආච්චි අම්මා ඒ හිතේ අමාරුවෙන්ම අසනීප වුණා. තාත්තත් කොච්චර බිව්වත් පස්සෙ පස්සේ අම්මා ගැන හුඟාක් දුක්වුණා. යසෝමා රට ගියේ මං හින්දා නේද...? තාත්තා නිතරම කිව්වා. අම්මා නැති බව කාට කියන්නද කියලා පුංචි අපිට දැනුමක් තිබුණේ නැහැ. මාමලා ඒ කියන්නේ, අම්මගේ මල්ලිලා දෙන්නා කොළඹ ගිහිල්ලා අම්මව රට යවපු ඒජන්සිය හෙව්වා. ඒත් ඒ වෙනකොට ඒ ඒජන්සිය වෙනත් තැනකට ගෙනිහිල්ලා. ඒ ගොල්ලන්ට ඒක හොයාගන්න බැරි වුණා. අම්මා ගැන ආරංචියක් නැතුව අවුරුදු තුන හතරක් ගෙවිලා ගියා.
මම ලොකු ළමයෙක් වුණෙත් ඔය අතරෙ. අම්මගේ නංගී, ඒ කියන්නේ පුංචි අම්මයි, ආච්චියි, මාමලා දෙන්නයි එකතුවෙලා පුංචියට ඒ වැඩ කටයුතු ටික කරලා දැම්මා. එදා අපේ අම්මා ගැන මට හරියට දුක හිතුණා... හැමෝම කිව්වේ අම්මා මා ළඟ සිටිය යුතුම කාලය මේකයි කියලා. ඒත් අපිට අම්ම ගැන ආරංචියක් ලැබුණේ නැහැ. තාත්තා මහා ලොකු මුදලක් ගෙදරට වියදම් නොකළට කුලී වැඩ කරලා ගේන සල්ලි ආච්චි අම්මා අතට දුන්නා. ආච්චි අම්මා ඒ සල්ලි බොහොම සිරු මාරුවට තමයි වියදම් කළේ. එක් ඉරිදා දවසක උදේ අපේ ගේ ඉස්සරහ වාහනයක් ඇවිත් නතර කෙරුවා. මල්ලිලා දෙන්නා, මම, ආච්චි අම්මා, තාත්තා හැමෝම ඒ දිහා බැලුවේ පුදුම වෙලා. ඒ වාහනයෙන් බැස්සේ අපේ අම්මා... අපි හැමෝම පුදුම වුණා. අපිට ඇඬුණා. ආච්චි අම්මයි, අම්මයි හුඟාක්වෙලා කතා නොකර ඇඬුවා. "මගේ දුවේ උඹලා මට සමාවෙයන්. මං මේ ගෙදරින් රට ගියේ උඹලට හොඳ ලෝකයක් හදන්න හිතාගෙන. ඒත් මට ඒක කරන්න බැරිවුණා. මං රට ගිහිල්ලා හුඟක් දුක් වින්දා. මං උඹලට ලියුම් එව්වේ නැත්තේ ඒ දුක කියන්න බැරි නිසයි.”
“අම්මා හුඟාක් වෙලා ගියාට පස්සේ කියවන්න ගත්තා. තාත්තා නම් අම්මා ඉන්න අහලකටවත් ආවේ නැහැ. අම්මා අපි හැමෝටම ඇඳුම්, බෝනික්කෝ, විසිතුරු දේවල් ගෙනැල්ලා තිබුණා. අපේ ගෙදර අමුතු සුවඳක් තිබුණා. එදා රෑ එළිවන තුරු අපි හිටියේ අම්මගේ තුරුල්ලේ. අම්මා ඉස්සරටත් වඩා ලස්සනවෙලා. ඒත් තාත්තා වෙනදා වගේම ගෙදර ආවේ බීගෙන. ඒත් ආච්චි අම්මාගේ කටට බය නිසා කෑකෝ ගහගෙන ආවේ නැහැ. අම්මා ලංකාවට ඇවිත් මාසයක් දෙකක් ගෙවිලා ගියා. අම්මා ආයෙමත් රට යන්න සුදානම් වුණා. ඒ කාලය තුළ තාත්තා අම්මට සුපුරුදු විදිහටම වද දුන්නා. පුතේ මං මේ පාර ගියහම උඹලට සල්ලි එවන්නම්. ඒත් ආයේ ලංකාවට නම් එන්නේ නැහැ. උඹලා දැන් ලොකුයිනේ... හැමෝම එපා කියද්දී අම්මා ආයේමත් රට ගියා. අම්මා ගැන මට ඇති වුණේ තරහක්. ඒත් ඉතිං අපි මොනවා කරන්නද...? අම්මා රට ගියාට පස්සේ ආච්චි අම්මත් එයාගේ දරුවෝ ළඟට ගියා. මාමලා දෙන්නයි පුංචි අම්මයි අපි ගැන බලන එක වෙනදාට වඩා අඩුකළා. උඹට තිබුණෙ කෙල්ලේ අම්මට රට නොයා ඉන්න කියන්න. දැන් ඉතිං ඔය ඉස්කෝලේ ගියා මදෑ. උඹ මල්ලිලත් බලාගෙන ගෙදරට වෙලා හිටපං...ලොකු මාමා දුන් තීන්දුවත් සමඟ මගේ ඉස්කෝලේ ගමන නතර වුණේ සාමාන්‍ය පෙළ විභාගයට මාසයක් විතර තියෙද්දී. ඒ වෙනකොට මල්ලිලා අවුරුදු දහයයි, දොළහයි වයසේ. තාත්තා හිටියේ අම්මා ආයෙමත් රට ගිය එක ගැන කේන්තියෙන්. එයා ගෙදරට කන්න බොන්න ගෙනාවට අම්මා නැති අපිට සැලකුවේ හරිම අසාධාරණ විදිහට. තාත්තගෙන් වෙන්න ඕන යුතුකම් එකක්වත් අපිට වුණේ නැහැ. මං හැමදාම රෑට උයලා තියලා තාත්තා එන්න කලින් මල්ලිලාවත් ළඟට අරගෙන නිදියනවා. මං මල්ලිලා දෙන්නව ළඟට ගන්නේ තාත්තාගෙන් බේරිලා ඉන්න ඕන නිසයි. ඒත් හැමදාම එහෙම ඉන්න බැරිවුණා. තාත්තා මල්ලිලා දෙන්නව කාමරයෙන් එළවනවා. මං හුඟාක් බයෙන් ඒ වේලාවට ඉන්නේ.
අවුරුදු පහළොව වෙනකොට මං හොඳට හැදිලා වැඩිලා හිටියේ. ඒත් ජීවිතේ ගැන සමාජය ගැන එච්චරම තේරුමක් බේරුමක් මට තිබුණේ නැහැ. දවසක් තාත්තා මගේ මුළු ජීවිතයම සුනු විසුණු කරලා දැම්මා. මං තාත්තාගෙන් කොච්චර බේරිලා ඉන්න හැදුවත් ඉන්න බැරිවුණා. මහ ගෑනි හිටිය නම් උඹට මං මෙහෙම කරන්නේ නැහැ. ඒකි නැති නිසා උඹ තමයි දැන් මට ඉන්නේ... එදායින් පස්සේ තාත්තගෙන් මට හරියට කරදර වුණා. මං දවසක් පුංචි අම්මට ගිහිල්ලා මේ විස්තරේ කිව්වා. මාමලා දෙන්නා තාත්තට හොඳටම ගැහුවා. ඒත් මල්ලිලයි මමයි කෑගැහුවා තාත්තට ගහන්න එපා කියලා. පුංචි, මාව පොලිසි එක්ක ගෙන ගියා. පොලිසියෙන් මාව උසාවි දැම්මා. වෛද්‍ය පරීක්ෂණයකටත් යොමුවුණා. උසාවියේදී පුංචි අම්මා මාව බාර ගත්තා. මල්ලිලා දෙන්නත් එහෙ ආවා. අවුරුදු ගාණක් නඩුව තිබුණා. මේ කාලේ අපි අම්මට ලියුම් දැම්මත් එයාගෙන් කිසිම උත්තරයක් ලැබුණේ නැහැ. මට අවුරුදු විස්ස සම්පූර්ණ වෙනකොට පුංචි අම්මා බාප්පගේ යාළුවකුගේ පුතකුට මාව බන්දලා දුන්නා. එයාලා හරිම හොඳයි. තාත්තගෙන් මට වුණු කරදර ගැනත් දන්නවා. මේ කාලේ වෙන කොට මල්ලිලා ඉස්කෝලේ අතරමඟ නතර කරලා තිබුණේ. ඒ දෙන්නාම පුංචි පුංචි රස්සාවලට ගියා. අපි කවුරුවත් තාත්තා ගැන හොයලා බැලුවේ නැහැ.
ඒත් තාත්තා මට කළේ අපරාධයක් වුණාට මට එයා ගැන දුක හිතුණා. නඩුව ඉවරවෙලා තිබුණේ නැහැ. ඒ වෙනකොට මට දරුවෙක් ලැබෙන්න හිටියා. මට අම්මගෙයි, තාත්තගෙයි තියෙන වටිනාකම වැඩි වැඩියෙන් ඒ කාලේ දැනුණා. මට දරුවා ලැබුණා. ඔන්න ඔහෙ අපි නඩු කියන එක නතර කරමු. මගේ මහත්තය දවසක් මට කිව්වා. ඒත් පුංචි අම්මා, මාමලා ඒකට කැමති වුණේ නැහැ. මේ කාලේ වෙනකොට ආච්චි අම්මත් මැරුණා. අපි අන්තිමට තීරණය කළා තාත්තා එහෙම දෙයක් කළේ නැහැ කියන්න. අපි නීතිඥ මහත්තයෙක්ට මේ ගැන කිව්වා. නඩුව විභාග වුණා. අන්තිමට උසාවියෙන් තීන්දුව ලැබුණා. මං වෙනුවෙන් පෙනී සිටිය නීතිඥ මහත්තයා දඬුවම අඩු කරන්න බොහොම වෙහෙස වුණා. මුලින්ම තාත්තා මට අසාධාරණයක් කළා කියලා කිව්වා. මං අන්තිමට තාත්තා එහෙම දෙයක් කළේ නැහැ කියන එකට මට දඬුවම් ලැබුණා. අධිකරණය නොමඟ යැවීමට උත්සාහ දැරීම, බොරු කීම වෙනුවෙන් මට මාස තුනක සිර දඬුවමක් ලැබුණා.
එදා තාත්තට එයා කරපු වරද ගැන හිතෙන්න ඇති. මාව උසාවියෙන් හිරේට අරන් යද්දි තාත්තා පොළොව බදාගෙන හැඬුවා. එයාට එදා දරු දුක දැනෙන්න ඇති. මම ඉකි ගස ගසා ඇඬුවා. මල්ලිලත් අඬනවා. මාස තුනේ සිරදඬුවම ගැන මම එච්චර හිතුවේ නැහැ. ජීවිතේ මොකක් හරි කරුමයක් නිසයි මට ඒ දේ වුණේ. අපේ අම්මා අපිව අත්ඇරියා. තාත්තා අපිට විශේෂයෙන් දෙයක් නොකළාට, මට තාත්තා ගැන අනුකම්පාවක් දැනුණා. මල්ලිලා දෙන්නත් අපිත් එක්ක ජීවත් වෙන්න ආවා. අපේ මේ හැම ප්‍රශ්නයක්ම මෙහෙම විසඳගෙන ජීවිතයට මුහුණ දෙන්න අවස්ථාවක් ලැබුණේ එයා නිසයි. එයා මට ආදරණීය සැමියෙක් වගේම මවුපිය සෙනෙහස අහිමි වෙච්ච අපි තුන්දෙනාට අම්මා තාත්තා වගේ ආදරයෙන් සැලකුවා. ඒ ගැන හිතලා මම අද හිත හදාගෙන ඉන්නවා. මේ මාස තුනත් ඔහොම ගෙවිලා යාවි. මාව බලන්න සතියට සැරයක් මහත්තයා එනවා. මල්ලිලාත් එනවා. තාත්තාට එන්න බැරිව ඇති. ජීවිතේ මොන දුකක් වින්දත් ඒ වගේ ආදරණීය සැමියෙක් ලබන්න මම කරපු ලොකු පිනක් තියෙන්න ඇති. ඒක ගැන මගේ හිතේ තියෙන්නේ ලොකු සතුටක්.
රෝහණ ජයලාල්
උපුටා ගැනීම දිනමිණ