අපේ ලෝක දෙක හරියට රේල් පීලි දෙකක් වගේ
* සුභානි කොහෙද ඉන්නෙ?
කුරුණෑගල කිට්ටුව.
* මේකටමද ආවෙ?
කොළඹ ඔෆිස් එකක වැඩ කරනව මම. ඔෆිස් එකේ ඉඳන් තමයි මං ඔයාට කතා කළේ.
* ඔයා දවස ගානෙ කොළඹට එන්නෙ එහෙ ඉඳලද?
ඔව්. කෝච්චියෙ එනවා.
* සුභානි බැඳපු කෙනෙක් නේද?
බැඳල නම් තමයි.
* ඇයි ඔයා ඒක අඩමානෙට වගේ කිව්වෙ?
නීතියෙන් බැඳලා. ඒත් මම තවමත් කල්පනා කරන්නෙ මට පවුල් ජීවිතයක් තියනවද කියලයි.
* බැඳල කොච්චර කල්ද?
අවුරුදු පහක්.
* බබාලා ඉන්නවද?
එක පුතෙක් ඉන්නවා. ඒත් පුතා හැදෙන්නෙ අපි ගාව නෙමේ.
* එහෙනම් කවුරු ගාවද?
අපේ මහගෙදර ඉඩමෙමයි මගේ ගේ තියෙන්නෙත්. මං මහ පාන්දරින් ගෙදරින් ඇවිත් ආයෙත් රෑ ජාමෙනේ ආපහු යන්නෙ. ඒ නිසා පුතා හැදෙන්නෙ අම්මා ළඟ. සති අන්තයට තමයි පුතා මාත් එක්ක ඉන්නෙ. එදාට මාත් වැඩිපුරම ඉන්නෙ මහගෙදර තමයි.
* ඔයාගෙ මහත්තයා මොකද කරන්නෙ?
අරවින්ද රස්සාවක් කරන්නෙ නෑ. එයාට සිල්ලර බඩු කඩයක් තියනව ගමේම.
* ඒ කියන්නෙ ඔයාල ඔය පදිංචි වෙලා ඉන්න පැත්තෙම?
ඔව්. එයාත් අපේ ගමේ එක්කෙනෙක් තමයි.
* ඔයාල එහෙනම් පුංචි කාලෙ ඉඳන් දන්න කියන අය?
ඔව්. ඒත් අපි අතරෙ සම්බන්ධයක් ඇති වුණේ නම් පුංචි කාලෙ නෙවෙයි. මං උසස් පෙළ කරන කාලෙ.
* ඔයාට රස්සාව හම්බ වුණාට පස්සෙ ඔය දෙන්නා බැන්ද?
ඒලෙවල්වලින් පස්සෙ මාව කැම්පස් තේරුණා. ඒත් අරවින්ද කැමැති වුණේම නෑ මාව කැම්පස් යවන්න. එයා බය වුණා. මං වෙනස් වෙයි කියලා. මේ අතරෙ අපේ අම්මලා අපේ සම්බන්ධෙ දැනගෙන තදින්ම විරුද්ධ වුණා..
* ඇයි ඒ?
අරවින්දට බිස්නස් කරන්න දක්ෂකම තිබුණට එයා උගත් කෙනෙක් නොවේ. ඇත්තම කියනව නම් එයා ඉස්කෝලෙ අටේ පන්තිය වත් පාස් නෑ. මම කැම්පස් යනවට එයා තදින්ම විරුද්ධ වුණෙත් ඔය හේතුව නිසා. එයා බය වුණා එයා මට වඩා උගත්කමින් අඩු නිසා මම කැම්පස් එකෙන් කොල්ලෙක් හොයා ගනී කියලා.
* ඉතින් ඔයාල මොකද කළේ?
අරවින්ද මට බල කළා බඳිමු කියලා. ඊට පස්සෙ කාටත් හොරෙන් බැඳල අපි දෙන්නා අපේ මහගෙවල්වලම හිටියා. එයා මට කැම්පස් යන්න ඉඩ දුන්නෙ ඒ විදිහට බැන්දට පස්සෙ තමයි.
* ඊට පස්සෙ?
කැම්පස් එකෙන් අවුට් වුණාට පස්සෙ මට මේ ජොබ් එක හම්බ වුණා. ඉන්පස්සෙ අම්මල මට ප්‍රොපෝසල්ස් හොයන්න පටන් ගත්ත හින්දා මට අරවින්ද ගැන කියන්න සිද්ධ වුණා. අන්තිමේ කපන්න බැරි අත ඉඹින ගානට අම්මල මේ මංගල්ලෙ කරල දුන්නා.
* අරවින්දයි ඔයයි අතරෙ පවුල් ජීවිතේ ප්‍රශ්න ඇති වුණේ කොහොමද?
අරවින්දගෙ මට මුලදී නොපෙනුණු ගොඩක් අඩුපාඩු පෙනෙන්න පටන් ගත්තෙ බැන්දට පස්සෙයි. එයා මං රස්සාවක් කරනවට කැමැති වුණේම නෑ. නමුත් මට කිසිම ඕන කමක් තිබුණෙ නෑ රස්සාව අත අරින්න. අරවින්දට සල්ලි කොච්චර තිබුණත් මගේම කියලා ආදායමක් මට තියෙන්න ඕනෙ කියල මං තදින්ම විශ්වාස කළා. එයාට මාත් එක්ක කිසිම තැනක යන්න වුවමනාවක් තිබුණෙත් නෑ. ෆිල්ම් එකක් බලන්න යමු කිව්වොත් ‘මට ඔය පිස්සු කෙළින්න වෙලාව නෑ. ෆිල්ම් බලන්න ඕනෙ නම් ඔය ටී.වී. එකේ යන්නෙ ඕන තරම් කියල කියනවා. නෑදෑ ගෙදරක යමු කිව්වත් එහෙමයි. මගෙ යාළුවො එක්ක බැරි වෙලාවකවත් මුහු වෙන්න එයා කැමැතිම නෑ. අපේ ඔෆිස් එකෙන් අවුරුද්දක් ගානෙ යන ඇනුවල් ට්‍රිප් එකට කොයි තරම් එන්න කිව්වත් එයා නෙමේ එන්නෙ.
* හේතුව?
මුලදී මං හිතුවෙ මං ජොබ් එකට යනවට තරහ නිසා එහෙම කරනව කියලා. පස්සෙ තමයි මට තේරුණේ එයාට ලොකු හීනමානයක් තියනව කියල එයාගෙ නූගත්කම ගැන. අනික අපේ යාළුවො කතා කරන කොට ඉංග්‍රීසි වචනත් කලවම් කරනවමනේ. ඕවා හුඟක් හරිය අරවින්ද දන්නෙ නෑ. මගේ යාළුවෙක් අරවින්ද ගෙදර ඉන්න වෙලාවක හදිසියෙ හරි ආවොත් එයා මග ඇරල යනවා. යාළුවො මට හිනා වෙනව ‘මොකද බං උඹේ, හස්බන්ඩ්ට අපිව ඇලජික්’ ද කියලා. මට ඒ වෙලාවට දෙන්න උත්තර නෑ.
* ඔයාල අතරෙ ගැටුම් එහෙමත් ඇති වුණාද?
අනන්තයි අප්‍රමාණයි. ඔය ප්‍රශ්න හින්දම ගොඩක් ගැටුම් ඇති වුණා. අපේ අම්මලා මට හැම වෙලාවෙම බැන්නා ‘ඕක තමයි අපි උඹට මුලින්ම කිව්වෙ. දැන් ඉතින් පවුල කඩා ගන්නෙ නැතුව බැඳ ගත්තු බෙරේ කොහොම හරි ගහපං’ කියලා. ඒත් කොහොම බෙරේ ගහන්නද?
* ඇයි?
දවසින් දවසම අපි දෙන්නා ඈත් වුණා. කොච්චර ඈත් වුණාද කිව්වොත් එයා අන්තිමට නිදා ගත්තෙත් එයාගෙ කඩේ පිටිපස්සෙ කාමරේමයි. මං තනියම ගෙදර. දැන් මෙහෙම වෙනම නිදියන්න වෙලා මාස දෙකක් විතර වෙනව. අන්තිමේ මං ඇහුවා දරුවට තාත්තා කෙනෙක් ඕන හින්දවත් සමගියෙන් ඉන්න බැරිද කියල.
* ඉතින්?
එහෙම ඉන්න ඕන නම් රස්සාව අත ඇරලා එයාත් එක්ක කඩේ වැඩ කරන්න එන්නලු.
* සුභානි ඒකට අකමැතියි?
මොන පිස්සුද අනේ... මං කීයටවත් කැමැති නෑ. එහෙම ජීවිතේකට. එයා කඩේ වැඩ කරන්න කැමැතියි වගේම මාත් මගෙ රස්සාවට කැමැතියි. එයාට මගේ සමාජ තලයට එන්නත් බෑ. මට එයාගෙ සමාජ තලයට යන්නත් බෑ.
* කවුරු හරි එක්කෙනෙකුට තමන් කැමැති දේ පරිත්‍යාග කරන්න වෙනව නේද පවුල රැකගන්න නම්?
එයා ලොකු හීනමානෙකින් ඉන්නෙ. මට එයාත් එක්ක ඒ ජීවිතේට යන්න බෑ. අපේ ලෝක දෙක හරියට රේල් පීලි දෙකක් වගේ තමයි. කවදාවත් හමුවෙන්නෙ නෑ. පුළුවන් කාලයක් මෙහෙම ඉන්නවා. එයාට බැරි නම් එයා ගියාවෙ.
ඉන්දු පෙරේරා
උපුටා ගැනීම ලක්බිම