දියණියකට සරණ වූ නිසා අනෙක් දියණියන්ගේ ගැරහුමට ලක්ව දසසිල් මාතාවකගේ කතාවක්
අවුරුදු හය, හතක් තිස්සේම හිතින් විඳව විඳවා හිටපු කමලාවතීට අස්වැසිල්ලක් දැනුණෙ ලොකු දුව නිමල්කා ගෙදර ආවට පස්සෙයි. අවුරුදු ගාණකට උඩදි ඇඳිවත පිටින් හිස් අතින්ම කාටත් හොරා මහ ගෙදරින් නික්ම ගිය නිමල්කා ආයෙමත් ගෙදර ආවෙ හිස් අතින් නෙමේ. ඒ අවුරුදු පහක සහ තුනක දරු පැටව් දෙන්නෙකුත් එක්කයි. කමලාවතීට හිටියෙ දූවරුම තුන් දෙනෙක්. වැඩිමලා තමයි නිමල්කා. උසස් පෙළ පන්තියෙ ඉන්න කාලෙ නිමල්කා එයාගෙ පෙම්වතාත් එක්ක පලා ගියේ කිසිම විදිහකින්වත් ඒ සම්බන්ධයට මව්පියන්ගෙ අනුමැතියක් නොලැබෙන බව දැන හිටපු නිසාමයි. ඒකට හේතුව නිමල්කා කසාද බැන්දෙ අල්ලපු ගමේ හිටපු නම් දරාපු චණ්ඩියෙකු වීමයි. ඒ මනුස්සයා චණ්ඩියෙක් වුණත් ඔහුගෙ තිබුණු නිර්භීත පිරිමි කමට නිමල්කා ගොඩක් ප්‍රිය කළා. ඒත් ජීවිතේ කියන්නෙ ඒ විදිහෙ සෙල්ලම් ගෙයක් නොවෙන බව වටහා ගන්න කොට නිමල්කා ගොඩක්ම ප්‍රමාද වැඩියි. ඇගේ සැමියා මනුස්සයෙකුට ජීවිත හානි කරලා නඩුවෙන් වැරදි කරපු බව ඔප්පු වෙලා ජීවිතාන්තය දක්වා සිරගෙට නියම වෙන කොට නිමල්කාගෙ දෙවෙනි දරුවා කුසට ඇවිත් මාස පහයි. නිමල්කාගේ නංගිලා දෙන්නම දුක් මහන්සි වෙලා හොඳට ඉගෙන ගත්තා. ලොකු නංගි රජයේ රෝහලක හෙදියක් වුණා. දෙවෙනි නංගිට ගුරු පත්වීමක් ලැබුණා. සල්ලිය බාගෙ නොතිබුණත් ඉතා රූමත් ලොකු නංගි රෝහලේ වෛද්‍යවරයකු සමග ඇති කරගත් හාදකම උඩ විවාහ වුණා. දවෛනි නංගි විවාහ වුණේ ගුරුවරයෙක් සමග. මොනව වුණත් නංගිලා නිසා නිමල්කලාගෙ පවුලට ලොකු ආලෝකයක් ලැබුණා. ඒත් තමන් හිටපු තත්ත්වය උඩ නිමල්කාව නැවත පවුලට සම්බන්ධ කර ගන්න මේ නංගිලා කැමති වුණේ නෑ. කමලාවතී නිමල්කා ගැන වචනයක්වත් හරි කතා කළොත් බාල දියණියන් ඊට හරස් කැපුවෙ "ඔය මිනීමරුවගෙ ගෑනිව අම්මට තවම හිතින් අමතක කරන්න බැරි වුණාද? එයා පවුලට වැද්ද ගත්තොත් අපි කොහොමද අපේ මහත්තුරුන්ට මූණ දෙන්නේ කියමිනුයි" මේ අතර නිමල්කාගේ තාත්තාත් හදිසියේ හට ගත් හෘදයාබාධයකින් මියගියා. කමලාවතී ඊට පස්සේ යැපුනෙ ස්වාමි පුරුෂයාගෙ පෙන්ෂන් පඩියෙන්. නිමල්කා මොන වැරැද්ද කළත් කමලාවතීට නම් නිමල්කා තමන්ගෙ දරුවෙක් කියන එක අමතක කරන්න බෑ. අනික අනික් දුවලා දෙන්නටම දැන් දෙවියන්ගෙ පිහිටෙන් කිසි කරදරයක් නෑ. ඒ නිසා තමන්ගෙ පූර්ණ අවධානය යොමු විය යුත්තේ නිමල්කාට බව කමලාවතී අවබෝධ කරගෙන හිටියා. ඒ හින්දම තමයි අනික් දරුවො දෙන්න තමන්ව සදහටම අත්හැර දැම්මත් කමක් නෑ කියන හැඟීමෙන් නිමල්කාට දරුවො දෙන්නත් අරන් ආපහු ගෙදර එන්න කියලා කමලාවතී කිව්වෙ.
ඉස්සර බොහොම ලස්සනට හිටපු නිමල්කාගෙ ශරීරයේ තිබුණෙ ඇටකටු ටික විතරයි. දරුවො දෙන්නත් හොඳටම කෙසඟයි. ඒ තුන් දෙනාම දැකපු ගමන් කමලාවතීගෙ පපුව හෝස් ගාලා ගියා. උඹලා කෑවද ලොකු දුවේ? කියල කමලාවතී ඇහුවෙ බොහොම කරුණාවෙන්. එතකොටම නෑ කියන්නෙ හිස දෙපැත්තට වණපු නිමල්කාගෙ ඇස් දෙකෙන් කඳුළු කැට කඩා වැටෙන හැටි කමලාවතී දැක්කා. කමලාවතීටත් ඇඬුණා. ඊට පස්සෙ කුස්සියට ගිහින් තුන්දෙනාටම බත් බෙදල දුන්නා. පොඩි දරුවො දෙන්නා බත් ටික කෑවෙ හරිම ගිජු කමකින්. කාලා ඉවර වෙලා දෙන්නම නිමල්කාගෙ දෙපැත්තට වෙලා "අම්මෙ තව බත් ඕනෙ" කියමින් රහසින් කං කෙඳිරි ගාන හැටි කමලාවතී දැක්කා. හැලියෙ ඉතිරි කරගෙන හිටපු තමන්ගෙ පංගුව කමලාවතී ඒ පොඩි දරුවො දෙන්නගෙ පිඟන් දෙකට බෙදල දුන්නෙ. උතුරා යන දරු සෙනෙහසකින්. දරුවො ඒ බත් ටිකත් ඇටයක් ඉතිරි නොකර කෑවා. නිමල්කාව ගෙදර රඳව ගත්තු බව දැනගෙන බාල දූවරු දෙන්නම මහගෙදර ආවෙ කේන්තියෙ පුපුරා හැලෙමින්. නිමල්කා දරුවො දෙන්නත් තුරුල් කරගෙන කාමරේටම වෙලා හිටියා. "යකෝ ඒ එක බඩවැල කඩාගෙන ආපු තොපේම අක්කා. ඒකිත් එක්ක පොඩි කාලෙ එක පිඟානෙන් මට කියලා බත් කවා ගත්තු හැටි තොපි දෙන්නට අමතකද?" කමලාවතී කෑගැහුවෙ හඬා වැළපෙමින්. අම්මට ඕන කුදයක් ගහගන්න. හැබැයි මින් මත්තට අපි දෙන්න අම්මගෙ දරුවො නෙවෙයි, කියාගෙන ඒ දෙන්නා අන්තිමේ එළියට බැහැල යන්න ගියා. කමලාවතී හිත හදා ගත්තා. බාල දූවරු දෙන්නට තමන් අතින් ඉටු විය යුතු යුතුකම් ඉවරයි. දැන් ලොකු දුවට යුතුකම් ඉටු කරන්න ඕනෙ කියලා කමලාවතී තීරණය කළා. ඒ හින්දා බාල දුවලා තමා අත්හැර ගිය එක ගැන කමලාවතී දුක් වුණේ නෑ. තමාගේ අතට ලැබෙන විශ්‍රාම වැටුප නිමල්කාටයි පුංචි දරුවො දෙන්නටයි වියදම් කළේ කිසිම ලෝබකමක් නැතුව. මේ අතරෙ තමයි නිමල්කා දරුවො දෙන්නව අම්මට භාර දීලා රට ගියේ. නිමල්කා වැඩ කළේ සයිප්‍රස් රටේ. එහෙදී හමුවුණු යුරෝපා ජාතිකයෙකු සමග නිමල්කාගේ සම්බන්ධයක් ඇති වුණා. ඔහු නිමල්කාට වඩා දෙගුණයකින් පමණ වැඩිමහල්, ඉතා කාරුණික ඒ වගේම ධනවත් පුද්ගලයෙක්. තමාගේ රටට නිමල්කාව එක්කරගෙන ගිය ඔහු ඇගේ දරුවන් දෙදෙනාවත් තමන්ගේම දරුවන් මෙන් රැකබලා ගන්නට කැමැත්ත පළ කළා. නොසිතූ විරූ විදිහේ සැප සම්පත් එක්ක ඉතා ආදරණීය සැමියෙක් නිමල්කාට හිමි වුණා. කමලාවතීට දැනුනෙ පුදුම තරමේ සතුටක්. තමන් සහෝදරකමෙන් පවා ඉවත් කරපු අක්කා මේ වගේ වාසනාවන්ත ජීවිතයකට උරුමකම් කියයි කියලා කමලාවතීගෙ බාල දූවරු දෙන්න හීනෙකින්වත් හිතුවෙ නෑ. ඒ දෙන්නම කමලාවතී බලන්න ඇවිත් දොස් කිව්වා. අම්මා සේරම හිමින් සීරුවෙම අක්කට කරල දුන්නා. අපට නිකන්වත් කිව්වෙ නෑ. ඒකිව සහෝදරකමෙනුත් අත් ඇරපු උඹලට ඒකි ගැන මොනවා කියන්නද? කමලාවතී කිව්වෙ, ලොකු කලකිරීමකින්. අම්මට හැමදාමත් අපට වඩා එයාවයි ලොකු. එයාටම කියල හැමදේම කර ගන්න. අපට මොකුත් කියන්න එපා. බාල දියණියන්ගේ ඒ වදන් කමලාවතීගෙ හිත පතුලටම කිඳා බැස්සා. කාටවත් නොකියා කමලාවතී තමන්ගෙ ගේයි ඉඩමයි නිමල්කාගෙ නමටම ලියලා ආරාමයකට ගියා. දැන් කමලාවතී දසසිල් මාතාවක්. අවුරුද්දකට වතාවක් ලංකාවට එන නිමල්කා සැමියාත් දරු දෙදෙනාත් සමග නොවරදවාම දසසිල් ආරාමයට එනවා. බාල දියණියන් දෙදෙනා කමලාවතී බලන්න එන්නෙ නෑ. නමුත් දරුවො තුන් දෙනාම උසස් සැපවත් ජීවිත ගත කරන නිසා කමලාවතී ඉන්නෙ පුදුම තරමේ සතුටකින්. අස්වැසිල්ලකින්.
ඉන්දු පෙරේරා
උපුටා ගැනීම ලක්බිම