ආදරය කරන්නට, ආදරය පවතින්නට, එක ළග සිටිය යුතුමද?
බුදු දහම සහ ආදරය යනු එකට කතා කළ හැකි මාතෘකා දෙකක් නොවන බව සමහරු පවසති. ඒ අනුව මේ දෙක ගැන එකට කතා කරන විට පව් පිරෙන්නේලූ. එසේ පවසන්නේ සතර පෝයට සිල් සමාදම් වන අපේම සමහර ආච්චි අම්මලාය. තරුණ යුවළක් අත් පටලවාගෙන පන්සල් ආ විට රුදුරු මුහුණින් යුතුව රවා බලන්නේ ද ඉහත කී සමහර ආච්චි අම්මලාමය. බුදු දහම යනු තනිකරම ආදරය බව ඔවුන්ගේ බණ පොත්වල නැත. නමුත් බුදු දහම යනු සියයට සියයක්ම ආදරයයි. අපේ උපාසක අම්මලා උදේ සවස සමාදන්වන පන්සිල් තුළ ඇත්තේ ද ආදරයයි. සතුන් මැරීමෙන් පව් සිදුවන බව අපි දනිමු. ඒ නිසා අපි සතුන් මරන්නේ නැත. සතුන්ට ආදරය කරන්නට පටන් ගන්නේ එහි ප‍්‍රතිඵලයක් ලෙසය. දෙවැන්නට අනුව, අනුන්ගේ දේ ගැනීමෙන් පව් සිදුවේ. අපි හොරකම් කරන්නේ නැත. අප හොරු නොවෙන නිසා අනෙක් පුද්ගලයන්ගේ ආදරයට පාත‍්‍ර වේ. තුන්වැන්නට අනුව කාමයේ වරදවා හැසිරීමෙන් ද පව් සිද්ධ වේ. ඉතින් අපි එසේ නොකරන්නෙමු. එවිට අපේ සහකරු හෝ සහකාරිය අපට මහත් ස්නේහයක් ආදරයක් දක්වන්නට පටන් ගනී. බොරු කීම පවක් බව සිවුවැන්නෙන් කියා තිබේ. ඉතින් අපි බොරු කියන්නේ නැත. එවිට සියල්ලෝම අප විශ්වාස කරන්නට පටන් ගනී. ඒ විශ්වාසය නිසා අපට ඔවුන්ගේ ආදරය ලැබේ. පස්වැන්නට අනුව මත්පැන් බීම ප‍්‍රමාදයට කරුණකි. මත්පැන් බොමින් ගතකරන කාලය තමන්ගේ ආදරණීයයන් වෙනුවෙන් වැය කරන විට ඔවුන්ට අප පිළිබඳ ආදරයක් ගෞරවයක් ඇතිවන්නට පටන් ගනී. මේ තිබෙන්නේ ආදරයයි. බුදු දහමේ ඇති ආදරය එයයි. ආදරය කරන්නට, ආදරය පවතින්නට, එක ළග සිටිය යුතුමද? ආදරය යනු සිතේ ඇතිවන හැගීමකි. අතේ ඇති දෙයක් පෙන්වනවා සේ, හිතේ ඇති දෙයක් පෙන්වන්නට අපට නොහැකිය. ඒ නිසා ආදරය යනු පෙන්විය හැකි දෙයක් නොව, හැගෙන සහ දැනෙන දෙයකි. ආදරය තිබෙන්නේ අතේ නම්, ළගට වී සිටිමින් එය පෙන්ව පෙන්වා සිටිය යුතුම වේ.
සිදුහත් බෝසතාණන් වහන්සේ ගව් ගාණක් දුරක සිටියද යසෝධරා දේවියට ඒ ආදරය දැනුණේ එය අතේ නොව හිතේ තිබූ ආදරයක් වූ බැවිනි. එදා යසෝධරා දේවිය සිය ස්වාමියා නැවැත තමා වෙත නොඑන බව සක්සුදක් සේ දැන සිටියාය. එමෙන්ම සිය සැමියා මේ යන්නෙ අපි දෙන්නගෙ අනාගතේ වෙනුවෙන් පමණක් නොවන බවද හොඳින්ම දැන සිටියාය. එපමණක් ද නොවේ. ආත්ම ගණනාවක සිට එකට ජීවත් වුණු සිදුහත් යසෝධරා යුවළ නැවැත කිසිම ආත්මයක හමුනොවන බවද දැන සිටියාය. එය එසේ නම් යන්න දුන්නෙ මොන හිතකින්දැයි වහාම සිතෙනු ඇත. එදා සිදුහත් කුමරු එලෙස නොගිය, නම් අද අපි මෙලෙස ලිපි ලියන්නේ නැත. ඔබ ඔය ආකාරයට කියන්නේද නැත. මමත් ඔබත් පණුවකු ගැඩවිල්ලකු වී කොහේ හෝ පස් හාර හාරා සිටිනු ඇත. මට හැගෙන ආකාරයට නම් අපේ තරුණ තරුණියන්ගේ සිත්වල ඇත්තේ ආදරය නොව, තෘෂ්ණාවයි. ඊර්ෂ්‍යාවයි. තම පෙම්වතා වෙනත් ගැහැනු ළමයකු සමග කතා කරනවා නම් හෝ, පෙම්වතිය වෙනත් පිරිමි ළමයකු සමග කතා කරනවා නම් ඊර්ෂ්‍යාව මතුවී පුපුරයි. ඒවා කල්පනා කරමින් අවසානයේ මොළේ නහර පුපුරයි. අපේ බුදු රජාණන් වහන්සේ ඉතා පැහැදිලි ලෙස වදාළේ ද එයයි. තම තමන් කරන සැමදෙයම කළ යුත්තේ සරලවය. ආදරයද එසේමය. සරලව ආදරය කිරීම යනු අනෙක් කෙනා රැුවටීම නම් නොවේ. මේ කියන සරල බව නිසා අනෙක් කෙනාගෙ සිතට පීඩනයක් ඇති නොවේ. අපේ තරුණ තරුණියන් ආදරය කරනවා යැයි කියා කරන්නේ ප්‍රෙෂර්, හාග ඇටෑක්, මෙන්ටල් අප්සට්, ගැස්ට‍්‍රයිටීස් වැනි ලෙඩ රෝග සාදා ගැනීමය. එසේ වන්නේ ආදරය කරන්න පටන් ගත් දා සිට විසදා ගන්නට බැරි අනන්ත අප‍්‍රමාණ ප‍්‍රශ්න මතුකර ගන්නා බැවිනි. මේ ලෝකයේ විසඳගන්නට බැරි ප‍්‍රශ්න තිබුණේ එකකි. අපේ බුදු රාජාණන් වහන්සේ ඒ එකම ප‍්‍රශ්නයත් මහා කරුණාවෙන් යුතුව විසදා දී තිබේ. එය එසේ තිබියදීත් අපේ තරුණ පිරිස ආදරය කරන්නට ගොස් බාලාංශ ප‍්‍රශ්නවලට පිළිතුරු සොයති. ආදරය කරන සහ ආදරය ලබන සකල ලෝ වැසියන්ට අනුව නම් මුලදී ආදරය සුන්දරය. විඳිනවාය, දිව්‍යලෝක සැපතය. නමුත් පසුකාලයේදී ඔය කියන ආදරයම එපා වෙලාය. විදෝනවාය. අපායක් යැයි කියන්නට පටන් ගනී. මේ දෙකේ වෙනස කුමක්දැයි මට නොතේරේ. ඕනෑවට වඩා විඳින්නේ නැතිව, ඕනෑවට වඩා විඳවන්නේ ද නැතිව සරලව ආදරය කරන්නට අපට බැරි ඇයි? බුදු රජාණන් වහන්සේ කුමාර කාලයේ වරක් අධික ලෙස සැප වින්දේය. බෝධිසත්ව කාලයේ වරක් අධික ලෙස දුක් වින්දේය. නමුත් මෙම ක‍්‍රම දෙකම නුසුදුසු බව දැන අවසානයේ මධ්‍යම ප‍්‍රතිපදාව සොයා ගත්හ. ආදරය යනු සැහැල්ලූවෙන් ජීවත් වන්නට තිබෙන දෙයක් මිස විඳවන්නට හෝ විඳින්නට තිබෙන දෙයක් නොවේ. ආදරය කිරීමෙන් සිත සැහැල්ලූ විය යුතුය. ඉතිං සැහැල්ලූවෙන් සරලව ආදරය කරන්නට පුළුවන්දැයි ඔබම උත්සාහ කර බලන්න. ආදරය නිසා ඔබේ සිත සැහැල්ලූ වූ දිනයක මෙච්චර කල් ආදරය කරනවා යැයි කියමින් සිදුකර ඇත්තේ කොච්චර ලොකු ප්‍රෝඩාවක්දැයි ඔබටම වැටහෙන්නට පටන් ගන්නවා ඇත.
උපුටා ගැනීම මව්බිම පුවත් පත