ඉහළ ආදායම් ඉපයිය හැකි සුදු ගම්මිරිස් සකස් කරගන්නේ මෙහෙමයි

කටට රසට ඉවුම් පිහුම් කලාවේ නැතිවම බැරි රසකාරකයක් තමයි ගම්මිරිස්. ඔබ හොඳින් දන්නා හඳුනන මේ ගම්මිරිස් විවිධාකාරයට ආහාර සඳහා එකතු කරගනී. එනම් ගම්මිරිස් ඇට, දෙකට තුනට තළාගත් ඇට, සිහින්ව කුඩුකරගත් ගම්මිරිස් කුඩු ලෙසින් මෙන්ම කළු ගම්මිරිස් සහ සුදු ගම්මිරිස් වශයෙන් ද වර්ග දෙකක් පවතී.

මොනවද මේ සුදු ගම්මිරිස්

සුදු ගම්මිරිස් යනු පොත්ත ඉවත් කළ ගම්මිරිස් ය. මෙහිදී ඔබ නෙළාගත් ගම්මිරිස්වල පොත්ත කුමන හෝ ආකාරයට ඉවත් කිරීමෙන් මෙම සුදු ගම්මිරිස් සකසා ගත හැකිය. සාමාන්‍යයෙන් වෙළෙඳපොළේ සුදු ගම්මිරිස් තරමක් මිල අධිකයි. එමෙන්ම සුදු ගම්මිරිස් එතරම් දැකිය නොහැකි නිසා හොඳ ඉල්ලුමක් ද පවතී. එබැවින් ඔබ ගෘහස්ථ ස්වයං රැකියාවක් ලෙස ගම්මිරිස් නිෂ්පාදනයේ යෙදීමට බලාපොරොත්තු වන්නේ නම් කළු ගම්මිරිස් නිෂ්පාදනයටත් වඩා මෙම සුදු ගම්මිරිස් නිෂ්පාදනයෙන් හොඳ ආදායමක් ලබාගත හැකියි.

අස්වනු නෙළීම
ඔබට ප්‍රමිතියෙන් උසස් වඩාත් හොඳ සුදු ගම්මිරිස් නිෂ්පාදනය කරගැනීමට නම් ගම්මිරිස් නෙළා ගත යුත්තේ ගෙඩි දෙකක් තුනක් ඉදුණු ගම්මිරිස් කරල් ය. මෙම අවස්ථාව වනවිට ගම්මිරිස් කරලේ පරිණතිය රැහැන් ඇදුණු අවස්ථාවේ සිට මාස 08 1/2 ක් පමණ වේ. හොඳින් පැසුණු ගම්මිරිස් කිලෝ ග්‍රෑම් හතරකින් සුදු ගම්මිරිස් කිලෝග්‍රෑම් එකක් පමණ ලබා ගත හැකිවේ.

සුදු ගම්මිරිස් සකස් කිරීම
පළමුවෙන්ම අප කළ යුත්තේ නෙළා ගත් ගම්මිරිස් කරල්වලින් ගම්මිරිස් ඇට වෙන් කරගැනීමයි. උසස් ගුණාත්මක තත්ත්වයෙන් යුත් සුදු ගම්මිරිස් සකසා ගැනීම සඳහා නෙළාගත් අස්වැන්න අමු ඇට තෝරන යන්ත්‍රයක් (Green berry sorter) ආධාරයෙන් වෙන් කළ යුතුය. එහිදී ලොකු ඇට ( නොම්මර 5 දැල ) සහ කුඩා ඇට (නොම්මර 8 දැල) වෙන් කිරීම අත්‍යවශ්‍ය වේ. මන්ද ලොකු ඇට සහිත ගම්මිරිස් පමණක් සුදු ගම්මිරිස් සෑදීමට යොදා ගන්නා අතර ඉතිරි කුඩා ඇට කළු ගම්මිරිස් සෑදීමට යොදාගත හැකිය.

ඔබ සතුව අමු ඇට තෝරන උපකරණයක් නොමැති නම් ඒ සඳහා නොම්මර පහ දැලක් සහිත සල්ලඩයක් භාවිතා කරන්න. එහිදී ගම්මිරිස් හළාගත් විට නොම්මර පහ දැල මත ඉතිරිවන ලොකු ගම්මිරිස් ඇට පමණක් සුදු ගම්මිරිස් සැකසීම සඳහා යෝග්‍ය වේ. මෙලෙස ලොකු ඇට පමණක් භාවිතා කිරීම මගින් ඒකාකාරී ලෙස පොතු ඉවත් වූ සමාන ප්‍රමාණයේ ඇට සහිත හොඳ සුදු ගම්මිරිස් නිෂ්පාදනයක් ලබා ගත හැකිය.

තෝරාගත් බහුතරයක් ඉදුණු ගම්මිරිස් ඇට ගෝනිවල හෝ රෙදි මලුවල බහා දින 5 ක්, 7ක් පමණ කාලයක් ගලා යන ජලයේ පෙඟවීම සුදුසුයි. මෙහිදී ඔබේ ගම්මිරිස් අස්වැන්නේ වැඩි ප්‍රතිශතයක් අඩංගුව ඇත්තේ කොළපාට ගම්මිරිස් නම් පෙඟීමට වැඩි කාලයක් ගත වේ.

එසේම වතුර මාරු කළ හැකි ටැංකි ද ගම්මිරිස් පෙඟවීම සඳහා භාවිතා කළ හැකිය. මෙහිදී ටැංකියට ගම්මිරිස් ඇට දමා ඒවා වැසෙන තෙක් ජලය දමන්න. අනතුරුව ක්ෂුද්‍ර ජීවී ක්‍රියාකාරිත්වය මගින් ගම්මිරිස්වල පොත්ත බුරුල් කෙරේ. එහිදී අප්‍රසන්න ගන්ධයක් හටගන්නා බැවින් එය එය වැළැක්වීමටත්, ගම්මිරිස් අවපැහැවීම වැළැක්වීමටත් දිනක් හැර දිනක් ටැංකියේ ජලය මාරු කරන්න. ජලය ඉවත් කරන සෑම දිනයකදීම ටැංකියේ ඇති ජලය භාගයක් පමණ ඉවත් කර එම ඉවත් කළ ප්‍රමාණය පිරෙන තුරු අලුතෙන් ජලය දැමිය යුතුයි.

ඉන්පසුව සල්ලඩයක ඇතිල්ලීමෙන් හෝ පොත්ත ඉවත් කිරීමේ යන්ත්‍රයක් (සුදු ගම්මිරිස් සැකසීමේ යන්ත්‍රය/ pepper Decorticator) භාවිත කිරීමෙන් පොත්ත පහසුවෙන් ඉවත් කළ හැකිය.

මෙලෙස පොත්ත ඉවත් කළ ගම්මිරිස් ඉන්පසුව පිරිසුදු ජලයෙන් සෝදන්න. අනතුරුව 2% සිට්‍ර්ක් අම්ල ද්‍රාවණයක පැයක කාලයක් ගිල්වා තැබීමෙන් දීප්තිමත් සුදු පැහැයක් ලබා ගත හැකිය. ඉන්පසුව නැවතත් පිරිසිදු ජලයෙන් සෝදා හිරු එළියේ වියළීම හෝ සූර්ය වියළනයක් මගින් සුදු පැහැය වැඩි දියුණු කළ හැකිය. කෘත්‍රිම වියළන භාවිත කළවිට ලැබෙන සුදු පැහැය සූර්යාලෝකය අැයටතේ දී තරම් තීව්‍ර නොවේ. කෘත්‍රිම වියළන භාවිත කිරීමේදී යෙදිය යුතු උෂ්ණත්වය සෙන්ටිග්‍රේඩ් අංශක 55 ක් පමණ විය යුතුය. කිසි විටෙකත් ගම්මිරිස් වියළීම සඳහා යොදන උෂ්ණත්වය සෙන්ටිග්‍රේඩ් 60 ට වඩා වැඩි නොවිය යුතුය. වියළීමේ දී මේ සුදු ගම්මිරිස්වල තෙතමනය 12% දක්වා අඩු කළ යුතුය.

ඇසිරීම සිදු කරන්නේ මෙහෙමයි
සුදු ගම්මිරිස් ඇසිරීම සඳහා ඉතා පිරිසුදු පොලිසැක් මලු හෝ ඇසුරුම් යොදා ගත යුතුය. පොහොර හෝ වෙනත් කෘෂි රසායනික ද්‍රව්‍ය ඇසුරූ මලු ඒ සඳහා යොදා නොගැනීමට වග බලා ගන්න. මෙහිදී මලුවලට ඇතුළතින් පොලිතීන් හෝ පොලිප්‍රොපිලින් මල්ලක් භාවිත කිරීම මගින් මෙම ගම්මිරිස්වලට තෙතමනය අවශෝෂණය වීම වළක්වා ගත හැකියි. අඩු ආර්ද්‍රතාවයක්( 65% ) ක් යටතේ හොඳින් වාතාශ්‍රය ලැබෙන ස්ථානයක මේ ශ්‍රේණිගත කළ ගම්මිරිස් වෙන වෙනම අසුරා ගබඩා කරන්න. එමෙන්ම කෘෂි රසායන ද්‍රව්‍ය හෝ වෙනත් ද්‍රව්‍ය සමඟ එකට ගබඩා නොකරන්නත් වගබලා ගන්න.

තොරතුරු අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ මාධ්‍ය අංශයෙනි
උපුටා ගැනීම තරුණී

Share This Article

විශ්වාස කරනවද අවිශ්වාස කරනවද

සෑම දෙනා කෙරෙහිම විශ්වාසය තබා කටයුතු කිරීම අමාරුයි. ඔබ කෙනෙකු විශ්වාස කළාට ඔහු ඔබව විශ්වාස කරනවාද යන්නයි ප්‍රශ්නය. ඔහු හෝ ඇය...

ලෙබනන දියණියට කිරි අම්මා වූ අපේ සවිත්‍රි

මේ තරුණ මව මට මුණගැසුණේ මා දිවා ආහාරය නිමවී මගේ කාර්යාල කාමරයට ඇතුළු වෙන විටය. තරුණ දමිළ කාන්තාවක් වූ ඇය සිඟිති දැරියක...

අද සමාජයට නැතුවම බැරි අතට අතදීම ගැන ඔබ දන්නවාද?

සමාජයේ බොහෝ පිරිසක් සමග ඇසුරුකිරීමේදී විවිධ ආචාරධර්ම පිළිබඳ නිතැතින්ම අවධානය යොමු කරන්නට අපට සිදුවේ. මේ ඇතැම් ඒවා අපගේ සාම්ප්‍රදායික ඒවා නොවන්නට...

Passive Income මාර්ග 8ක්

ඔබට නින්දේදී මුදල් ඉපයීමට අවශ්‍යද? වචනාර්ථයෙන්. ඇත්ත වශයෙන්ම, ඔබට එය වෙහෙසකින් තොරව කළ හැකියි. නිෂ්ක්‍රීය ආදායමක් ලබා ගන්නේ කෙසේදැයි ඉගෙන ගැනීමට...

සිනහව ආතතිය වළක්වනවා

 එක් සිනහවකින් ලෝකයම වෙනස් කළ හැකි බව නවතම පර්යේෂණයකින් හෙළිවුණා. සිනහවකින් යම් පුද්ගලයකුගේ හදවත මැනිය හැකි බව ඔවුන් පෙන්වා දෙනවා. ඒ...

ජංගම දුරකතනය නිසා පෞරුෂයට හානි කරගන්න එපා

දුරකතනයේ නාදය : ජංගම දුරකතනයක නාද රටාව මෙතැනදී ඉතාම වැදගත්. හුඟක් දෙනෙක්ගේ ජංගම දුරකතන නාදය අනෙක් අයට බාධාවක් වන බව ඔවුන් දන්නේ...