පවුල් ප්‍රශ්න ඇතිකරන ලොකුම හේතුව
අංජනා සහ ධනංජය විවාහ වී මාස 6කි. වසර 6ක ප්‍රේමයකින් පසු විවාහ වී ඔවුන් පදිංචිව සිටින්නේ ධනංජයගේ මවුපියන් සමඟය. ධනංජය එකම පුතු බැවින් මව සමඟ ධනංජයගේ බැඳීම වැඩිය. දෙදෙනාම රැකියා කරන අතර අංජනාගේ රාජකාරියට රාත්‍රි සේවයද අයත්ය. විවාහයෙන් පසු අංජනා ධනංජයගේ පවුලට ළැදිව කටයුතු කළත් ධනංජයගේ මව අංජනාගේ ඒ ක්‍රියාවන්හි අඩුපාඩු මිස අගයක් නොදැක්කාය. එය අංජනාගේ හිත පාරවන සුලු විය. මේ නිසාත් වෙනත් සුළු සුළු හේතු නිසාත් අංජනා සහ ධනංජය අතර මත ගැටුම් ඇතිවිය. මුලදී ඒවා ඒ මොහොතට පමණක් වුවද පසුව ඒවා වරුව, දින, දින දෙක, සතිය ආදී වශයෙන් දිග්ගැසී ගියේය. දෙදෙනා සතිය දෙක කතා නොකර සිටින්න විය. කෙතරම් දිනක් අමනාපව සිටියද ධනංජය නැවැත කතා කර සමඟි වන තෙක් අංජනා ධනංජය සමඟ කතා නොකළාය. දෙදෙනා අතර අමනාපය පවතින විට ධනංජය අම්මා සමඟ වඩාත් සමීප වන බව අංජනාට දැනුණි. ඇය ඒ ගැන කෝප වූවාය. තමාට වඩා අම්මා ලොකු වී ඇතැයි ධනංජය සමඟ වාද වූවාය. මේ නිසා විවාහ ජීවිතය හය මසක් වන විට දෙදෙනාටම අමිහිරි වෙමින් පැවැතිණි. අංජනා උපදෙස් පතා පැමිණියාය.
මෙවන් ගැටලු ඉතාම සුලබව වර්තමානයේ තරුණ යුවළ අතර දක්නට ලැබෙයි. වසර හයක් ප්‍රේමයෙන් බැඳී සිටියද දෙදෙනා සම්පූර්ණයෙන් එකිනෙකාට නිරාවරණය වන්නේ එක වහලක් යටට වූ පසුය. එහිදී සමහර අවස්ථාවල තමා කලින් දුටුවේ මෙබඳු පුද්ගලයකු නොවේ යැයි හැඟීමක් ඇතිවිය හැකිය. එය ස්වාභාවිකය. ගැටලුව වන්නේ අප පළමු සිදුවීමෙන්ම කලබලයට පත්වී සමස්තයම ඒ මත තීරණය කරන්නට යෑම නිසාය. "එයා ඉස්සර හිටපු කෙනා නොවෙයි. වෙනස් වෙලා. මං ගැන ඉස්සර වගේ සැලැකිලිමත් නැහැ" වැනි මතයන් බලෙන්ම සිත තුළට කාවද්දා ගෙන සිත තුළ පැලපදියම් කරගැනීම නිසා ඉන්පසු සියලු සිදුවීම එම කෝණයෙන්ම බැලීමට උත්සාහ ගැනීමෙන් නැති ගැටලු හටගැනීමට ඉඩ ඇත. අංජනාට සිදුවූයේද එයයි. ඇයට තම නැන්දම්මාගේ ස්වභාවය හඳුනා ගැනීමට අපහසු වූවාය. මෙලොව සිටින සියලු පුද්ගලයන් යහපත අගයන්නෝය. එසේ නැත්නම් ඇගැයිය යුතුය යන අදහසේත් තමා කළ දේ පිළිබඳ ප්‍රශංසා අපේක්ෂාවේත් අදහසක් යම් පමණකට තිබූ හෙයින් අංජනාට නැන්දණියගේ පෞරුෂය වටහා ගැනීම අපහසු වූවාය. "ඒ එයාගේ හැටි" කියා සිතන්න පුරුදු වූවා නම් සහ තමන් කරන යහපත් ක්‍රියාවන් සඳහා ප්‍රශංසා අපේක්ෂාවක් නොවුණි නම් ඇයට නැන්දණියගේ ක්‍රියා කලාපය පීඩාවක් නොවනු ඇත. ප්‍රධානම කාරණය වූයේ දෙදෙනා අතර යම් යම් මත ගැටුම් ඇතිවී විරසක වූ විට අංජනාගේ ක්‍රියා කලාපයයි. ඇය ධනංජය තමා වෙතට පැමිණ කතා කරන තුරු කතා නොකර සිටීමයි. මෙහිදී උපදේශකවරිය ලෙස ඇගේ කතාවට සම්පූර්ණයෙන් ඇහුම්කන් දී මා ඇගෙන් විමසූ කරුණු සහ ඇය දුන් පිළිතුරු විමසා බලමු.
මම - "අංජනා ඔයා හිතනවා නේද සැමියා ඔයත් එක්ක කියනවාට වඩා හැමදේම අම්මා එක්කයි කියන්නේ කියලා"
අංජනා - "ඔව්"
මම - "හැම වෙලේම එහෙමද නැත්නම් ඔයා සමඟ රණ්ඩු වුණාමද එහෙම වෙන්නේ?"
මඳක් කල්පනා කොට,
ඇය - "සාමාන්‍යයෙන් අම්මා එක්ක කියනවා. හැබැයි රණ්ඩු වෙලා කතා නොකර ඉන්නකොට අම්මා එක්ක තමා හැමදේම කියන්නේ."
මම - "හොඳයි පිරිමියකුගේ ජීවිතේ වඩාත්ම සමීප වන කාන්තාවන් කවුද?"
ඇය - "බිරිය"
මම - "තව"
ඇය - "අම්මා"
මම - "අම්මාව ඔහු උපතේ සිටම දන්නවා. බිරිය හමුවෙන්නේ ජීවිතය මැදදී, හොඳයි බිරිය අමනාපෙන් නම් කතා කරන්නේ නැත්නම් සැමියා ඔහුගේ අම්මා ඒ නිවෙසේ ඉන්නවා නම් අම්මාට සමීප වීම වෙන්න බැරිද?"
ඇය - "හිස වනයි"
මම - "එහෙම නොවන්න නම් ඔයා කරන්න ඕන මොකක් කියලද ඔයා හිතන්නේ?"
ඇය - "මට එහෙම හිතුණේ නැහැ. මං හිතුවේ එයා මට වඩා අම්මට සලකනවා කියලයි"
මම - "අංජනයි මහත්තයයි අමනාප වුණාම කවුද ආපහු මුලින්ම කතා කරලා යාළු වෙන්නේ"
ඇය - "එයා"
මම - "හැමදාම එයාමද ඉස්සෙල්ලා කතා කරන්නේ"
ඇය - හිස වනා ඔව් යැයි පවසයි.
මම - "වරද කාගේ වුණත් වෙන්නේ එහෙමද?"
ඇය - හිස වනා ඔව් යැයි පවසයි.
මම - "එයා ඔයාට ආදරය නැත්නම් හැමදාම එයාම ඇවිත් කතා කරාවිද? කවදා හරි ඔයා කතා කරනකල් ඉඳීවිනේ. අංජනාට හිතෙන්නේ හැමදාම එයාම ඇවිත් කතා කරනකල් ඉන්න එක හොඳයි කියලද? ඔයා ඒ වගේ ආඩම්බරෙන් කටයුතු කරනකොට ඔහු අම්මා වෙතට ඉබේම තවත් ළං වෙවි. අම්මලා දරුවො ප්‍රතික්ෂේප කරන්නේ නැහැනෙ අංජනා. ඉතිං ඒකට තරහ අරගෙන වැඩක් තියේවිද? ඒක එහෙම වෙන්න උදවු කරන්නේ කවුද?"
ඇය - "මට දැන් තේරුණා"
මම - "ඇයි රණ්ඩු වුණාම ආපහු යාළු වෙන්න මහත්තයාම කතා කරනකම්ම ඉන්නේ? ඇයි ඔයත් එහෙම කරන්න උත්සාහ නොකරන්නේ? ඉස්සෙල්ලම කතා කරන එක තරගයක් නම් ඒ තරගෙන් ඔයත් ඉඳහිට දිනන්න උත්සාහ කළොත් කොහොම වෙයිද? ආදරය තියෙන තැන ආඩම්බරය, මානය වගේ දේවල්වලට වඩා සමාව, ඉවසීම, පරිත්‍යාගය වගේ ඒවා තිබුණොත් ගොඩක් ලස්සන වේවි."
ඇය - "මට තේරුණා. මම උත්සාහ කරනවා. අනිවාර්යයෙන්ම උත්සාහ කරනවා"
මෙම උපදේශන සැසියෙන් මාස දෙකකට පමණ පසු මම පසු විපරමක් සඳහා ඇය අමතා පවුල් ජීවිතයේ වත්මන් තත්ත්වය විමසා සිටියෙමි. ඇය සිහින් හඩින් සිනාසෙමින් ඉතා මිහිරි ලෙස මෙසේ පැවැසුවාය. "මැඩම් දැන් අපි හරි සතුටින් ඉන්නවා. දැන් මම තමා හැම සැරේම දිනන්නේ"
මව්බිම