සිහින විකිණීමට තිබේ
"කිසිම මුදලක් නොගෙවා නොමිලයේ, අනුන්ගේ සිහින ඔබේ කරගන්න. මෙයින්, ඔබේ බුද්ධිය, හැගීම් දැනීම් සහ කාලය ඉතිරි කරගන්නට ඔබට අනගි අවස්ථාවක්......"
ඉහතින් දැක්වෙන්නේ නුතන රූපවාහිනී දැන්වීමක්. නානා මාදිලියේ සිහින දකිමින්, සිහිනයකින් සිහිනයකට මාරුවෙන අපට රූපවාහිනියෙන් තවත් සිහින මාලාවක්. සිහිනය යථාර්ථයක් වන්නේ එය සැබෑ කරගතහොත් පමණයි. මිනිසුන්ගේ අරමුණ වන්නේ තමන් දකින හැම සිහිනයක්ම සැබෑ කරගන්න එක. ඒත්.... අපි දකින හැම සිහිනයක්ම සැබෑ කරගන්න පුළුවන්ද? සිහින සැබෑ නොවුණොත් ඉතුරු වෙන්න දුක, වේදනා, සිත් තැවුල පමණයි. ඒ නිසා තමයි සැබෑ කරගන්න හැකි සිහින පමණක් දැකිය යුතු වන්නේ. නින්දේ දී අවිඥානිකව දකින, පෙනෙන දේ, සිහින වශයෙන් හදුන්වනු ලබනවා.
සිහිනය සංස්කෘත භාෂාවෙන් "ස්වප්න" ලෙසත්, පාලියෙන් "සුපින" ලෙසත් හදුන්වනවා. අපේ යටිහිතේ තැන්පත්ව ඇති විවිධ භාවයන් මෙන්ම යම් යම් මානසික පීඩාවන් නින්දේ දී සිහින වශයෙන් අපට පෙනෙනවා. පුද්ගලයාගේ හිත ඇතුළේ ඇති දැවැන්ත පීඩනය සමනය කරවීම සඳහා යටි සිත යෙදූ උපක්‍රමයක් වශයෙන්” සිහින දැකීම” හැඳින්වීමට පිළිවන්. මනෝ රෝග විශ්‍ලේෂණයේ දී රෝගියා දකින සිහින නිමිත්තක් වශයෙන් සලකනු ලබනවා. පුද්ගලයා දකින සිහිනය නිමිති කොට ගෙන ඔහුගේ මානසික චර්යාවන් මැන බැලීම මනෝ චිකිත්සක ක්‍රමවේදයක්. බුදු දහම තුළ සිහිනය පිළිබඳව සුවිශේෂීව සාකච්ඡා වෙනවා මහාමායා දේවිය දුටු සිහිනය, බුදු හිමියන් බුදුවීමට පෙරයම දුටු සිහින, කොසොල් රජතුමා දුටු සිහිනය දහසය. මේ සෑම සිහිනයක්ම සමගම බද්ධ වූ නිශ්චිත අර්ථ පවතිනවා. මෙම සිහින ගැඹුරු සමාජ විශ්‍ලේෂණයන් සමග බද්ධ වී තිඛෙනවා. බුද්ධ කාලීනව විසු ශාස්ත්‍රඥයන් විසින් ද සිහින තෝරනු ලැබුවා. සිහිනය, සැබෑ ජීවිතයේ දී ඉටුකර ගැනීම අපහසු මිනිස් විඥානය හා බැඳුන හැඟීමක්. ඒ නිසා සිහිනය යන්න තුළ තිඛෙන්නේ අවිනිශ්චිත අර්ථයක්. මේ ගැන මායිම් නොකර විවිධ දේවල් ගැන හීන දකින්න හීන මවන්න අපි හැමෝම පුරුදු වෙලා. ඇතැම් විට මේ හීන අපි තුළම හටගත් ඒවා නොවෙයි. බොහෝමයක් හීන අපට එන්නත් කරලා. මේ නිසා අපිට අයිති නැති හීන එක්ක ජීවත් වෙන්න අපට සිද්ධවෙලා. ගුවන් විදුලියෙන්, රූපවාහිනියෙන්, පුවත්පතෙන්, අන්තර්ජාලයෙන් පමණක් නොවෙයි. අප ජීවත්වන වටපිටාවෙත්, ගමන් ගන්නා මහා මාර්ගමෙන් අපට දෛනික සිහින සපයනවා.
අපි ගෙවන්නේ සිහින පොඳි බැඳගත්ත සිහින වලින් පිරී ගිය ජීවිතයක්. සවිඥානික නොවුණොත් ජන මාධ්‍යයෙන් මවන සිහින අතරේ තරාතිරමකින් තොරව අපි හැමෝම අතරමං වෙනවා. කෑම බිම ඇඳුම් පැළඳුම් පමණක් නොව අපේ හැඟීම් දැනීම් සංවේදනාවන් ජනමාධ්‍ය සිහින වලින් දිය කරලා ජනමාධ්‍ය මවන සිහින ඉටුකර ගන්න බැරිව කායිකව මානසිකව පීඩා විඳින අය ලකෂ ගණනක්. මේ හැම කොනෙක්ම කරදරේ වැටෙන්නේ මාධ්‍ය මවන අනුන්ගේ සිහින තමන්ගේ කරගන්න ගිහින් කිසිදාක ඉටු කරගන්නට නොහැකි මායාමය අපේක්ෂාවන්ගේ අප මිදෙන්නේ කෙසේ ද? ජනමාධ්‍යකරුවන් යැයි කියා ගත් පිරිස නිර්මාණයන්ට මුවා වී බහුජාතික සමාගම් වලට උකස් කර මුදල් ලබා ගත් අපේ ජීවිත ඉන් මුදවා ගන්නේ කෙසේ ද? අපට සිහින නොමිලයේ සපයා එයින් සිය මඩිය තර කරගන්නා වෙළෙන්දන්ගෙන් අපේ දරුවන්ගේ, කාන්තාවන්ගේ ජීවිත ගලවා ගන්නේ කෙසේද ? සිහින වලට හසු නොවී සිහියෙන් මේ ගැන සිතිය යුතු කාලය එළඹ තිඛෙනවා නේද?
සමන් රාජපක්ෂ
උපුටා ගැනීම ලක්බිම පුවත් පත