Biz Log
Classifields
Biz Log
Classifields

නොගැලපෙන දීගයක ගිහින් තම දිවිය කණපිට පෙරළා ගත් කාන්ති....

නොගැලපෙන දීගයක ගිහින් තම දිවිය කණපිට පෙරළා ගත් කාන්ති....

කාන්ති වයස අවුරුදු හැටක් වුණු විවාහක කාන්තාවක්. ධනවත් පවුලක උපන් කාන්තිට ඉන්නෙ එකම බාල සහෝදරයෙක් පමණයි. මල්ලි කුඩා කාලෙ ඔවුන්ගේ මව මිය ගියාට පස්සෙ කාන්ති තමන්ගේ බාල සහෝදරයාට මවක් වුණා. ඇය මහත් උනන්දුවෙන් පියාවත්, මල්ලිවත් රැක බලා ගත්තා. කාන්තිට අවුරුදු විසි දෙකක් පමණ වෙන කොට ඔවුන්ගේ පියාත් මිය ගියා. ඒ වෙද්දි මල්ලිගෙ වයස අවුරුදු දහතුනයි. වතුපිටි බලා කියා ගනිමින් ඒවායේ ආදායම් ලබාගනිමින් කාන්ති මල්ලිට හොඳින් ඉගැන්නුවා. මල්ලි උසස් පෙළ සමත් වෙලා විදේශ ගත වුණේ වෛද්‍ය අධ්‍යාපනය ලබන්න. ඒ හැම දේකටම ගොඩක් උනන්දුවෙන් වියදම් කළ කාන්ති තම විවාහය ගැන පවා අදහස අත හැරලයි හිටියේ. කාන්තිට තිබුණු ලොකුම බලා‍පොරොත්තුව වුණේ තමන්ගේ මල්ලියි. ඔහු වෛද්‍යවරයකු වනු දැකීමේ සිහිනය පමණයි ඇයට තිබුණේ. මල්ලි විදෙස් ගත වුණාට පස්සේ කාන්ති ගෙදර තනි වුණා. ඉන්පසුව තමයි ඇය ඥාති සොයුරියක් නිවසේ තනියට නතර කරගත්තේ. කාන්තිගෙ මල්ලි වෛද්‍ය උපාධිය ලබා ගත්තත් ලංකාවෙ පදිංචියට ආවෙ නෑ. ඔහු නිතරම කාන්තිට දුරකථන ඇමතුම් දෙමින් කියා සිටියෙ සියලුම දේපළ කාන්තිට පවරා ගෙන විවාහයක් කරගන්නා ලෙසයි. ලංකාවේ පදිංචියට පැමිණිමේ අදහසක් ඔහුට තිබුණේ නෑ. නමුත් මේ වන විට කාන්තිගේ වයස අවුරුදු හතළිහකටත් ආසන්නයි. විවාහයක් වෙන අදහස ඇය අත් හැරලයි හිටියේ. ඇය තනිවම දේපළ වතුපිටි බලා කියා ගනිමින් ඥාති සොයුරියත් සමග ජීවත් වුණා. තවත් කාලයක් ගත වෙන කොට ඥාති සොයුරියට ඇගේ දෙමාපියන් විවාහයක් කර දුන්නා. නමුත් විවාහයෙන් පසු ඇය සැමියාත් සමග කාන්තිගේ නිවසේම පදිංචි වුණේ කාන්තිගේ ඉල්ලීම මතයි. මේ අතර තුරදී තමයි චින්තක කාන්තිගේ වතුපිටිවල සේවයට ආවෙ. එවකට ඔහුගේ වයස අවුරුදු විසි අටක් ඉතා හොඳින් වතුපිටි බලා කියා ගනිමින් වැඩ කටයුතු කළ චින්තක කාන්තිගේ විශ්වාසය දිනා ගත්තෙ බොහොම කෙටි කාලයක් තුළදීයි. කෙසේ හෝ චින්තක මොන තරම් අවංකව අහිංසක ලෙස හැසිරුණාද කිව්වොත් අන්තිමට කාන්තිට දැනුණෙ චින්තක සේවකයෙක් නොව තමන්ගේ පවු‍ලේම කෙනෙක් වගෙයි. මේ අනුව හැම දෙයක්ම චින්තකට කියන තත්ත්වයටම කාන්ති පත් වුණා. කාලයක් ගත වෙනකොට චින්තක කාන්තිට ආදරය කරන්න පටන් ගත්තා. ඒත් තමාට වඩා අවුරුදු දොළහකින් පමණ ළාබාල වූ චින්තක එක්ක සම්බන්ධයක් ඇති කර ගන්න කාන්ති පසුබෑවා. කාන්තිව දිවි ඇති තුරා ඉතා හොඳින් බලා ගන්නා බවට චින්තක ‍පොරොන්දු වුණා. සෑහෙන කලකට පස්සෙ කාන්තිගෙ හිතේත් චින්තක ගැන ආදරයක් ඇති වෙන්න පටන් ගත්තා. ඒ අනුව තමයි ඔවුන්ගේ විවාහය සිද්ධ වුණේ. කාන්ති විවාහ වුණාට පස්සේ ඇගේ ඥාති සොයුරිය සැමියාත් සමග ඔහුගේ ගමට ගියා. ඒ හිත් අමනාපයකට නෙමෙයි. සැමියාගේ මහ ගෙදර ඒ වන විට සිටියේ ඔහුගේ මහලු මව්පියන් පමණක් නිසයි. චින්තක ‍පොරොන්දු වුණු පරිදිම කාන්තිගේ සියලු දේපළද බලා කියා ගනිමින් ඇයව හොඳින් ආරක්ෂා කළා. කාන්තිගේ වයස අනුව ඇයට දරුවකු ලැබිමේ අවකාශය නොතිබුණත් චින්තක ඇය වෙතින් දරුවෙක් අපේක්ෂා කළේ නෑ. බොහොම ආදරයෙන් සමගියෙන් ඔවුන් ජීවත් වුණේ . නමුත් අවුරුදු පනස් පහක් විතර වෙනකොට කාන්තිට එක එක ලෙඩ රෝග මතු වන්නට වුණා. විශේෂයෙන් ඇය දියවැඩියාව සහ හන්දිපත් රුදාවෙන් පීඩා වින්දා. ඒ නිසා තමයි ගෙදරට මෙහෙකාරියක් සොයා ගත්තෙ. ඇය අවුරුදු දාහතක යුවතියක්. වැඩවලට දක්ෂයි. කාන්තිගේ වැඩ හැම එකක්ම කරල දුන්නේ ඇය. නමුත් කාලයක් ගත වන විට කාන්තිට තම සේවිකාවගේ අමුත්තක් දැනුනා. ඇය සුන්දර යුවතියක් නොවුණත් වෙනදාට වඩා පිළිවෙළට අඳින්න හැඩ වැඩ වෙන්නට උත්සාහ කරන බවක් කාන්තිට පැහැදිලි වුණා. ඒත් තරුණියක් නිසා ඒ ගැන විරුද්ධ වෙන්නට හැකියාවක් තිබුණෙ නෑ. කාන්ති ඒ ගැන කිසිම අහිතක් හිතුවෙත් නෑ. එක්තරා දවසක කාන්තිට උණ හැදිලා දිවා කාලය පුරාම නිදා සිටියා. චින්තකත් උදේ ගෙදරින් ගියේ බැංකුවට යන්නටයි. දහවල් මෙහෙකාරියගේත් කිසිදු හැලහොල්මනක් නොතිබුණු නිසා කාන්ති හෙමින් හෙමින් නැගිටලා කුස්සිය පැත්තට ගියේ උණුවතුර ටිකක් බොන්න හිතාගෙනයි. කුස්සියට යාබදව තිබුණු ස්ටෝරු කාමරයේ අමුතු ශබ්දයක් ඇසී ඇය හෙමිහිට ළංවුණේ සොරු විය හැකි යැයි සිතාගෙනයි. ඒත් ස්ටෝරු කාමරයේ අගුල්ලා නොතිබූ දොර මෑත් කර බලනකොට දැකපු අනපේක්ෂිත දර්ශනයෙන් තැති ගත් කාන්ති කෑගැසුවා. සේවිකාව සමග එහි අමුතු හැසිරිමක යෙදී සිටි චින්තක එකපාරම පැන කාන්තිගේ කට මිරිකා ගන්නකොට “අනේ බුදු මහත්තයෝ නෝනව මරන්න එපා” කියමින් සේවිකාව බෙරිහන් දුන්නා. ඇය සිතුවේ චින්තක කාන්තිව මරා දමන්නට සැරසෙන බවය. ඒ සමගම වත්තේ වැඩ කළ සේවකයන් දෙදෙනෙකු දුව ආ නිසා චින්තක ඒ කිසිවකුටත් මුහුණ දිය නොහැකිව ඒ මොහොතේම ගෙදරින් පලා ගියා. සේවිකාවත් ගෙදරින් පිටත් කළ කාන්ති සතියක් ඇතුළත තම සියලු දේපළ සොයුරාගේ නමට නීත්‍යානුකූලව පවරා දැන් සිටින්නේ වැඩිහිටි නිවාසයක. නොගැළපෙන විවාහයකට එළඹිලා තමන්ගේ ජීවිතය කණපිට පෙරළා ගැනීම ගැන කාන්ති තුළ දැන් තියෙන්නෙ ලොකු පසුතැවිල්ලක්. 

ඉන්දු පෙරේරා 

උපුටා ගැනීම ලක්බිම

Share This Article