සැමියාගේ අනියත සැකය මුදිතාගේ ජීවිතය අපායක් කළා...
මුදිතාට රුක්ෂාන් හමුවුණේ වැඩිහිටියන් විසින් ගෙනෙන ලද යෝජනාවකිනුයි. දෙදෙනාට දෙදෙනාම කැමැත්ත පළ කළ නිසා ඉන්පසු රුක්ෂාන් මුදිතාව බලන්න ඇගේ ගෙදරට ආවා ගියා. මුල්ම හමුවීමෙන් මාස අටකට පමණ පසුව තමයි ඔවුන්ගේ විවාහය සිදුවුණේ. එහෙත් ඒ දක්වා තිබූ සතුට මධුසමය දවසට පසුදා සිටම රුක්ෂාන් තුළින් අතුරුදන්වී ඇති බවක් මුදිතාට පෙනුණා. ඇය සිතුවේ ඔහුට අසනීපයක් කියලයි. නමුත් ඔහු එවැන්නක් තමාට නැති බව කී නිසා මුදිතාට මේක ලොකු ගැටලුවක් වුණා. විශේෂයෙන්ම ඇය කම්පාවට පත්වුණේ තමා රුක්ෂාන්ට සමීප වීම පවා ඔහු නොරිස්සීමයි. මෙයට බලපෑ හේතුව කොයිතරම් ඇසුවත් ඔහු එය කිව්වෙ නෑ. ඔවුන්ගේ දවෛනි ගමන යෙදී තිබුණේ පසුදිනට. ඒත් මේ විදිහට ඔහු හිඳීම නිසා ඔහු හා ඔහුගේ නිවසට යාමට පවා මුදිතා බිය වුණා. පෙරැත්ත කරමින් අහනකොට අන්තිමේ රුක්ෂාන් තමාට තිබෙන ගැටලුව ඇය හමුවේ කියා සිටියා. ඒ කතාව ඇසූ සැනින් මුදිතා දෑස විශාල කරගෙන ඔහු දෙස බලා සිටියේ වික්ෂිප්ත වූ සිතින්. ඇයට කතා කරන්නට වචන පවා අමතක වී තිබුණා. ඇය මේ විදිහට බයෙන් බිරාන්ත වී තමා දෙස බලා හිඳිනු දැකීමෙන් රුක්ෂාන් ඔහුගේ සැකය තවදුරටත් තහවුරු කරගත්තා. රුක්ෂාන් මුදිතා සමග කායිකව එකතු වුණු මුල්ම අවස්ථාව ඔවුන්ගේ මධුසමයයි. විවාහයට පෙර මිතුරන් ඔහුට පවසා තිබුණේ තරුණියකගේ පළමු කායික එක්වීම ඇයට මහත් වේදනාකාරී බවයි. ඒ අනුව සමහර තරුණියන් ක්ලාන්ත විය හැකි බවත්, තවත් සමහර තරුණියන් හඬමින් ඇඳ වටා දුවන බවත්, පළමු එක්වීමෙන් පසුව කාන්තාවට ඇවිද ගැනීමට පවා අපහසු වන බවත් ඔවුන් පවසා තිබුණා. නමුත් මුදිතාට ඒ කිසිවක් ඇති වූයේ නෑ. තරමක වේදනාකාරී බවක් දැනුණා මිස එයද ඒ මොහොතෙන් පසුව යටපත්ව ගියා. මේ අනුව රුක්ෂාන් සිතුවේ ඇය මීට පෙර වෙනත් පිරිමින් හා කායික සබඳතා පවත්වා පළපුරුදු අයකු බවයි. මේ නිසා ඇය මධුසමය දිනයේ තමා ඉදිරියේ ලොකු රඟපෑමක් කර ඇති බව රුක්ෂාන් කී විට මුදිතා දෑස අයාගෙන බලා සිටියේ තමාගේ හිස මත පතිත වූ මේ හෙණය කුමක්දැයි වටහා ගත නොහැකිවයි. ඇය මඳ වෙලාවකට පසු සිහි එලවාගෙන තමා කිසිදු පිරිමියකු සමග මීට පෙර කායිකව එකතු වී නැති බව දිව්රා කීවත් රුක්ෂාන් එය විශ්වාස කළේ නෑ. දෙවන ගමන දිනයේදී ඔවුන් පවුලේ අයට ඥාතීන්ට මිතුරන්ට මුහුණ දුන්නේ මවා ගත් සතුටකින්. ඉන්පසු පවුල් ජීවිතය ආරම්භ කළත් මුදිතා තුළ කිසිදු සතුටක් හෝ ප්‍රබෝධයක් තිබුණේ නෑ. ඇය ජීවත් වුණේ දිවි නසා ගන්න බැරිකමටයි. රුක්ෂාන් හැමවිටම මුදිතාව සැක කළා. ඇය පිරිමියකු සමග සිනාසුනත් රුක්ෂාන් දැඩිව කෝපයට පත් වුණා.
“ගෙදර ඉන්න කාලෙ තිබුණු පුරුදු දැන් මෙහෙ බෑ හරිද? මොකෙක් එක්ක හරි ආයෙ එල්ලෙන්න ගියොත් අඬු කඩලයි පස්ස බලන්නෙ.” රුක්ෂාන් මුදිතාව සැක කරමින් දැඩිව ඇයට තර්ජනය කළා.
“අනේ දෙවියනේ මං කරපු කිසිම වරදක් නෑ. ඔයා එක්ක ඇර වෙන කිසිම පිරිමියෙක් එක්ක ඉඳපු කෙනෙක් නෙමේ මම. ඔයා කියන ඕනෑම තැනක ඕනෑම විදිහකට දිව්රලා කියන්නම්.” මුදිතා හඬා වැටෙමින් කියන විට රුක්ෂාන් අපහාසාත්මකව සිනාසුණා මිසක් ඇය කියූ කිසිවක් විශ්වාස කළේ නෑ.
“ගියේ නැති හින්ද තමයි කසාද බැඳපු දවසෙ කිසිම අපහසුවක් නැතුව පුරුදුකාරියක් වගේ හැසිරුණේ.” රුක්ෂාන්ගේ එවැනි වදන් මුදිතාට දැනුණෙ තමාගේ හිසට එල්ල කරන පොලු පහරවල් වගේ. ඇය එදින සියලු අපහසුතා ඉවසා දරා සිටියේ රුක්ෂාන්ට තිබුණු ආදරය නිසා. ඒත් රුක්ෂාන් ඒ බව පිළිගත්තෙ නෑ. පළමු කායික එක්වීමේදී සමහර කාන්තාවන්ට මෙන් මුදිතාට ද රුධිරය පිටවුණත් රුක්ෂාන් කීවේ එයද ඇගේ ප්‍රයෝගයක් බවයි.
මුදිතාට රුක්ෂාන් සමග විවාහයෙන් ලැබුණු එකම දේ සිත් වේදනාවන් පමණයි. ඇයව නිරන්තරව සැක කරමින් සුළු අතපසුවීමකදී පවා ඇයට දොස් නගමින් අපහාස කරමින් සිටියා විනා රුක්ෂාන් ඇයට කිසිදු ආදරයක් දැක්වූයේ නෑ. බැරිම තැන ඇය මේ විවාහය අතහැර ආපසු ගෙදර යන්නට සූදානම් වුණා. එදා රුක්ෂාන් ඇයට අපහාස කර නිකන් හිටියේ නෑ. ඇගේ දෙමාපියන්ට පවා ඉතා නින්දිත ආකාරයෙන් ඇය ඉදිරිපිටදී බැණ වැදුණා. ඇය ආපසු ගෙදර ගියොත් ඒ සියලුම අපහාස කතා ඇගේ දෙමාපියන්ට පමණක් නොව අහළ පහළ අයටත් ඇසෙන පරිදි ගේ ඉදිරිපිටටම පැමිණ කියන බවටත් තර්ජනය කළා. මුදිතාට පවුල් ජීවිතය කියන එක අමු තිත්ත කසායක් වගේ වුණා. ඇයට ඇගේ දෙමාපියන් බලන්න යන්නවත් රුක්ෂාන් ඉඩ දුන්නේ නෑ. ඔහු කීවේ ඇය විවාහයට පෙර අනාචාරයේ හැසිරුණු අන්දම ඇගේ දෙමාපියන්ද දන්නා බවයි. එසේ නිගමනය කළ ඔහු මුදිතාගේ පවුලේ අයටත් වෛර කළා. ගෙදර තාප්පයෙන් එහාටවත් රුක්ෂාන්ගේ අවසරයක් නැතිව මුදිතාට යන්න හැකියාවක් තිබුණෙ නෑ.
“මට ආදරෙත් නැත්නම් මාව ඕනෙත් නැත්නම් මාව දික්කසාද කළා නම් ඉවරනේ. මාව මෙහෙම බොරුවට සැක කර කර මට වද දෙන්නෙ නැතුව.” බැරිම තැන දිනක් මුදිතා රුක්ෂාන්ට කීවේ හඬා වැළපෙමිනුයි.
“ඔව් එතකොට උඹට එක එකා එක්ක යන්න ලේසිනේ. දැන් ඒකට විදිහක් නැති හින්දා උඹට මාව හතුරෙක් වගේ පේනව ඇති. ඒකනෙ මෙතනින් පනින්න හදන්නෙ.” රුක්ෂාන්ගේ පිළිතුරින් මුදිතා වෙව්ලා ගියා.
“තමුසෙට නම් හොඳක් වෙන්නෙ නෑ මට මේ කරන අපරාදෙට.” ඇය කෑගසා කියූ විට රුක්ෂාන් ඇයට පහර දුන්නා.
මුදිතාට ජීවිතේ ගැන ඇති වුණේ තදබල කලකිරීමක්. රුක්ෂාන් ඇයට මේ විදිහට හිරිහැර කළා වගේම ඔහුගේ සියලු කායික අවශ්‍යතා බලහත්කාරයෙන් ඇයට රිදවමින් සංතෘප්ත කරගන්නටත් අමතක කළේ නෑ. ඒත් කිසිම අවස්ථාවක ඇගේ වුවමනා එපාකම් ගැන ඔහු සොයා බැලුවෙ නෑ. ඒ වගේම ඔහුගේ කෑම බිම සකසා දීම, රෙදි පිළි සෝදා දීම වැනි සියලු දෑ ඇය අකුරටම ඉටුකළ යුතු වුණා. රුක්ෂාන්ගෙන් මිදෙන්නට බැරිම තැන සිය දිවි නසා ගන්නට මුදිතා තීරණය කළා. දිනක් ඇය එක්තරා වස වර්ගයක් පානය කළේ මිය යන්න සිතාගෙනයි. නමුත් වස පානය කිරීමෙන් පසු ඇතිවූ බියට ඇය කෑගසද්දී අසල්වැසි යුවළක් ඇය රෝහල් ගත කළා. අන්තිමේ ඇය කළ සියලු විස්තරවලට අනුව රුක්ෂාන්ව මනෝ වෛද්‍යවරයෙකු වෙත පමුණුවන්නට පොලීසිය විසින් පියවර ගනු ලැබුවා.
උපුටා ගැනීම ලක්බිම