ගෙදර ආර්ථිකය නැංවීමේදී කාන්තාව උපායශීලී විය යුතුයි
ජීවිතය පවත්නා තුරා සියලු දුක සැප සමව ඛෙදාගෙන ආදරයෙන් ජීවත් වන්නෙමුයි ගිවිස විවාහ දිවියට ඇතුළුවන සමහර අඹු සැමියන් කෙටි කාලයක දීම එකිනෙකා විරසක වන්නේ තමන්ටත් නොදැනීමයි. ඔවුනොවුන් අතර වන සුළු ප්‍රශ්නයක් පවා දුරදිග යන්නේ ජීවිතය පිළිබඳව ජීවත්වන ආකාරය පිළිබඳව නිවැරැදි අවබෝධයක් නොමැති නිසයි. බොහෝ පවුල්වල උද්ගත වන ගැටුම්වලට ප්‍රධාන සාධකයක් වන්නේ ආර්ථික ප්‍රශ්න. මොන තරම් හරි හම්බ කළත් උපයාගත් ධනය වැය කරන පිළිවෙළ නොදන්නවා නම් එතැන හිදැසක් ඇතිවෙනවා. එසේ වන්නේ ඇයි? තමන් ගේ අවශ්‍යතා නිවැරැදිව තේරුම් ගෙන විය පැහැදම් නොකිරීම නිසයි.
කුස ගින්නට ආහාර, විළි වසා ගන්නට ඇඳුම්, ලෙඩ රෝගවලට බේත් හේත්, ඉන්න හිටින්නට වාසස්ථානයක් අපේ අත්‍යවශ්‍ය අවශ්‍යතාවන්. හැකි දා උපයන දෙයින් යම් ප්‍රමාණයක් ඉතිරි කර නොගත්තේ නම්, අර පරිස්සමින් විය පැහැදම් නො කළේ නම්, නො හැකි දා අපට සිදු වන්නේ ජීවත්වීමට අත්‍යවශ්‍ය අවශ්‍යතා හෝ සපුරා ගත නොහැකි වීමයි. මනුෂ්‍ය ජීවිතයේ ලෙඩ දුක්, විපත් කරදර සාමාන්‍යයි. එවැනි අවස්ථාවක වුව ද අග හිගයකින් තොරව පවුලේ සාමාජිකයන්ට සාමකාමීව ජීවත්වීමට හැකි වන්නේ හොඳ ආර්ථික කළමනාකරණයක් තිබුණොත් පමණයි. එවැනි පරිසරයක් නිර්මාණය කිරීමෙහි ලා වැඩි වගකීමක් පැවරෙන්නේ ගෘහපතිනියට. තමන් ගේ සැමියාට, දරුවන්ට යහපත් ජීවිතයක් උදාකරලීමට, පවුලේ සතුට දියුණුව ආරක්ෂා කරගන්නට ඇයට සුවිශේෂී හැකියාවක් තිඛෙනවා. එක් අවස්ථාවක කොසොල් රජතුමා තමන්ට දියණියක ඉපදීම ගැන සිත් තැවුලට පත්ව බුදු හිමියන් හමුවට පැමිණියා. ඒ අවස්ථාවේ උන්වහන්සේ දේශනා කොට වදාළේ ඇය. ‘මේධාවිනී සීලවතී - සස්සු දේවා පතිබ්බතා’ ලෙසින් විරුදාවලී ලබන බවයි. මේධාවිනී නම් ඥානවන්ත තැනැත්තියයි. ‘සීලවතී’ නම් ශීලාචාර පැවතුම් ඇත්තියයි. ‘පතිබ්බතා’ නම් පතිදම්, සාරදම් සුරකින්නිය යි. ඇය මේ විරුදාවලී ලබන්නී ඇය ගේ ක්‍රියාකාරිත්වය පවුලක, සමාජයක යහ පැවැත්මට හේතු වන නිසයි.
පවුලේ ආර්ථික ප්‍රශ්න හමුවේ පමණක් නොව ආර්ථිකය ගොඩනගා ලීමෙහි ද නුවණැති කාන්තාවකට කළ හැකි දේ බොහෝ යි. ඒ සඳහා ඇය උපායෙහි දක්ෂ විය යුතුයි. අතීතයේ මෙන් නොව අද අපේ සමාජයේ බොහෝ කාන්තාවන් පවුලේ දියුණුව වෙනුවෙන් බොහෝ රැකියාවල නිරත වෙනවා. ඒ අතර බස් රියේ, දුම්රියේ, මහ මග බුලත්විට විකුණමින්, එළවළු පලතුරු විකුණමින් පවුලේ ආර්ථිකයට ශක්තියක් වෙන්නට දහදිය හෙළන ගෘහ පතිනියන් සිටිනවා. ඒ අතර තමන් හම්බ කරන සුළු ධනයෙන් පවා යම් ප්‍රමාණයක් පරිභෝජනයට ගෙන තවත් කොටසක් ව්‍යාපාරයේ දියුණුව පිණිස යොදවා දුක ජය ගත් කාන්තාවන් ද සිටිනවා. ලාබ උපයන බොහෝ මහා පරිමාණ ව්‍යාපාර පිටුපස ඇත්තේ එවැනි දිරිය කාන්තාවන් ගේ ධෛර්යයි. ඔවුන් ගේ නුවණැති බව උත්සාහය, කැපවීම ඒ දියුණුවේ රහසයි. බුදුරජාණන් වහන්සේ දේශනාකොට වදාළේ කුඩා ගිනි පුපුරකින් මහා ගින්නක් ඇති කර ගන්නා සේ නුවණැති තැනැත්තා ඉතා ස්වල්ප දෙයකින් විශාල ධනයක් උපයා ගන්නා බවයි.
‘අප්පකෙනපි මෙධා වී - පාහතෙන විචක්ඛණො
සමුට්ඨාපෙති අත්තානං - අණුං අග්ගිං ච සන්ධ මං’
යන ගාථා ධර්මයෙන් අර්ථවත් කළේ එයයි. ජීවත්වීම සඳහා ධනය උපයාගත යුතු ආකාරය කෙසේද යන්න පිළිබඳවත්, එම ධනය පරිහරණය කරන ආකාරය පිළිබඳවත් සම්බුද්ධ දේශනාවේ සඳහන්. තමන්ට මෙන් ම අනුන්ට ද අයහපතක් නොවන එම ධර්මෝපදේශ අප ගේ ජීවිතයට ඉතා වටිනා මඟ පෙන්වීමක්. ව්‍යග්ඝපජ්ජ සූත්‍රයේ දී බුදුරජාණන් වහන්සේ, යම් පුද්ගලයකු ගේ හිත සුව පිණිස, දියුණුව පිණිස හේතුවන ප්‍රධාන කරුණු හතරක් පෙන්වා දී තිඛෙනවා.
උට්ඨාන සම්පදාව ඉන් පළමුවැන්නයි. එහිදී උන්වහන්සේ අවධාරණය කර තිඛෙන්නේ, යම් කුල පුත්‍රයෙක් ගොවිතැනින් හෝ වෙළෙදාමෙන් හෝ ගව පාලනයෙන් හෝ රාජ්‍ය සේවාවෙන් හෝ වෙනයම් ශිල්පයකින් හෝ දිවි පවත්වා ද ඒ පුද්ගලයා තමන් කරන කාර්යයෙහි දක්ෂවේද, අනලස්වේද, උපායෙන් හා විමසීමෙන් යුක්ත වේද සුදුසු කාලයෙහි ඒ ඒ කර්මාන්ත කිරීමටත්, සංවිධානය කිරීමටත් සමත් වේ නම් හේ උත්සාහවත් පුද්ගලයෙක් වන බවයි. ඔහුගේ දියුණුවට හේතුව අලස නොවීමයි. වීර්යෙන් කටයුතු කරන පුද්ගලයාට තම අභිමතාර්ථ සම්පූර්ණ කර ගැනීම අපහසු නොවන බව උන්වහන්සේ දේශනා කළා. දෙවැන්න ආරක්ඛ සම්පදාවයි. එනම් ආරක්ෂා සම්පත්තියයි. අපේ සමාජයේ බොහෝ දෙනා කෙරෙහි ධනය හම්බ කළත් දියුණුවක් නැත්තේ නිසි ලෙස පාලනය කිරීමේ පුරුද්දක් නැති නිසයි. තමන් උපයන ධනය පිරිහෙන දොරටු හතරක් පිළිබඳව මෙම සූත්‍රයේ දීම උන්වහන්සේ අපූරු උදාහරණයකින් දක්වා තිඛෙනවා. ස්ත්‍රී ධූර්තයෙක් වීම, සුරා සොඬෙක් වීම, දූ කෙළියට පුරුදු වූවෙක් වීම, පවිටු මිතුරන් ඇසුරු කිරීම පිරිහීමේ දොරටු ලෙස අවධාරණය කරන උන්වහන්සේ, දිය ඇතුළුවන දොරටු සතරක් හා දිය පිටවන දොරටු සතරක් ඇති මහ විලෙක කිසියම් පුරුෂයෙක් දිය එන දොරටු වසා දිය පිටවෙන දොරටු හැර දමයි ද මහා වැසි වැස්ස ද ඒ විල ජලයෙන් පිරී නොයන්නා සේ උපයන ධනය පෙර කී සිවු ආකාර පිරිහීමේ දොරටුවලට අසු වූ කල පුද්ගලයා ගේ දියුණුවක් අපේක්ෂා කළ නොහැකි යැයි විස්තර කරනවා. පුරුෂ පාර්ශ්වය උදාහරණයට ගනිමින් දේශනා කොට වදාළ ද මෙම ධර්ම කරුණු ගෘහ පතිනියට ද ඉතා වටිනා මඟ පෙන්වීමක්.
අද අපි ජීවත්වන්නේ ඉතාම සංකීර්ණ වූ සමාජයක. ඒ පරිසරයේ දකින දකින දේ පසුපස හඹා යනවා නම්, කැමති කැමති රස පසු පස ලුහු බඳිනවා නම් කිසි දිනක සතුටින් ජීවත් විය නොහැකි යි. මන්ද මොනතරම් ධනය ඉපයුවත් කිසිදු ඉතිරියක් නොවන නිසා. ඒ වගේ ම අවශ්‍යතාවන්ගෙන් සෑහීමකට පත් නොවන නිසා. අප ජීවත් විය යුතු වන්නේ තමන්ට මෙන් ම අනුන්ට ද බරක් නොවන ලෙසයි. ඒ සඳහා සරල පැවතුම් ඇති, පහසුවෙන් පෝෂණය කළ හැකි සන්සුන් ඉඳුරන් ඇති කෙනෙක් වීම අත්‍යවශ්‍යයි. එමෙන් ම උපයන දේ මනා කළමනාකාරිත්වයකින් අත්‍යවශ්‍ය දේට පමණක් යෙදවීමේ උපාය දන්නා අයෙක් විය යුතුයි. ජීවිතය සැහැල්ලුවෙන් සතුටින් ගත කිරීමට අවස්ථාව උදාවන්නේ එවිටයි.
ආචාර්ය අකුරැටියේ නන්ද නාහිමි
උපුටා ගැනීම සිළුමිණ