Biz Log
Classifields
Biz Log
Classifields

ඉතාලියේ දී අපේ නිළියකට සුරංගනා ලොවක් පෙන්වා පණපිටින් අපාගත වු තරුණයෙක්

“තරුණ වයසේදී ආදරෙන් අන්ධ වුණාම අපි සමහර වෙලාවට කරන්නේ මෝඩ වැඩ. ඒත් ඒවා තේරුම් යන කොට ගොඩක් ප්‍රමාද වෙලා වැඩියි“ කලකදී හමුවූ යෙහෙළියක මෙසේ පවසා සිටියේ ඇයගේ ජීවිතයට ජුවම බල නොපෑවද ඇයට සම්බන්ධ කතාවකි. “ඔයා අපේ කාගේවත් ඇත්ත නම් ගම් නොකියා මේ කතාව පත්තරේට ලිව්වත් කමක් නෑ. ඒකෙන් තවත් තරුණ ජීවිතයකටවත් යහපතක් වෙයි නේ” මගේ යෙහෙළිය එසේ පවසා සිටියෙන් ඇගේම වචනවලින් මම ඇගේ කතාව ලියා තබන්නෙමි. 

“මේක මගේ මල්ලිට සිද්ද වුණු දෙයක්. අපේ පවු‍ලේ දරුවො දෙන්නයි. මමයි, මල්ලියි විතරයි. අපි කොළඹට කිට්ටු නගරයක. අපේ අම්මයි, තාත්තයි රජයේ රැකියාවන් කළේ. ‍පොඩි කා‍ලේ ඉඳලා මටයි, මල්ලිටයි ජීවිතේ බරක් දුකක් නම් දැනිලා තිබ්බේ නෑ. මගේ මල්ලි හරි කඩවසම්. එයා ජීවිතේ ගෙව්වෙ හරිම සෙල්ලක්කාර විදියට. මම උසස් පෙළ ඉවර වෙලා පරිගණක පාඨමාලාවක් කරද්දී තමා ප්‍රදීප් එක්ක සම්බන්ධයක් පටන් ගත්තේ. පස්සේ අපේ ගෙවල්වලිනුත් ප්‍රදීප්ට කැමති වුණා. එයත් ඒ පාඨමාලාවට ආවා. ප්‍රදීප්ගේ නැන්දා කෙනෙක් හිටියා ඉතාලියේ. එයාලා ලංකාවට ආපු වෙලාවක ප්‍රදීප්ගෙන් ඉතාලි යන්න කැමතිද කියලා අහපුවම එයා හා කියලා තිබුණ නිසා ටික කාලයකින් එයාලා ප්‍රදීප්ව ගෙන්න ගත්තා. ඔය විදියට අවුරුදු කීපයකින් ප්‍රදීප් ලංකාවට ඇවිත් මාව විවාහ කරගෙන මාවත් ඉතාලියට ගෙන්න ගත්තා. මම මෙහෙට එනකොට මල්ලි හිටියේ උසස් පෙළ පන්තියේ. එයා විභාගේ හොඳට පාස් වෙලා තිබ්බේ නෑ. ඒක නිසා අම්මලා යෝජනා කළා මොනවා හරි දෙයක් වැඩිදුර ඉගෙන ගන්න කියලා රැකියාවකට යන්න. ඒත් එයාට ඒ ගැන කිසිම උනන්දුවක් නෑ. යාළුවොත් එක්කම එකතු වෙලා ඇවිද ඇවිද ඉන්නවා කියලා මම කතා කරපුවම කියලා අම්මා හරියට දුක් වුණා. අපි නිවාඩුවට ලංකාවට ගියාමත් මල්ලිගේ හැසිරීම දැක්ක ප්‍රදීපුත් කිව්වා; මෙයා මෙහේ හිටියොත් නම් කොහෙන් කෙළවර වෙයිද දන්නේ නෑ; අපි මෙයාව ඉතාලියට ගෙන්න ගමු කියලා. අම්මයි, තාත්තයි ඒකට ගොඩක් සතුටු වුණේ, මල්ලිගේ හැසිරීම එන්න එන්නම වෙනස් වුණ නිසා, මාස කීපයකින් ප්‍රදීප් මල්ලිව ඉතාලියට ගෙන්න ගත්තා. එයා ඇවිත් ටික දවසකින් හොඳ රැකියාවකුත් ලැබිලා හොඳින් හිටියා. අම්මයි, තාත්තයි ගොඩක් සතුටු වුණා එයාගේ ජීවිතෙත් පිළිවෙළක් වුණු එකට. මල්ලි ගෑනු ළමයෙක් එක්ක සම්බන්ධ වෙලා හිටියේ ඉතාලි එන්න කලින් ඉඳලම. ඒක එයා ඉස්කෝ‍ලේ යන කා‍ලේම පටන් ගත්ත එකක්. ඒ සම්බන්දේ දිගටම තිබ්බා. ඒ ගෑනු ළමයත් හොඳ පවුලක වැදගත් කෙනෙක් නිසා අපේ අම්මලා තාත්තලා එයාට අකමැති වුණේ නෑ. මෙහේ ඇවිත් අවුරුදු දෙකකට පස්සේ මල්ලී නිවාඩුවට ලංකාවට ගියා. ඒ ගිහින් ආවට පස්සේ එයාගේ හැසිරීම හොඳටම වෙනස් වුණා. එයා නිතරම ස්කයිප් එකේ කාත් එක්කද කතා කරන්න ගත්තා. අපි කලින් හිතුවේ එයා බඳින්න හිතාගෙන ඉන්න ගෑනු ළමයා කියලා. ඒත් ඒ ළමයා මට කතා කරලා කිව්වා මල්ලි එයාව මගඅරිනවා කියලා. මම මල්ලිගෙන් මේ ගැන ඇහුවම එයා මාත් එක්ක කතා කළෙත් කේන්තියෙන්. “ඔව් එයාව මට හරියන්නේ නෑ අපි දෙන්නගේ අදහස් ගැළපෙන්නේ නෑ” කියලා මල්ලී කීවාම මම එයාට බැන්නා. මෙච්චර කාලයක් ඒ ළමයට බලා‍පොරොත්තු දීලාද දැන් ඕක කියන්නේ කියලා. මල්ලි හොඳටම වෙනස් වුණා. එයාට වෙනම ගෙදරකට යන්න ඕනේ කියලා කීවේ මේ කා‍ලේ තමයි. එයා ඒකට නිදහසට කීවේ එයා ඉන්නකොට අපේ නිදහසට බාධාවක් කියලා. පස්සේ අපි එයාගේ අදහසට ඉඩ දුන්නා. එයාම ගෙයක් හොයා ගත්තා. හැබැයි හොයා ගත්තේ සාමාන්‍ය විදේශිකයෝ ගන්නවා වගේ එකක් නමෛයි සුඛෝපභෝගීි එපාර්ට්මන්ට් එකක්. අපි එයාට කිව්වා ඔයා කොහොමද ඔය ගේ කුලිය ගෙවන්නේ ඔයාගේ පඩියත් මදිවෙයි ඕක නැතිව සාමාන්‍ය එකක් ගන්න කියලා. එයා ඇහුවේ නෑ. එයා ඒ ගෙදර පදිංචියට ගිහින් ටික දවසකින් ප්‍රදීප්ට කියලා තිබ්බා ලංකාවේ ඉඩමක් ගන්න මුදල් වගයක් මදි ඒක නිසා ණයක් අරන් දෙන්න කියලා. එයා ඉඩමේ විස්තරයි තියෙන තැනයි ඔක්කොම කිව්ව නිසා ප්‍රදීප් යුරෝ විසිදාහක ණයක් අරගෙන දුන්නා. මල්ලී දිවුරලා ‍පොරොන්දු වුණා ඒක ඉක්මනින් ගෙවනවා කියලා. එයා ඒ කාලෙම ගොඩක් ලස්සන වාහනයකුත් ගෙවන්න කියලා ගත්තා. ඒත් අපි එයාට කීවා ඔයාගේ පඩියෙන් ඕවා කරන්නේ කොහොමද කියලා. එයා හිනාවුණා මිසක් මොනවත් කීවේ නෑ. ඔහොම ටික දවසක් යනකොට අපිට මල්ලිගේ යාළුවෙක්ගෙන් ආරංචි වුණා මල්ලිගේ ගෙදර ලංකාවේ ප්‍රසිද්ධ කාන්තාවක් ඉන්නවා කියලා. අපි මේකේ ඇත්ත නැත්ත දැනගන්න දවසක නොකියම ගෙදරට ගියා. මල්ලී අපිව ගේ ඇතුළට ගන්නත් මුලින් කැමති වුණේ නෑ. මම බලෙන්ම ගෙට ගිහින් බලද්දී තමයි දැක්කේ ඒ කියපු කෙනා ඉන්නවා කියලා. මල්ලී මෙයාව අඳුනාගෙන තියෙන්නේ ලංකාවට ගිය පාර. අපේ ගෙදර ටෙලි නාට්‍යයකට රූපගත කිරීම්වලට දීලා තියෙනවා. මල්ලි එතකොට ලංකාවේ. ඒ නාට්‍යයේ රඟපාපු නිළියක් එක්ක මෙයා සම්බන්ධයක් පටන් අරන්. ඒ කාන්තාව මල්ලිට වඩා වැඩිමල් විවාහක කෙනෙක්. මල්ලි කීවා “අක්කේ මම මෙයාට ආදරෙයි. මම මෙයාව බඳිනවා. මෙයාව මම මෙහෙට ගෙන්න ගත්තේ මගේ ඕනේකමට කියලා” මම මල්ලී එක්ක රණ්ඩුවෙලා ආපහු ආවා, ආයෙත් එයා ගැන හෙව්වේ නෑ. අම්මලාත් මේ ගැන දැනගෙන ගොඩක් දුක්වුණා. මෙහෙම මාස හයක් විතර ගියාම මල්ලී දවසක් මට කෝල් කරලා හොඳටම ඇඬුවා. අක්කේ අර ගෑනි මාව විනාශ කරලා යන්න ගියා, මම දැන් ජීවත් වෙලා වැඩක් නෑ කියලා. එහෙම අඬද්දී නම් මට දුක හිතුණත් මමත් ඒ වෙ‍ලේ එයාට බැන්නා. එයාගේ යාළුවෙක් ඊට දවස් කීපයකට පස්සේ කීවා මල්ලිත් ලංකාවට ගියා කියලා. මල්ලිගේ ළඟම යාළුවා අපිට කිව්ව විදියට අර නිළියට මල්ලි පුදුමාකාර සුරංගනා ලෝකයක් මෙහෙදී පෙන්නලා තියෙනවා. හැමදාම හෝටල්වලින් කන්න අරන් දීලා. ලොකු ලොකු සාප්පුවලින් නිතර තෑගි අරන් දීල. මුළු ඉතාලිය පුරාම ඇවිදින්න එක්කන් ගිහින්. ඒ කාන්තාවට පෙනුම වැඩි කරගන්න ඕනේ කරන මිල අධික පලතුරු, රූපලාවන්‍ය නිෂ්පාදන වගේ දේවල් හොයන්න මල්ලි දවස පුරාම වෙහෙසුණා කියලා යාළුවා කිව්වා. ඒ වගේම එයා ඒ කා‍ලේ කිසිම යාළුවෙක් ආශ්‍රය කරලත් නෑ. මොකද අර කාන්තාව කැමති නෑලු ගෙදරට වෙන අයට එනවට. මල්ලි අර ගත්ත ණයෙන් තමයි මේ හැම දෙයක්ම කරලා තියෙන්නේ. අන්තිමේ අතේ සතේ නැතිවෙලා. ගෙවල් කුලී ගෙවා ගන්නත් බැරිවෙද්දී මල්ලි එයාගේ ආදරවන්තියට ඇත්තම කියලා. මෙහෙම තමයි මෙච්චර කාලක් මේවා කළේ කියලා. එයා මල්ලිත් එක්ක රණ්ඩුවෙලා ලංකාවට ගිහින් එහෙම දුක් විඳින්න එයාට ඕනේ නෑ කියලා. අන්තිමේ මල්ලිත් හැම දෙයක්ම නැතිකරන් ලංකාවට ගියා. රස්සාවත් නෑ, හම්බ කරපු දෙයකුත් නෑ. දැන් තනිකරම බේබද්දෙක්. ඔහේ ගෙදරට වෙලා බිබි දවස ගෙවනවා. අර කාන්තාව ඊට ටික කාලෙකට පස්සේ ලොකු මඟුල් ගෙයක් අරන් වෙන සල්ලි තියෙන කෙනෙක් එක්ක ආයිත් විවාහ වුණා. මල්ලි බඳින්න හිටපු ගෑනු ළමයත් හොඳ කෙනෙක් බැඳලා; එංගලන්තේ පදිංචියට ගියා. මල්ලි විතරක් ජීවිතේ නැති නාස්ති කරගත්තා. මේ සිද්ධිය වෙලා දැන් අවුරුදු ගාණක්. දැන් මල්ලිට ආයෙත් මේ රටට එන්නත් බෑ, එයාගේ වීසා එක ඉවර වෙලා. අපිත් එයා නිසා අමාරුවේ වැටුණා ලොකු ණයකට හිරවෙලා; ඒත් කමක් නෑ අඩුම ගාණේ එයාටවත් යහපතක් වුණා නම්. මේ දේවල් ගැන හිතලා හිතලා තාත්තා පපුවේ අමාරුවකින් නැතිවුණා. දැන් මල්ලියි, අම්මයි ගෙදර ජීවත් වෙනවා. මල්ලි ගොඩක් වෙලාවට තනියෙන් කියවනවා. ඇහැරලා හිටියොත් මත්පැන් බොනවා. අපිටත් එයා වෙනුවෙන් කරන්න කිසිම දෙයක් නෑ. බෙහෙත් අරන් දුන්නත් එයා ඒවා බොන්නෙත් නෑ. මේ සිද්ධ වුණු දේවල්වලට කාටවත් දොස් කියන්න මට බෑ. මේ හැම දෙයක්ම මල්ලිගෙම වැරැද්ද. එයා ‍පොඩි ළමයෙක් නමෛයි. මීට වඩා එයාට හිතන්න තිබ්බා. අන්තිමේ වුණේ තරුණ ජීවිතයක් නිරපරාදේ විනාශ වුණු එක විතරයි. මගේ යෙහෙළිය ඇගේ සොහොයුරා ගැන එසේ කියා සුසුම් හෙළුවාය. ජීවිතයේ ඇතැම් සිදුවීම්වලදී සිතට වහල් නොවී බුද්ධියට ඉඩ දිය යුතු බව ඇගේ සොහොයුරා මොහොතක් සිතුවා නම් ඔහුද අද වාසනාවන්ත ජීවිතයක් ගෙවන්නට ඉඩ තිබුණා නොවේද?  

ලක්මිණි වෙදමුල්ල ඉතාලියේ මිලානෝ සිට 

උපුටා ගැනීම ලංකාදීප

Share This Article