දියණිය ද සමග ලංකාවේ ධනවතකුගේ කුලගෙදරින් පැන ඉතාලි ආ ශිරානි
නංගි ෂෝට් ඊට්ස් වගයක් තියෙනවා ගන්නවාද? හොඳ රස්නෙට තියෙනවා. දැන් හදලා අරන් ආවේ” උමං දුම්රියෙන් උඩට එත්ම තරුණ කාන්තාවක් සිංහල බසින්ම මා අමතන්නට වූයේ මා ශ්‍රී ලාංකිකයකු බව කෙසේ හෝ දැනගෙන විය යුතුය. එසැනින් මා ඇය දෙස බැලුවේ කුසගින්න නිසාම නොව මෙසේ කෑම විකුණන කෙනකු මීට පෙර දැක නොතිබූ නිසාය. ගමන් මල්ලක් අතින් ගෙන අසරණ ලෙස බලා සිටින ඇය දුටු විට මට ඇත්තෙන්ම දැනුණේ අනුකම්පාවකි. මහන්සියත් අසරණකමත් අතර ඇති ඇගේ රූමත්කමද එවෙලෙහිම මගේ නෙතට හසුවිය. “බලමුකෝ එහෙනම් මොනාද තියෙන්නේ කියලා” මම ඇසීමි. එළවළුරොටී, රෝල්ස්, පැටිස් වගේ ඒවා තමයි. එසේ කියා ගමන් මල්ලෙන් පෙට්ටියක් ගත් ඇය එළවළු රොටී මා වෙත පෑවාය. “එකක් දෙන්න” මා පැවැසුවේ සැබැවින්ම කුසගින්නක් නොමැති හෙයිනි. “එකක්ද ගන්නේ අනේ දෙක තුනක් ගන්නකෝ ඒක මට කරන ලොකු උදව්වක්” ඇය එසේ කියූ විට මට දෙසවන් අදහා ගැනීමට නොහැකි වූයේ යුරෝපයේ රටකට සේවයට පැමිණ මෙසේ අනුන්ට බැගෑපත් වීමට සිදුවීම පුදුමයක් නිසාය.
එසේ හිතවත් වූ ඇය වෙන්වූයේ දුරකථන අංකය හුවමාරු කර ගනිමිනි. ඇයගේ ජීවිතය වසා විශාල දුකක් ඇති බව කතා බහෙන් තේරුණ නිසාවෙන්ම පසුව මා ඇයව සම්බන්ධ කරගත්තේ ඇගේ කතාව දැන ගන්නටමය. ‘මම මගේ කතාව කියන්නම්. ඔයා ලියන්න හැබැයි නිකමටවත් මගේ ඇත්ත නම් ගම් නම් දාන්න එපා” ඇගේ ඉල්ලීම පිට සත්‍ය නම් ගම් සඟවා ඇගේ කතාව ඇගේ වදනින්ම ගෙන එන්නෙමි.
“මම ශිරානි. ගම කොළඹ කිට්ටු නගරයක. මම අපේ පවුලේ දවෛනියා. මට වැඩිමල් අක්කෙක් හිටියා. අපි ගොඩක් දුප්පත් අය. මම තරුණ කාලේ ගොඩක් රූමත්. ගමේ අවුරුදු කුමාරි වුණේ මම. ඒකේ තෑගි දෙන්න ආපු සිරිල් මහත්තයා ඊට පස්සේ මගේ ගැන අම්මලාගෙන් අහලා එවලා තිබ්බා. සිරිල් මහත්තයා ඒ ගමේ හිටිය ලොකුම සල්ලිකාරයා. හැබැයි ඒ සල්ලි හම්බ කළේ සාධාරණයෙන් නම් නමෛයි. පළාතේ තිබ්බ තැබෑරුම් වැඩි ගාණක් අයිති සිරිල් මහත්තයාට. ඒ වගේම සිරිල් මහත්තයාට ළංවුණ නම ගියපු චණ්ඩි වගයකුත් හිටියා. මම ඒ කාලේ වැඩ කළේ නගරේ බුක්ෂොප් එකක. පොඩි පඩියක් තමයි මට ලැබුණේ. අපේ අම්මගේ නම් ඒ යෝජනාවට කිසිම කැමැත්තක් තිබ්බේ නෑ. ඒත් තාත්තා නම් මේකට අකමැති වෙන්න බය වුණා. මොකද සිරිල් මහත්තයා තරහ කරගන්නවා කියන්නේ අපි ලොකු අමාරුවක වැටෙන දෙයක් හින්දා. කොහොම හරි මම සිරිල් මහත්තයා එක්ක විවාහ වුණා. ඒ වෙනකොට මගේ වයස විසි දෙකයි. මහත්තයාට හතළිහකටත් වැඩියි. මහත්තයාගේ කලින් විවාහේ බිරිඳ මියගිහින්. එක පුතෙක් හිටියා. මට දුවෙක් ලැබුණා. දුව ගොඩක් ලස්සනයි. එයා පුංචි කාලේ ඉඳලා ගොඩක් සැප පහසුකම් මැද ජීවත් වුණේ. එයා ඉගෙන ගත්තේ ප්‍රසිද්ධ ජාත්‍යන්තර පාසලක. මම ගෙදරින් එළියට බැස්සේ කලාතුරකින්. මගේ පවුලේ අයට නම් මහත්තයාගේ උදව් ලැබුණා. මට තිබ්බ එකම සහනය ඒක විතරයි. ඒත් මම නම් ජීවත් වුණේම සතුටකින් නමෛයි. මහත්තයා ගැන එක එක නරක ආරංචි නිතරම මට ආවා. කලින් බිරිඳගේ මරණය ගැනත් භයානක ආරංචි තිබුණා. සිරිල් මහත්තයාගේ සල්ලි බලේට ඇත්ත යටපත් වුණා කියලයි සමහරු කිව්වේ. මම ඒවා ගැන ඇහුවම මට සැර වුණා. පොඩ්ඩ බැරි වෙනකොට දුවටත් මටත් මහත්තයා ගහනවා. ‘උඹට ජීවත් වෙන්න ඕනේ නම් මම කියන විදියට හිටපන්’ කියලා හැමවෙලේම මට කීවා. මම මේ දරුවත් අරන් කොහේ යන්නද? මම ඔහේ ජීවත් වුණා. මහත්තයා එක එක නිළියෝ එක්ක එහෙමත් සම්බන්ධකම් තියෙනවා කියලා ආරංචි මගේ කනට වැටුණත් මම ඒවා කිසිම දවසක හොයන්න ගියේ නෑ. දුව ටිකෙන් ටික ලොකු වෙද්දී මේ වැරදි වැඩ නවත්තයි කියලා හිතුවත් මහත්තයාගේ නරක වැඩත් එක්කම බේබදුකමත් එන්න එන්නම වැඩිවුණා. දුව හිටියෙත් කිසිම සතුටකින් නමෛයි. මහත්තයා ගෙදර ඉන්නවා නම් කළේ මත්පැන් බිපු එකම තමයි. මෙහෙම කාලයක් යද්දී මහත්තයාගේ වැරදි වැඩයි බේබදුකමයි එක්ක එයාගේ ව්‍යාපාර ටිකෙන් ටික බංකොළොත් වුණා. ඔය අතරේ තමයි වෙන්න ඕනේ ලොකුම විනාසේ වුණේ. මහත්තයා ලොකු ණයක් අරන් තිබ්බා ඒ පැත්තේ දේශපාලනේ කරන කෙනෙකුගේ පුතෙකුගෙන්. ඒ මනුස්සයත් කරන්නේම වැරදි වැඩවලින් සල්ලි හොයන එක. මහත්තයාට ණය බේරන්න බැරි නම් ඒක පියවෙන්න කියලා මේ මනුස්සයා යෝජනාවක් කරලා අපේ දුවට. දුව විවාහ කරලා දෙනවා නම් ණය මොනවත් එපා කියලා. මේ වෙනකොට දුවට අවුරුදු දහඅට ඉවර වුණා විතරයි. එයා ඉස්කෝලේ ගිහින් නැවතුණා උසස් පෙළ කළේ නෑ. අපිට සල්ලි බාගේ තිබුණට ඒ දරුවගේ හිතට කිසිම සැනසීමක් තිබුණේ නෑ. ගෙදර ප්‍රශ්න නිසා ඒ දරුවා හිටියේ හැමවෙලේම දුකෙන්. දුව ගොඩක් අහිංසකයි. මේ නොදරුවාටත් මට වුණ දේ වෙන්න දෙන්න පුළුවන්ද? මහත්තයා එක පයින් ඒ යෝජනාවට කැමති වුණා. මට එයාව තිත්ත වුණේ ඒකෙන්. මොන තාත්තා කෙනෙක්ටද තමන්ගේ දරුවා විකුණන්න පුළුවන්. දුව හිටියෙත් ඇඬූ කඳුළෙන්. බයෙන් පිරිච්ච ඒ අසරණ ඇස් දෙක දැක්කම මට හිතුණා මම කොහොම හරි මගේ දරුවව ඒ අපායට වැටෙන්න නොදී ගලවගන්නවා කියලා. මහත්තයා නිතරම අපි එක්ක රණ්ඬු කළා. මේකට කැමති වෙන්න කියලා මම සද්ද නොකර ඉඳලා හීන් සීරුවෙම මේකෙන් ගැලවෙන්න ක්‍රමයක් හෙව්වා. මගෙත් එක්ක එකට ඉස්කොලේ ගිය යාළුවෙක් මේ වෙද්දී විවාහ වෙලා ඉතාලි ගිහින් හිටියා. හදිසියේ දවසක මට එයාව මුණගැහුණා. එයා එක්ක මම හැමදේම කිව්වම එයා කිව්වා මට උදව් කරන්නම් කියලා. එයා දන්න කෙනෙක් ඉන්නවා කියලා ඉතාලියට මිනිස්සු ගෙනියන. හැබැයි ඊට කලින් අපි දෙන්නට ගෙදරින් පැනලා එන්නත් ඇවිත් ඉන්නත් තැනක් යාළුවා ලෑස්ති කරන්නත් පොරොන්දු වුණා. මම දුවත් එක්ක කතා කරලා මේ දේවල් ලෑස්ති කරගත්තා. දුවත් කැමති වුණා. අපායක දුක් විඳිනවට වඩා මේකෙන් ගැලවෙන්න. අපි දෙන්නා මේ වෙලේ ගැලවුණේ නැත්නම් මහත්තයා එක්කෝ අපිව මරයි. අපි දෙන්නට මහත්තයා අරන් දුන්න රත්තරන් බඩු ගොඩක් තිබ්බා. අපි ඒවා විකුණලා තමා අපේ ගමනට සල්ලි හොයාගන්න හිතාගත්තේ. තව දුවගේ බැංකු පොතෙත් ටිකක් ලොකු මුදලක් තිබ්බා මම සැරෙන් සැරේ දාලා. අපි දෙන්නා මහත්තයා ගෙදර නැති දවසක ගෙදරින් ආවා. ඇවිත් යාළුවා හොයලා දුන්න ගෙදරක නැවතිලා ඉඳන් අපේ ඉතාලි ගමනට ඕනේ කරන වැඩ කරගත්තා. මට මගේ අම්මටවත් කියලා එන්න බැරිවුණා. එහෙම වුණා නම් අපිව අහුවෙනවා. ඊට පස්සේ කොහොම හරි මාසයක් වගේ ඇතුළත අපි මෙහෙට ආවා. අපි ඇවිත් ටික කාලයක් ගියා ඒත් රස්සාවක් ලැබුණේ නෑ. අපි දෙන්නගෙම වියදම යාළුවට දරන්න බැරි නිසයි මම මේ දේවත් කරලා දුවගෙයි මගෙයි වියදම හොයාගන්න බලන්නේ. මට දුක මගේ ගැන නමෛයි මගේ දුව ගැන. එයාට දුක්විඳලා පුරුදු නෑ. ඒත් මොනවා කරන්නද? අපිට ආපහු යන්න බෑ. මම ඇවිත් ටික දවසකට පස්සේ අපේ අක්කට කතා කරලා විස්තර අහගත්තා. මහත්තයා අපි දෙන්නව හැමතැනම හොයනවලු. අම්මටයි තාත්තාටයි ඇවිත් හොඳට කෑ ගහලා ගියාලු අපිව හංගන් ඉන්නවා නම් දෙන්න කියලා. ඒක නිසා කොහොම හරි දුක් විඳන් මෙහෙම ඉන්නවා. ජීවිතය ශිරානිට දී තිබෙන්නේම දුක සහ කඳුළු පමණය. මේ ඇගේ ෙදෙවය කියා සිත සනසා ගන්නටද සැබවින්ම ඒ ෙදෙවයට වඩා ඇය ජීවත් වූ සමාජය විසින් ඇයට උරුම කර දුන් ජීවිතය නොවන්නේද?
ලක්මිණි වෙදමුල්ල ඉතාලියේ මිලානෝ සිට
උපුටා ගැනීම ලක්බිම පුවත්පත