Biz Log
Classifields
Biz Log
Classifields

ලෙබනන දියණියට කිරි අම්මා වූ අපේ සවිත්‍රි

ලෙබනන දියණියට කිරි අම්මා වූ අපේ සවිත්‍රි

මේ තරුණ මව මට මුණගැසුණේ මා දිවා ආහාරය නිමවී මගේ කාර්යාල කාමරයට ඇතුළු වෙන විටය. තරුණ දමිළ කාන්තාවක් වූ ඇය සිඟිති දැරියක තුරුලු කරගෙන කිරි පොවන්නීය. ඇගේ හැඩරුව අනුව මේ දැරිය ඇයගේ දියණිය වන්නට බැරිය. ඇය දරුවකු සොරකම් කරගෙන පැන ආවේද? විනාඩි කිහිපයකින් එම තරුණිය මා සිටි කාමරයට ආවාය. පුංචි දැරිය ඇයට තුරුලුව දෑස පියාගෙන සිටියි. ඇය අතක බෑගයක් ද වූයේය. කිසිදු චකිතයකින් තොරව මා ඉදිරිපිට ඇති පුටුවකට බරදී හිඳගත් ඇය පුංචි දරුවාගේ හිස පිරිමදිමින් කතා කරන්නට වූවාය. “සර්... මම ගෙදරින් පැනල ආව. ඒ මැඩම් එක්ක වැඩ කරන්න බැහැ. හැම වෙලේම මට බණිනවා. අද උදේ මට කම්මුලට පාරක් ගැහුවා... ඇය නොනවත්වාම කියාගෙන යයි. පාටින් තලඑළළු ඇය කතාවෙන් ද දමිළ තරුණියක් බව මම තේරුම් ගතිමි. තරමක් ගොත ගැසූවද, සිංහල හොඳින් කතා කරයි. මම ඇගේ තොරතුරු විමසුවෙමි. ඇය සවිත්‍රිය. 

“එතකොට බබා...?” 

“මැඩම්ගෙ” 

“ඉතිං ඇයි සවිත්‍රි මේ ළමය අරගෙන ආවේ? ලොකු වරදක්නේ කරල තියෙන්නෙ. දැනටමත් පොලිසියෙන් ඔයාව හොයනව ඇති...” 

“නෑ.... මැඩම් එනකොට රෑ වෙනවා” 

“ඒ වුණාට ළමයො... ඔය බබා අනුන්ගෙ ළමයෙක්නෙ” 

ඇය පැවසූ පරිදි සවිත්‍රි ගේ උපන්ගම අවිස්සාවේල්ලය. වයස අවුරුදු 28කි. ඇයගේ මව ද, පියා ද ස්වාමි පුරුෂයා ද ඒ පළාතේම රබර් වතු යායක කුලී වැඩ කරති. ලෙබනනයේ නිවසක ගෘහ සේවිකාවක වශයෙන් ඒමට ප්‍රථම ඇය ද එම වත්තේ කුලී වැඩ කළාය. එහෙත් දිනෙන් දිනම උග්‍ර වූ පවුලේ අගහිඟතාවය නිසා ඇය විදේශගතවීමට තීරණය කළාය. සවිත්‍රිට දරුවන් දෙදෙනෙකි. වැඩි මහල් පුතාට වයස අවුරුදු හතක් වන විට දියණියට වයස අවුරුදු 3කි. ඒ දරුවෝ ඇ‍ෙග් මෑණියන් විසින් හදා වඩා ගනු ලබති. දරුවන් ගැන පවසද්දී ඇගේ දෙනෙතින් කඳුළු ගලා ආවේය. මුහුණ පාත් කරගත් ඇය ඉකි ගසමින් කතා කරයි. 

“මට මේ ගෙදරින් මාසෙ පඩිය වෙලාවට ලැබෙනවා. කන්න බොන්න දෙනවා. මැඩම්ගෙ තාත්තා මට හරි ආදරෙයි. මැඩම් හරියට සිගරට් බොනවා. කේන්ති ගියහම නවත්තන් නැතිව දිගටම සිගරට් බොනවා. එතකොට මැඩම්ගෙ අත පය වෙව්ලනවා. බලන්න බයයි.” සවිත්‍රි දිගටම කියාගෙන යයි. 

“මැඩම්ට තව ළමයි ඉන්නවාද?” 

“ඔව්.. ලොකු බබාට වයස දහයයි. අනික් ළමයට අවුරුදු පහයි. මෙයාට හරියටම අවුරුදු එකහමාරයි. ඒත් මාත් එක්ක තමයි ඉන්නේ. අනිත් බබාලත් මාත් එක්කමයි ඉන්නේ. මම මේ බබාට හරි ආදරෙයි. මට මගේ දරුවා මතක් වෙනවා.” ලෙබනන පොලිසියෙන් හෝ සවිත්‍රිගේ හාම්පුතාගෙන් ඇයට පසුවට කරදරයක් ඇතිවීමට බොහෝ දුරට ඉඩ ඇති බැවින්, මම ඇය දුන් දුරකථන ඔස්සේ ඇගේ නිවෙස් හිමිකාරිය සම්බන්ධ කර ගැනීමට උත්සාහ ගතිමි. කිහිප විටක්ම උත්සාහ ගත්තද එය නිෂ්ඵල විය. පුංචි දැරිය හඬන්නට පටන් ගත්තාය. සවිත්‍රි අත තිබූ බෑගයෙන් කිරි පිරවූ බෝතලයක් අතට ගෙන එය දැරියට පොවන්නට වූවාය. සිහින් කෙඳිරියක් මුවින් පිට කරමින් දැරිය බෝතලයෙන් කිරි උරා බොයි. සවිත්‍රි, තමා විසින් කරන ලද වරද පිළිබඳ ඇයට දැනුමක් නැතිවා සේය. නොමැති නම් ඕනෑම දේකට මුහුණ දෙන්නට තරම් ශක්තියක්, එඩිතර කමක් ඇය සිත තුළ ඇත. 

“ඔයා දැන් ටිකකට ඉස්සෙල්ලා මේ ළමයාට කිරි දුන්නා නේද?” මම ඇසුවෙමි. 

“නෑ... නෑ සර් ... මට කිරි නැහැ. ඒත් මේ බබා ඒකට පුරුදු වෙලා. අඬන කොට නළවගන්න හරි අමාරුයි. මැඩම් උදේ බැංකුවට යනවා රස්සාවට. මහත්තය බිස්නස් කරන්නෙ. ගෙදර ඉන්නෙ මමයි ළමයි දෙන්නයි. ලොකු බබත් ඉස්කෝලේ යනවා. මැඩම් තමයි අරගෙන යන්නේ. මේ ළමයි තුන් දෙනාම මට ආදරෙයි. ඒත්... මේ බබා මගෙන් කිරි බොන්න පුරුදු වුණේ..... දවසක් අඬනවා නළව ගන්න බැහැ. මට මගේ දුව මතක් වුණා. කිරි නැතත් මම මේ බබාව තුරුලු කරගෙන කිරි දුන්නා... එයා එතකොට අඬන එක නවත්වනවා. ඊට පස්සෙ නින්ද යනවා...” ඇගේ මුහුණෙන් පවසන්න යන දේ හොඳට පැහැදිලිය. මෙවැනි විදේශීය පවුල් යටතේ සේවය කරන අපේ කාන්තාවන්ගේ පිරිසුදුකම පිළිබඳව විශේෂ අවධානයක් යොමු කරන හාම්පුත්තු සමහර අවස්ථාවල අපේ තරුණියන්ගේ දිගු වරලස නොපෙනෙන අන්දමට විශේෂ රෙදි කඩකින් වසා තැබීමට කටයුතු කරති. ඒ කෙස් කැබැල්ලක් වුවද කෑමට වැටේය යන බියෙනි. ඉතා පිරිසුදුව අත පය සෝදා ඇඟපත පිරිසුදුව තබා ගත යුතුය. එවැනි පවුලක නිවැසි ධනවත් කාන්තාවක් තම කුසින් උපන් රෝස පාට පුංචි දියණියට දුප්පත් අහිංසක කිරි බිඳක් නොමැති තරුණියකගේ දෙතනින් කි‍රි බොන්නට අවසර දුන්නේ කෙසේද යන්න මා බලවත් කුතුහලයක් විණි. 

“දවසක් මේ බබා හොඳට අඬනවා. මැඩම්ට බැරි වුණා ඒ අඬන එක නවත්වන්න. මැඩම් බැරිම තැන ළමයා ගෙනත් මට දුන්නා. මම මැඩම්ට හොරෙන් කරපු දේ පේන්නට කළා. මැඩම් ඇස් දෙක ඇරගෙන බලා හිටියා. ළමයගේ හැඬීම නැවතුණා. මැඩම් මගේ දිහා ටිකක් වෙලා බලාගෙන හිටියා. ඒත් කිසිම දෙයක් කිව්වේ නැහැ. යන්න ගියා. මම හිතුවා මාව ගෙදරින් එළවයි කියලා. ඒත් අද වෙනතුරුත් මට මොකුත් කිව්වේ නැහැ. සර්ට පුළුවන් නම් මේ මැඩම්ව ගෙන්නල කියන්න මට බණින්න, ගහන්න එපා කියලා. තව අවුරුද්දයි මට ඉන්න තියෙන්නෙ මේ ගෙදර”. සවිත්‍රි ළඟට තුරුලු වූ දැරිය සුවසේ නිදාගෙන සිටී. තම මවගෙන් මෙවැනි උණුසුමක් ඇයට ලැබී නැතිවා සේය. තම මවගේ දෙතනින් මේ දැරිය කිසි දිනෙක කිරි උරා බී නැති බව මම පසක් කර ගතිමි. පැය කිහිපයක් ඇතුළත මට සවිත්‍රිගේ නිවසේ හිමිකාරිය දුරකථනයට සම්බන්ධ කර ගැනීමට හැකි විය. ඇය තම ස්වාමිපුරුෂයා සමඟ මා හමුවන්නට ආවාය. සවිත්‍රි කිසිම ගාණක් නැතිව දරුවා තුරුලු කරගෙ සිටී. කඩිමුඩියේ දුවගෙන ආ ලෙබනන කාන්තාව ඇගේ ස්වාමිපුරුෂයා සමඟ මගේ කාමරයට ඇතුළු වූවාය. සවිත්‍රි දෙස එකඑල්ලේ බැලූ ඇයගේ දෙනෙතින් කෝපය පිටවේ. ඇය තම අත තිබූ සිගරට්ටුව දල්වන්නට හැදූ විට මම එය නතර කළෙමි. දුම්පානය මෙහි තහනම් බව මම ඇයට කාරුණිකව පැවසුවෙමි. ඇගේ දෑත් වෙව්ලනවා මම දුටිමි. ඇය ඉතා වේගයෙන් හුස්ම ඉහළට පහළට දැම්මාය. ‍මම ඇය දෙස බලා සිටියෙමි. සිගරට්ටුවක් බොන්නට අවශ්‍ය නම් බැල්කනියට ගොස් සිගරට්ටුවක් බොන ලෙස මම ඇයට කීවෙමි. එසේ කළ ඇය යළිත් මගේ කාමරයට ආවාය. හිත සන්සුන් වූ පසුව ඇය සවිත්‍රි අතවූ දැරිය අතට ගත්තාය. අඩ නින්දෙන් අවදි වූ දැරිය හඬන්නට වූවාය. යළිත් දැරිය සවිත්‍රි අත තැබූ කාන්තාව දිගු සුසුමක් හෙළා මා දෙස බැලුවාය. ඇයට ද කියන්නට යමක් ඇත. එහෙත් ඇය දැන් තරමක් සන්සුන්ය. මම ඇයට සවිත්‍රි පිළිබඳ සියල්ල පහදා දුනිමි. ශ්‍රී ලාංකික කාන්තාවන්ගේ ජීවන රටාව ද තේරුම් කර දුනිමි. ඇය සියලු කරුණු හොඳින් අසාගෙන සිටියාය. වටහා ගත්තාය. එදින උදේ කිසියම් හේතුවක් මත සවිත්‍රිට කම්මුලට පහරක් ගැසූ බවත්, ඒ ගැන ඇය තම කාර්යාලයට ගිය පසුවත් දුක් වූ බවත් මා සමඟ පැවසුවාය. සවිත්‍රි ඉතා හොඳ බවත්, තමා ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවන්ට ඉතා ආදරය කරන බවත් පැවසූ අතර, තම දරුවා රැගෙන ඒම පිළිබඳව ඇයට කිසිම ගැටලුවක් නොමැති බව ද, කෙසේ වුවද එම පණිවුඩය ලැබූ මොහොතේ දරුවා රැගෙන ගියේ සවිත්‍රි නම් ඇයට සැකයක් හෝ බියක් ‍හෝ නැති බව ද පැවසුවාය. එහෙත් දරුවාට ඇති ආදරය නිසා දරුවා රැගෙන ගියාද යන්න ඇයට සැකයක් මතු වුවත්, ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට ගිය නිසා ඒ බිය සහ සැකය දුරුවූ බවත්, උදේ ඇයට තමන් අතින් අත්වැරැද්දක් සිදුවීම මේ සියලු දේට මුල් වූ බවත් ඇය පිළිගත්තාය. එතැනට පැමිණි එවකට සිටි තානාපති ෆාරුක් මහතා දැරිය අතට ගත්තේය. සවිත්‍රි තමන් භාරයේ සිටින තාක් කල් ඇයට හොඳින් සලකන බවටත් මින් ඉදිරියට ඇගේ සිත රිදෙන කිසිම දෙයක් නොකරන බවටත් සහතික වී ලිපියක් ඉදිරිපත් කළ පසු අපි සවිත්‍රි යළිත් එම නිවස හිමි යුවළට බාර දුනෙමු. 

ලීලානන්ද ඉහළගමගේ (ලේඛකයා ලෙබනන් රටේ විදේශ සේවයේ නියුක්තව සිටියදී අත්දුටු සිදුවීමකි)  

උපුටා ගැනීම සිළුමිණ පුවත්පත

Share This Article