Biz Log
Classifields
Biz Log
Classifields

දරුවාගේ අනාගතේ ඇත්තේ ඔබේ අතේ

දරුවාගේ අනාගතේ ඇත්තේ ඔබේ අතේ

මේ කතාවත් පුරුදු විදියටම උදව් ඉල්ලගෙන ආපු කෙනෙක්ගෙ කතාවක් අධික හිසරදයටයි ස්වර්ණා විසඳුම හොයන්නෙ උසට වඩා මහත බවක් පෙනුණ තළෙලු ඇය ඇඳගෙන හිටිය කොටු කොටු හැට්ටය අදටත් ඒ විදියටම මතකයි. 

‘මිස් මට මෙහෙම එන්න කිව්වෙ මේ ඩොක්ටර්’ ඇය පෞද්ගලිකව ඔෟෂධ ලබාගන්නා වෛද්‍යවරියකගෙන් යොමු වූ ලිපියක් මගේ අතට දුන්නා. 

‘වාඩි වෙන්න. ඩොක්ටර් ඔයාව අපේ සායනයට යොමු කරලයි තියෙන්නේ’ 

‘ඔව්. මම කාලයක් තිස්සෙ මේ ඔළුවෙ කැක්කුමට ඩොක්ටර්ගෙන් බෙහෙත් ගන්නවා.’ 

‘ඒ කියන්නෙ ඔයා කාලයක් තිස්සෙ ඉන්නෙ ඔළුවෙ කැක්කුමෙන්?’ 

‘ඔළුවෙ කැක්කුම එන්නෙ මගේ හිතට දරාගන්න බැරි වුණාම. මට දැන් ජීවිතේ එපාවෙලා. ඒත් මට දරුවො හින්දා ඉන්න ඕන...’ 

‘ස්වර්ණාට ඕන හිතේ කරදරයක් නැතිව ඉන්නනේ. අපි කතා කරලා බලමු කොහොමද අපිට පුළුවන් ඔයාට උදව් කරන්න කියලා...’ 

‘මම වලව්වක හැදිච්ච ළමයෙක් අපේ පවුලේ එකම දුව. මට අයියලා තුන්දෙනෙක් ඉන්නවා. තාත්තා ව්‍යාපාරිකයෙක් තාත්තාට ගොඩාක් සල්ලි තියෙනවා. අම්මා නම් ගෙදර හිටියේ... මං මේ ඔක්කොම කිව්වට කමක් නැද්ද මිස්...’ 

‘ඔයාට කියන්න තියෙන ඔක්කොම හැමදේම කියන්න. බය වෙන්න එපා. එතකොට තමයි අපිටත් පුළුවන් ඔයාව උදව් කරන්න...’ 

ඇය දීර්ඝ සැනසුම් සුසුමක් හෙළුවා. වේගවත්, හැඬුම්කාරී ස්වරයක් ඇගේ හ‍ෙඩ් ගැබ්වෙලා තිබුණා. ඉතින් අපි දිගටම බලමු ස්වර්ණගෙ කතාව.  ‘මම එකම දුව නිසා වගේම අපේ කෙහෙල්මල් වලව්කාරකම නිසා මට පුදුම කරදරයක් තිබුණෙ, මිදුලෙ ඇවිදින්නවත්, දුවන්නවත්, සෙල්ලම් කරන්නවත් බෑ. හැමදේටම නීති තිබුණා. අවට යාළුවො තියාගන්න බෑ. ගෙවල් ළඟ ළමයෙක් එක්කවත් සෙල්ලම් කරන්න බෑ. ඉස්කෝලෙ එක්කරගෙන යනවා. එනවා ගෙදර මට ලොකු තනිකමක් තිබුණා’ 

‘ඉතින්...’ 

‘අම්මා මට ආදරෙයි තමයි. ඒත් මම බලාපොරොත්තු වෙන ආදරේ ලැබුණෙ නැහැ. මට ඕන වුණේ මගේ ගැන හොයලා බලන මට ආදරෙන් ඉන්න ආදරයක්. මට ඕන වුණා ඉස්කෝලෙ වෙච්ච හැමදේම ඇවිත් කියන්න. අම්මා මාව තුරුල් කරගෙන ඒවා අහන්න. මගෙ ඔළුව අතගාන්න උණුහුමට තුරුල් කරගෙන ඉන්න, අයියලා එක්ක තරගෙට දුවන්න, රණ්ඩු වෙන්න, යාළු වෙන්න, ඒකටවත් මාව තේරුණේ නෑ. මං එයාලට ළං වෙන්න හදන හැමවෙලේම එයාලා අෑත් වුණා. අයියලා හරිම සාම්ප්‍රදායිකයි. මම එයාලා දැක්කම නැඟිටින්න ඕන. අයින් වෙන්න ඕන. තාත්තා එනකොට නැඟිටින්න ඕන. දුවන්න බෑ. හයියෙන් කතා කරන්න බෑ. හිනාවෙන්න බෑ. “මම රත්තරං කූඩුවක දාපු ගිරවෙක් වගේ ජීවත් වුණේ. මට වෙලාවට කන්න, අඳින්න, ඉස්කෝලෙ යන්න ලැබුණා. එච්චරයි මට මගේ ලෝකයක් තිබුණෙ නෑ විඳින්න මට විදවන්න විතරමයි තිබුණෙ. අනෙක් ගෙවල්වල ළමයි පාරෙ සෙල්ලම් කරන දිහා මම හොරෙන් ගේට්ටුව අයිනෙන් බලාගෙන හිටියා. මිදුලට ගිහින් ගස් වැල් එක්ක තනියම කතා කළා. ආසාවට පූස් පැටියෙක් හදන්න ගත්ත. ලෙඩ හැදෙනවා කියලා අම්මා ඒකත් තහනම් කළා. මං බලාගෙන හිටියෙ ඉක්මනටම ලොකුවෙලා මම මේ ගෙදරින් අයින් වෙන්න කවදටද දෙයියනේ කියලා.

ඉතින් මොකද වුණේ.? 

‘මම හොඳට ඉගෙන ගත්තා ඇත්තටම ඉගෙන ගන්න තියෙන ආසාවට නෙවේ. මට කරන්න නිදහසක් තිබුණෙ එච්චර නිසා. හැමදාම ඉස්කොලෙ ගියා. ලෙඩවුණත් මාව ගෙදර තියාගන්න අමාරුයි. ඉස්කෝලෙ ඇතුළෙ විතරයි මට නිදහසක් තිබුණෙ. මගෙ ඉස්කෝලෙත් බාලිකා විද්‍යාලයක්. ඒක ඇතුළෙ තියෙන ලෝකෙත් ගොඩාක් වෙනස්. අපේ ඉස්කෝලෙ පිරිමි ගුරුවරයෙක්වත් හිටියෙ නැහැ. මගේ ලෝකෙ පිරිමි අයට හිටියේ අයියලා තුන්දෙනයි, තාත්තයි, වාහනේ ඩ්‍රයිවර් විතරයි...’ ඇය කියවගෙන ගියපු කතාවට පොඩි විරාමයක් තැබුවා ඇයගේ වේගවත් කතා විලාසය ඇය විශාල කැලඹීමක ඉන්න බව පෙන්නුම් කළා. 

ස්වර්ණා ඊට පස්සෙ මොකද වුණේ...? 

මේ අතරේ තමයි මගේ ජීවිතේම වෙනස්වෙන සිද්ධිය වුණේ. අපේ ගෙදරට විශ්වවිද්‍යාල උපාධිය ඉවරවෙන්න අවසානයේ පර්යේෂණයක් කරන අයියා කෙනෙක් ආවා. ලොකු අයියගෙ ඇඳුනුම්කම මත. එයා අපේ ගෙදරම නතර වුණා. එතකොට මට දාසයයි. මම ඕලෙවල් කරන කාලෙ ටික ටික මං එයාට ළං වුණා. එයාට වෙලාව තිබුණ මං කියන දේ අහන්න. එයා මට සැර කළේ එපා කිව්වෙ නැහැ. ඊට පස්සෙ ටික ටික මං එයාට ළං වුණා. ඒක ආදරයක් කියලා මට හිතෙන්නෙ නැහැ. තනිකම දුක මගේ පාළුව නැති කරගන්න හිටපු එකම කෙනා. මම එයා ගෙදර ඉන්න හැම වෙලාවෙම සතුටින් හිටියා. ඊට පස්සෙ මට දුක කියලා දෙයක් හිතුණෙ නැහැ. හැම වෙලේම මම ගෙදර ආවෙ එයාව සොයාගෙන. එයා මට ආදරෙන් කතා කළා. මිදුලට වෙලා පැය ගණන් මං කියන දේවල් අහගෙන හිටියා. මගේ ලෝකෙ සතුටින් පිරිලා තියෙන බව මටම තේරුණා. මං වෙනුවෙන් කෙනෙක් ඉන්නවා කියන හැඟීම මාව සතුටින් පිරෙව්වා. මට ගෙදර එන්න තිබුණ අකැමැත්ත නැති වුණා. ඒ ගෙදර එයා ඉන්න නිසා. ඔහොම අවුරුද්දක් විතර කාලය ගෙවුණා. 

‘අවුරුද්දකට පස්සෙ?’ 

‘එයාට එයාගෙ පර්යේෂණය ඉවර කරලා ආයෙම කොළඹ එන්න වෙන බව කිව්වා. මට දරාගන්න බැරි දුකක් ආවා. මම ආයෙත් තනිවෙනවා. දැන් මම මොකද කරන්නේ? රැයක් දවාලක් නැතිව මම හිත හිතා හිටියා. එයත් එහෙමයි. මම ඇඬුවා. හොඳටම ඇඬුවා නොකා නොබී හිටියා. අන්තිමේදී එයා මට කිව්වා එයත් එක්ක යන්න එන්න කියලා. මං කැමැති වුණා. ඊට පස්සෙ අපි දෙන්නා ගෙදරට හොරෙන් පැනලා ආවා.” ඇය ආයාසයෙන් කියා අවසන් කළා. කඳුළු පිරුණු ඇස් ඇයගේ සිතුවිලි පෙන්නුම් කළා. 

‘පැනලා ඇවිත්?’ 

“අපි ආවෙ එයාගෙ ගෙදර. එහේ ආවම තමයි මට තේරුණේ මොකද්ද මේ මට වුණේ කියලා. එයා මට වඩා අවුරුදු නවයක් වැඩිමල්. එතකොට මට දහසයයි. එයාට විසිපහයි. එයාගෙ ගෙදර ඔක්කොම පිරිමි සහෝදරයෝ හයදෙනෙක්. තාත්තා නැහැ. අම්මයි, මමයි විතරයි ගැහැනු අයට ගෙදරටම. මට ගොඩාක් දුක් විඳින්න වුණා. එයාට රස්සාවක් තිබුණෙත් නැහැනේ. අපිට කන්න නැතිව, අඳින්න නැතිව ඉන්න වුණා. මං හරියට දුක් වින්දා ගෙදර වැඩ කළා. වත්තෙ එළවළු වැව්වා ඒවා තමයි උයන්න ගත්තෙ. මේ හැමදේම අතරේ එයා මට ආදරෙන් හිටියා. පස්සෙ ගෙවල්වල අය එකතු වෙලා අපිව කසාද බන්දලා දුන්නා. ටික කාලයක් යද්දි හැමදේම විසඳෙන්න ගත්තා. එයාට රස්සාවක් ලැබුණා. අපි වෙනම ගෙදරක පදිංචියට ගියා. එයා හරිම හොඳ කෙනෙක් හැමවෙලේම හිතුවෙ මං ගැන. ඇත්තම කියනවනම් බෝධිසත්ත්වයෙක්. කවදාවත් මට සැර කරලා නැහැ. අඩුම තරමින් තවම රවලා බලලාවත් නැහැ. ඊට පස්සෙ මට දුව ලැබුණා. දුවට පස්සෙ පුතා දැන් එයාලත් ලොකුයි. මහත්තයා හැමවෙලේම මගෙ ගැන කනගාටුවෙන් හිටියේ එයා නිසා මගේ ජීවිතේ වෙනස් වුණා කියලා. මම එන්න එන්න තරුණ වෙද්දි මට තේරුණා ගොඩාක් දේවල්? 

“මොනවද ඒ?” 

“මට තේරුණා මේ මං හොයන ජීවිතේ නෙවෙයි කියලා. මට ඕන වුණා දඟකාර ආදරයක්. විහිළු කරන්න. බොරුවට රණ්ඩු වෙන්න. පාරෙ අතින් අල්ලගෙන තුරුල්වෙලා යන්න. මේ ඔක්කොම තේරෙනකොට මං දරුවො දෙන්නෙක්ගෙ අම්මා කෙනෙක්. මහත්තයා තැන්පත් විදියට ජීවත් වෙන කෙනෙක්. එයා හයියෙන් කතා කරන්නෙවත් නැහැ.” 

ඉතින් ඔයා මොකද කළේ ? 

මං ඒ හැමදේම එයාට කිව්වා. ඒ කියන වෙලාවට එයා මාව ළඟින් තියාගෙන අහගෙන හිටියා. එයා මට හැමවෙලේම කිව්වෙ මට ගැළපෙන කෙනෙක් සොයලා ආදරේ කරන්න කියලා. එයා මං ගැන දුකකින් හිටියේ.

ඊට පස්සේ? 

මේ අතරේ මගේ ෆෝන් එකට වැරැදි නම්බර් එකකින් කෝල් එකක් ආවා. ඒ කතාව ගොඩාක් දුර දිග ගියා. අපි හැමදාම කතා කළා. එයත් බැඳපු කෙනෙක් නෝනත් එක්ක එකට හිටියට ඒ දෙන්නා දුරස් වෙලයි හිටියේ. එයා හරිම දඟකාරයි. මගේ හිත එයාට ඇදිලා ගියා. මං ඒ ඔක්කොම මහත්තයට කිව්වා. එයා මොනවත් කිව්වෙ නැහැ. අවසර දුන්නා. අපි දෙන්නා හමුවුණා ආදරෙන් වෙළිලා හිටියා. මහත්තයට කියලයි මං හැමදාම ගියේ. එයා මගේ ඔළුව අතගාලා ආශීර්වාද කළා. ඇය ඉකිබිඳිමින් හඬමින් සිටියා. ඇගේ හැඬුම නැවතුණා. නැවතත් කතාවට මුල පිරුවා. 

‘ඊට පස්සෙ එයා අපේ ගෙදර ආවා. පවුලේ සාමාජිකයෙක් වුණා. දරුවො දෙන්නත් මේ ගැන දන්නවා. අපේ පවුලෙ අයත් දන්නවා. එයා තමයි ගෙදර ඕනම දෙයක් කළේ. ගෙදර මොනවාහරි වැඩක් තිබුණොත් මහත්තයත් එයාට කෝල් කළා. ඒ දෙන්නා අතර ගැටුමක් තිබුණෙ නැහැ. එයා එන දවසට මම හරිම සතුටින් හිටියේ. එයා වෙනුවෙන් කෑම හැදුවා. ගෙදර ලස්සන කළා. අපේ කාමරේට අල්ලපු කාමරෙයි අපි දෙන්නා හිටියේ. මහත්තයා එදාට තනියම හිටියේ. එයා හරිම දුප්පත් ... හමුවෙනකොට හිටියේ අපේ උදව්වෙන් එයා දියුණු වුණා. ව්‍යාපාර පටන් ගත්තා. වාහන ගත්තා. මෙහෙම ටික කාලයක් යද්දී එයා වෙනස් වෙන්න ගත්තා. අපි ගැන එයාගෙ නෝනත් දැනගෙන හිටියේ. එයත් මට කෝල් කළා. පස්සෙ එයා මට බනින්න ගත්තා. නරක වචනවලින් මට දුක හිතුණා. මම හොඳටම ඇඬුවා. ඔළුව බිත්තියේ ගහගත්තා. ඇයි මට මෙහෙම වුණේ කියලා. මගේ දුක දැකලා මහත්තයා දුක් වුණා. එයා අපි දෙන්නට කතා කරලා ප්‍රශ්න විසඳ ගන්න කියලා අරයව හමු වෙන්න ගෝල්ෆේස් එකට එක්කරගෙන ගියා. අපිට කතා කරන්න දීලා කාර් එකට වෙලා හිටියේ. ඊට පස්සෙ අපි ආයෙ සමඟි වුණා. හැමදේම හරි ගියා. ඒත්... 

ඒත්... මොකද වුණේ? 

දවසක් එයාගෙ නෝනා මට කතා කළා. එයාට අලුතෙන් දරුවෙක් ලැබෙන්න ඉන්න බව කිව්වා. එතකොට මට තේරුණේ මේ මනුස්සයා මාව කොච්චර රැවැට්ටුවාද කියලා. නෝනා කිව්වා එයාට බලකළා කියලා මේවා නොකියන්න. මේ මනුස්සයා මාව හොඳටම රවටලා එයා නෝනත් දරුවොත් එක්ක සතුටින් ඉන්න ගමන් තමයි මට බොරු කරලා තියෙන්නේ. දැන් මට තේරෙනවා එයා මාව රවටපු විදිය. 

දැන් මොනවද ඔයාට තියෙන හැඟීම්... 

‘දුකක් තියෙනවා ලොකු දුකක්. එයා මගෙ මහත්තයා තරම් ලස්සන කෙනෙක් නෙවෙයි. ඇයි මං එයාට කැමැති වුණේ කියලා. මාව රැවටුණා කියලා හිතෙනවා. මට දැන් ජීවිතේ එපා වෙලා දුකයි. මං වෙලාවකට මගේ පපුවට ගහගන්නවා මට නින්ද යන්නෙ නැහැ. කන්න බැහැ. මගෙ මහත්තයත් දුකින් ඉන්නේ මම දුකින් ඉන්න නිසා.’ 

මහත්තයා මොකද කිව්වේ... 

‘එයාට මගේ ගැන දුකයි කිව්වා... එයා හිතනවා හැමදේම වුණේ එයාගෙ වරදින් කියලා...’ 

අපි ඇයගේ විශාද තත්ත්වයට ප්‍රතිකාර කළා. ඉන්පසුව මනෝචිකිත්සක ක්‍රම ආධාරයෙන් ජීවිතය ගොඩනඟා ගැනීමට ඇයව උනන්දු කරවූවා. හමුවීම් සැසි ගණනාවකට පසු ඇය ඇයගේ ජීවිතය ගැන තීරණයකට ආවා. 

‘මට දැන් තේරෙනවා ජීවිතේ ඇත්ත ආදරේ මොකක්ද කියලා. හැඟීම්වලට වහල් වෙනවට වඩා ඒ වගේම නොලැබිච්ච දේවල් ආයාසයෙන් සොයන්න ගිහින් ජීවිතේ තියෙන ලස්සන නොවිඳ අවලස්සනට ළං වෙනවට වඩා මට පුළුවනි ආයෙම මගේ ලස්සන ජීවිතේ මහත්තයත් දරුවො දෙන්නත් එක්ක පටන් ගන්න. මම මහත්තයත් දරුවොත් එක්ක සතුටින් ඉන්නවා...’ 

ඒ ඇගේ කතාව. මේ කතාව තුළදී ඔබ මවක් පියෙක් විදියට ඔබේ දුවට, පුතාට කුඩා අවධියේ සිට කවර ආකාරයේ ආදරයක්. ආරක්‍ෂාවක් මානසික සුවදායිතාවක් ලබා දිය යුතුද යන්න සිතා බැලීමේ අවස්ථාව සැලසෙන්නට ඇතැයි මා විශ්වාස කරනවා. ඔබේ දරුවාගේ අනාගතය ඔබ අතේ ඇති බව ඔබට පැහැදිලි නම් එයයි අපේ අවශ්‍යතාව. 

කතාව - පූර්ණිමා වඩුගේ උපුටා ගැනීම මව්බිම

Share This Article