ඉස්කෝලෙන් එළියට ආවම L අකුර හලන්න
ඉගෙන ගත යුතු කාලයේ කැපවීමෙන් ඉගෙනගෙන සමාජගත වෙනවාද නැත්නම් ඒ කාලය කෑමට බීමට විනෝදයට මුල්තැන දීල නන්නත්තාර වෙච්ච සමාජ අපතයන් වෙනවද කියන තීරණය ගන්න ඕන තමන් මිසක් වෙන කවුරුවත් එහෙම නෙවෙයි. අධ්‍යාපනය ලබන කාලෙ දරුවන්ට තේරෙන්නෙ නැහැ මේ අධ්‍යාපනයේ වටිනාකම. අධ්‍යාපනයක් නොලබන ජීවිත මොන වගේද කියලා පුංචි කතාවකින්ම අපි තේරුම් ගනිමු.
ඕස්ට්‍රේලියාවේ ඈත ගමක පුංචි පවුලක් හිටියා. මේ පවුලෙ අම්මටයි තාත්තටයි හිටියා අවුරුදු 10ක 12ක තරම් වයසෙ පිරිමි දරුවෙක්. මේ දරුවා හරි විශේෂ දරුවෙක්. ඒ කියන්නේ කියන කිසිම දෙයක් අහන්නෙ නැති මුරණ්ඩු දඟ දරුවෙක්. මේ දරුවාව පාලනය කරගන්න කිසි කෙනකුට බැරි වුණා. කොටින්ම කියනවා නම් මේ දරුවා මේ මවුපියන්ට පුදුම විදියේ වධයක් තමයි දුන්නේ. කාලයක් මේ විදියට ඉන්නකොට මේ දරුවා ගැන ගුරුවරු, අසල්වැසියෝ පවා විවිධ පැමිණිලි කරන්න ගත්තා. පැමිණිලි එක දෙක ගෙදරට එන්න ගත්තාම තාත්තා මුලින් මේ දරුවාට අවවාද කළා. දරුවා මේ අවවාද කනකටවත් ගත්තෙ නැහැ. අන්තිමේදී තාත්තා මේ දරුවාට ගහන්න පටන් ගත්තා. අධ්‍යාපන විශේෂඥයන් කියන විදියට “සිරුරු දඬුවම” දෙන්න ගත්තා. ඒත් මේ දරුවා වෙනස් කරගන්න බැරිවුණා. දවසක් තාත්තා මේ දරුවාට හොඳටම ගහලා බැරිම තැන දරුවාගෙන් ඇහුවා “පුතේ මං උඹට අවවාද කළා. උඹ ඇහුවද? නෑ. ඊට පස්සේ මං උඹට ගැහුවා. අඩුගාණේ උඹට දුක හිතෙන්නෙවත් නැද්ද? පුතා කියනවා “නෑ. මට මොන දුකක්ද තාත්තේ. මට දුක හිතෙන්නෙ නෑ.” “එතකොට උඹට අඩු ගාණේ කේන්ති යන්නෙවත් නැද්ද?” “කේන්ති නම් යනවා තාත්තේ. ඒ වෙලාවට මං කේන්තිය ඇරගන්න බාත්රූම් එකට ගිහින් ඒක හොඳට ක්ලීන් කරනවා.” “කොහොමද මනුස්සයෝ බාත්රූම් එක ක්ලීන් කළාම කේන්තිය නැතිවෙන්නේ?” “මොකද තාත්තේ මං ඒ වැඩේ කරන්නෙ ඔයාගේ ටූත් බ්‍රෂ් එකෙන්නේ.”
තාත්තාට තේරුණා මේ දරුවා හදාගන්න ටිකක් අමාරුයි කියලා. ඊට පස්සෙ තාත්තා මේ දරුවා එක්කගෙන ගියා ඈත කඳුකරයේ තියෙන වගාවක් බලන්න. මෙහෙම ගිහින් තාත්තා අහනවා පුතේ අර මොන වගාවක්ද කියලා.? මේ දරුවා කියනවා “ආ.... තාත්තේ මේ ගෝවා වගාවක්නේ” කියලා. “එතකොට පුතේ අර මිනිස්සු මොනවද කරන්නේ?” “ඒ මිනිස්සු තාත්තෙ වතුර දානවා.” “එතකොට අර කෙළවරේ ඉන්න මිනිස්සු මොනවද කරන්නේ?” “ඒ මිනිස්සු තාත්තෙ පොහොර දානවනේ.” “පුතේ සුමානයක් දෙකක් වතුර නොදා හිටියොත් වගාවට මොකක්ද වෙන්නේ?” “ඕක ඉතිං තාත්තේ මැලවිලා යාවි.” “එතකොට තව සුමානයක් විතර නිකං හිටියොත්?” “එතකොට ඉතිං කහපාට වේවි.” “තව සුමානයක් විතර වතුරයි පොහොරයි නොදැම්මොත්?” “එතකොට නම් තාත්තේ මැරිලා යාවි.” “තවත් සුමානයක් විතර නිකං හිටියොත්?” “අපෝ එතකොට නම් ගඳගහනවා.” “පුතේ, ජීවිතෙත් ඒ වගේ තමයි. ඉගෙන ගත්තෙ නැති, පෝෂණයක් නොලැබුණු හරි වයසේදි අධ්‍යාපනය නොලබපු ජීවිත මුලින්ම මැලවෙනවා. ඊට පස්සෙ පුතේ ඒ ජීවිත කහපාට වෙනවා. ඊට පස්සෙ ඉගෙන ගත්තු නැති ජීවිත ටිකෙන් ටික මැරෙන්න පටන් ගන්නවා. මැරුණායින් පස්සෙ පුතේ ඒ ජීවිත මුළු සමාජයම ගඳ ගස්සන්න පටන් ගන්නවා. මේ කතාව තමයි පුංචි ජීවිතවල ආදර්ශය විය යුත්තේ.” පුංචි කාලේ ඉගෙන ගන්න එක මහා විශාල වධයක්. මගේ ගුරුවරු ඒ කාලේ මට පුදුම වදයක් දුන්නේ. මට මතක් වෙනකොටත් මගේ කකුල් වෙව්ලනවා. මට ඉගෙන ගන්නවා කියන එක තරම් තවත් වධයක් නෑ. පුදුම අමාරු වැඩක් තමයි ඒක. අදටත් ඉගෙන ගන්නවා කියලා අහෙද්දී මට කවුරුහරි ගහනවා වගෙයි දැනෙන්නේ.
O/L පන්තියේදී ප්‍රමේයයන් පාඩම් කරනවා. ත්‍රිකෝණයක පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණය අභ්‍යන්තර ප්‍රතිමුඛ කෝණ දෙකේ ඓක්‍යයට සමානයි. පුහ්. මේක පාඩම් කරගන්න මට ගිහිපු කාලයක්, ගුටිකකා. බුද්ධාගම ඉගෙන ගන්න යනවා. බුද්ධ කාලයේ තිබුණු සොළොස් මහජනපද පාඩම් කරගෙන එන්න කියනවා. නැත්නම් ඉතිං වේවැලෙන් කන්නයි වෙන්නේ. අනේ. මොන තරම් දුකක් වින්දද? තාමත් මතකයි අංග, මගධ, කාසි, කෝසල, වජ්ජිමල්ල, කුරු, පංචාල, චේති, වත්ස්‍ය, සූරසේන, අවන්ති අස්මක, ගන්ධාර, කාම්බෝජ. විද්‍යාව පන්තියට යනවා. ප්‍රමේයයන් පාඩම් කරන්න වෙනවා. V=IR,, වොල්ටීයතාව සමානයි ඇම්පියර්ට. ඇම්පියර් ගාණ වැඩිකිරීම ප්‍රතිරෝදය. මේවා මතක් වෙනකොට තාමත් මගේ ඔළුව කකියනවා. පහේ පන්තියේදී කියනවා ෙදාළොස්වරක් චක්කරේ කටපාඩම් කරලා ඉවර කරන්න කියලා. මං ඒ කාලෙ දක්‍ෂ ශිෂ්‍යයෙක්. මං ෙදාළොස් වරක් චක්කරේ ටක් ටක් ගාලා පාඩම් කරලා ඉවර කළා. පාඩම් කරලා ඉවර නිසා මම කිසි ප්‍රශ්නයක් නැතුවම පන්තියේ දඟ කර කර හිටියා. ටීචර් මං ළඟට ආවා. “අතුල දොළොස්වරක් ඉවරද? ඔව් ඉවරයි කියලා මං කිව්වා. ආ.. එහෙමනම් කියන්න බලන්න.” මං දොළොස්වරක් කිව්වේ ටක් ටක් ගාලා. දැන් ටීචර්ට කට උත්තර නෑ. ටීචර් මගේ දිහා ටිකක් වෙලා බලන් උන්නා. මෙන්න ටීචර් කියනවා එහෙනම් පාඩම් කරපං දහතුන් වරක් කියලා. අනේ ඉතින් මං විතරක් 13 වරක් පාඩම් කළා. මට තාමත් මතකයි 13×1=13, 13×2=26, 13×3=39, 13×4=52...... අයියෝ මට මේ ගුරුවරු දුන්නු වධයක්.
ඊට පස්සෙ ගියා ආවර්තිතා වගුවට. මූලද්‍රව්‍ය 20ක් කටපාඩමින් කියන්න වුණා. හයිඩ්‍රජන්, හීලියම්, ලිතියම්, බෙරිලියම්, බෝරෝන්, කාබන්, නයිට්‍රජන්, ඔක්සිජන්, ප්ලූවොරීන්, නියෝන්, සෝඩියම්, මැග්නීසියම්, ඇලුමිනියම්...... අප්පෝ මගේ ඔළුව කැරකෙනවා මේවා මතක් වෙද්දී. මට මේක කොහෙත්ම පාඩම් හිටින්නේ නැහැ. පස්සෙදි මගේ ගුරුවරයා මට මේක කවියකින් පාඩම් කරගන්න කියලා දුන්නා. “හදා හීලට ලිතී බෙරිබත් බෝඩිමේ කාහටත් නපුරුව ඕක්කාරයකි ෆ්ලොරීඩා නියුමල් සෝඩි මැග්නි ඇලුගම්, සලී පෝසලී සල්වතුර, ක්ලෝඩියස් ආ විට පොලිසියටම කැල්සියම් දුන්නාලු නැතිනම් කියනු මැන මේ කවියෙ තේරුම.” මොනතරම් දස වධයක් විඳලා අපි ඉගෙන ගත්තා වුණත් දැන් ආපස්සට හැරිලා බලද්දි අපිට ගහපු ගුරුවරු බුදුන් දැක නිවන් දකින්න ඕන කියලා හිතෙනවා. මේ විදියට ඉගෙන නොගත්තා නම් අද මේ විදියට කෝට් එකක් දාලා සමාජය ඉස්සරහට යන්න බැරිවෙනවා. එදා අපිට ගහද්දී හිතුණෙ මුන්ව මරාගෙන මැරෙන්න ඇත්නම් කියල. ඒත් අද බලද්දි හිතෙන්නේ ඒ ගුරුවරුන්ට අපි සදා ණයගැතියි කියල. මෙහෙම ඉගෙනගෙන ටිකක් ලොකු පන්තියට යද්දි මං විවාද කණ්ඩායමේ නායකයා වුණා. බෞද්ධ සංගමයේ සභාපති වුණා. බැඩ්මින්ටන් කණ්ඩායම නියෝජනය කර ක්‍රීඩාවට යොමු වුණා. මෙහෙම යද්දි මට ශිෂ්‍ය නායකකමක් හම්බ වුණා. ශිෂ්‍ය නායකකම ලැබුණම නම් මට හිතුණෙ මේක හරි ෂෝක් දෙයක් කියල. මොකද මට කැමැති වෙලාවක අල්ලපු වත්තේ තිබුණු අපේ ගර්ල් ස්කූල් එකට යන්න පුළුවන් නිසා. ලස්සන ගෑනු ළමයි බලන්න පුළුවන් නිසා. ඒ කාලේ මං ඩියුටි කරන්න ආසම තැන් දෙකක් තිබුණා. එකක් ගර්ල්ස්කූල් එක. අනෙක කැන්ටිම. ගෑනු ළමයි දැක්කම හිත පිරෙනවා. කැන්ටිම දැක්කම බඩ පිරෙනවා. මොකද ඉස්සර ශිෂ්‍ය නායකයෙක් වුණාම පාන් කාල 2යි. වඩේ 2යි ප්ලේන්ටියයි නොමිලේ ලැබෙනවානේ. හරිම සුන්දර මතකයක් තමයි අපිට තිබුණේ. ඒත් අපි මේ හැමදෙයින්ම දේවල් ඉගෙන ගත්තා. අපි දඟ වැඩත් කළා. ඉස්කෝලෙ සර් කෙනෙක් හිටියා. ඒ සර්ට වැඩ කරන්න තියේ නම් කන්න ඕනත් නැහැ. අපි ඉතිං මේක දැනගෙන අපි අපේ යාළුවෙක්ව යවනවා සර් එක්ක දිග කතාවක් දාගෙන ඉන්න කියලා. ඊට පස්සෙ අපි සර්ට හොරෙන් සර්ගෙ කෑම එක ගන්නවා. මට මතකයි ඒකෙ තියෙනවා ඉඳිආප්ප 15යි. අල හොදි එකයි. අපි හොඳට බඩ පිරෙන්ට කාලා මුකුත් දන්නෙ නැහැ වගේ පන්තියට ගිහින් ඉන්නවා.
මං ඉගෙන ගත්ත මොරටුව වේල්ස් කුමාර විද්‍යාලයෙන් මට ලැබුණේ ලෝකෙ තියෙන වැඩිම වටිනාකමක් තියෙන වචනය වුණු “LEARN” කියන එක. වාහනයක් පුරුදු වෙද්දි L බෝඩ් එක ගහගෙන ගිහිං පස්සෙදි L බෝඩ් එක ගලවනවා වගේ මං 1985දී Learn කරලා පාසලෙන් යද්දී මට ගහපු ශිෂ්‍ය නායක බැජ් එකත් එක්කම මගෙන් L බෝඩ් එක ගැලෙව්වා. ඒ කියන්නේ LEARN වල L බෝඩ් එක ගැලෙව්වා. ඒ කියන්නේ EARN. L අකුර අයින් කරාම ලැබෙන ඡ්ඒඅව් තමයි ඊට පස්සේ අපි ජීවිතයට හම්බකර ගත්තේ. මගේ පාසලෙන් මට කිව්වේ “පුතේ දැන් Learn ඉවරයි. දැන් සමාජයට ගිහින් බය නැතිව Earn කරපං” කියලයි. ඒ අනුව අපි ජීවිතයට ගුරුවරුන්ගෙ ආදරය Earn කරගත්තා. ඒ විතරක් නෙවෙයි සමාජ ගෞරවය, අධ්‍යාපනය, නායකත්වය, ආදරය, අවංකකම, විශ්වාසය මේ සේරම Earn කරගත්තා. මොරටුව වේල්ස්කුමර විද්‍යාලයේ වාර්ෂික ශිෂ්‍ය නායක දිනය පසුගිය දිනෙක උත්කර්ෂවත් අන්දමින් එම විද්‍යාලයේදී පැවැත්විණි. එම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සහභාගි වූ ආදි ශිෂ්‍ය ජෙනරල් සේල්ස් සමාගමේ සාමාන්‍යාධිකාරි අතුල කුඩාගමගේ මහතා ඉදිරිපත් කළ කතාව ඇසුරිනි.
නයනි වික්‍රමරත්න
උපුටා ගැනීම මව්බිම